
විම්බල්ඩන් ටෙනිස් තරගාවලිය යනු ලොව තිබෙන විශිෂ්ටතම ටෙනිස් තරගාවලි අතුරෙන් එකක්. 2016 විම්බල්ඩන් ටෙනිස් තරගාවලිය අතරතුරදී එම තරගාවලිය පිළිබඳව හා එහි ආරක්ෂකයා වන රූෆස් නම් උකුස්සා ගැනත් විස්තර මෙම පිටුවෙන් ඔබ වෙත ගෙන ආවා මතක ඇති. නැවතත් මෙම වසරේ විම්බල්ඩන් තරගාවලිය අතරතුර සිදුවූ සුවිශේෂී සිදුවීමක් අද ඔබ වෙත ගෙන එනවා.
ක්‍රීඩා තරගයක් නැරඹීමට ගිය විට තමන් සහයෝගය දක්වන ක්‍රීඩකයාට හෝ කණ්ඩායමට ඔල්වරසන් නැඟීම ක්‍රීඩාංගණයේ සිටින සියලුදෙනාම පාහේ සිදුකරන දෙයක්. ඊට අමතරව ක්‍රීඩකයන්ට ක්‍රීඩා කිරීමට උපදෙස් දෙන නරඹන්නන්ද සිටිනවා. වාසනාවකට හෝ අවාසනාවකට ක්‍රිකට් ක්‍රීඩාංගණය විශාල නිසා ඒවා ක්‍රීඩකයන්ගේ අවධානයට යොමු වන්නේ නෑ. නමුත් පසුගිය දා විම්බල්ඩන් තරගාවලියේ කාන්තා යුගල තරගයක් අතරතුර එම තරගය නරඹමින් සිටි ප්රේක්ෂකයකු ක්‍රීඩිකාවන්ට ලබා දුන් උපදෙසක් නිසා තමයි මෙම සිදු වීම හටගෙන තිබෙන්නේ. අයර්ලන්තයේ වික්ලොව් සිට පැමිණි ක්‍රිස් කුයින් නම් තිදරු පියා ටෙනිස් තරගය අතරතුරදී කලක් ලොව අංක 1 ටෙනිස් ක්‍රීඩිකාව වී සිටි කිම් ක්ලිජ්ස්ටර්ස් හට පන්දුව පිරිනැමිය යුතු ආකාරය කියා කෑගසා තිබෙනවා. මෙයට අපූරු ප්‍රතිචාරයක් දැක්වූ කිම් විසින් එම පිරිනැමීමට මුහුණ දීමට ක්‍රිස් කුයින් වෙත ආරාධනා කර තිබෙනවා. එවිට ප්‍රතිවාදී පිලෙහි ක්‍රීඩිකාවක් ප්‍රේක්ෂකාගාරය අසළට ගොස් ඔහු වෙත ඇයගේ ටෙනිස් පිත්ත දිගු කරලා.ඒ නිසා ක්‍රිස්ට එම අභියෝගය බාරගන්නවා හැර වෙන විකල්පයක් තිබී නැහැ. ඒ නිසා එම පිත්ත ගත් ක්‍රිස් ක්‍රීඩාගාරයට පැමිණ තිබෙනවා.
විම්බල්ඩන් තරගාවලියේ තිබෙන ඉතාම තද නීතියක් වන්නේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ඇඳුමයි. සියලුම ක්‍රීඩක ක්‍රීඩිකාවන් යට ඇඳුම් ද ඇතුළුව සුදු පැහැයෙන් පමණක් සැරසිය යුතුයි. නමුත් ක්‍රිස් පැමිණ සිටියේ නිල් පැහැති කොට කලිසමක් හා කොළ පැහැති ටී ෂර්ටයක් ඇඳගෙන නිසා කිම් දුවගොස් ඇයගේ බෑගයෙන් සුදු පැහැති සායක් ගෙන එය ක්‍රිස් වෙත අන්දවනවා. ක්‍රිස් තරමක් තරබාරු පුද්ගලයකු නිසා තරග විචාරකයින් එය ක්‍රිස්ට ඇඳීමට නොහැකි බව කියා කෑගැසුවද ක්‍රිස් කෙසේ හෝ එය ඇඳගත් පසු කිම් විසින් තවත් ඇඳුමක් ක්‍රිස් ට දෙන්නේ ඔහුගේ උඩුකය වසා ගැනීමටයි. කෙසේ හො විම්බල්ඩන් තරගයක් සඳහා සුදුසු ලෙසින් ක්‍රිස් ඇගේ සුදු පැහැති ඇඳුම්වලින් සැරසෙන විට කිම් බිම වැටී සිනාසෙමින් සිටියේ ඇය එයින් කොතරම් වින්දනයක් ලැබුවාද යන්න බලා සිටි සියල්ලන්ම අවබෝධ කරමිනි.
ඉන්පසුව 34 හැවිරිදි කිම් ක්ලිජ්ස්ටර්ස් හා ඇයගේ අනෙකුත් ක්‍රීඩිකාව වන ඕස්ට්‍රේලියානු ජාතික ක්‍රීඩිකාවක් වන රෙනේ ස්ටබ්ස් හා එක්ව ප්‍රතිවාදි පිල වන වරක් ලොව අංක 2 ටෙනිස් ක්‍රීඩිකාව වී සිටි ඇන්ඩ්‍රියා ජේගර් හා ක්‍රිස් කුයින් හා තරග කර තිබෙනවා. මේ අවස්ථාවේදී ජේගර්ගේ පිළෙහි අනෙක් ක්රිඩිකාව වන කොන්චිටා මාර්ටිනස් පිටිය මැදින් පසකට වී ක්‍රිස් කුයින් විසින් තම ජීවිතයේ තිබූ විශාලම හීනයක් වන මෙම ටෙනිස් පිටියේ ක්‍රීඩා කරන අයුරු නරඹමින් සිට තිබෙනවා. කිම් විසින් පිරිනමන ලද පන්දුව සාර්ථක ලෙසින් නැවතත් ඇය වෙත යොමු කර තිබෙන අතර එයට ඇය ලබාදුන් පිළිතුරු පහරට ක්‍රිස් ලබාදුන් පහරින් පන්දුව දැලෙහි වැදී නතර වී තිබෙනවා. නැවතත් පන්දුවක් පිරිනමන ලෙස ක්‍රිස් පැවසූ නිසා කිම් විසින් ඔහුට තවත් පන්දුවක් පිරිනමා තිබෙන අතර එයටත් හරිහැටි පහර දීමට ක්‍රිස්ට නොහැකි වී තිබෙනවා. ඉන්පසුව මෙම ක්‍රීඩිකාවන්ව වැළඳගෙන ඔවුන්ට සමුදුන් ක්‍රිස් ඔවුන් සමඟ ඡායාරූපයකට පෙනී සිටීමෙන් පසුව නැවතත් තම අසුන වෙත ගොස් තරගයේ ඉතිරි කොටස නරඹා තිබෙනවා. මේ සියල්ල මැද 6-2 ක් හා 7-5 ක් ලෙසින් කිම් හා ස්ටබ්ස් තරගය ජය ගෙන තිබෙනවා.