
බ්‍රැඩ්ගේ අලුත්ම පිම්ම
ඇන්ජලිනා ජොලීගෙන් වෙන්වූ බ්‍රැඩ් පිට් ගැන අලුත්ම පුවතක් පසුගිය සතියේ හොලිවුඩ්පුරයෙන් වාර්තා වුණා. කවදත් පෙම් බැඳුම්වලට හපන්කම්පාන බ්‍රැඩ් තවත් අලුත් සබඳකමකට මුල පුරලා.
ඒ අනුව, බ්‍රැඩ්ගේ අලුත්ම පෙම්වතිය වී සිටින්නේ සුරූපී නිළි සීන්නා මිලර්. පසුගිය අප්‍රේල් මාසයේදී මේ රුවැත්තිය ප්‍රකාශ කර තිබුණේ තමන් බ්‍රැඩ් සමඟ රහසිගත සබඳකමක් පවත්වාගෙන යමින් සිටින බවයි. නමුත්, එය හුදු ප්රලාපයක් ලෙසයි බොහෝ දෙනා සැලකුවේ. බ්‍රැඩ් වැනි සුපිරි නළුවෙකු සමඟ පෙම් සබඳකමක් පවත්වන බව ඇය ප්‍රසිද්ධියේ කීවේ තමන්ගේ ප්‍රසිද්ධිය වෙනුවෙන් යැයි ඇතැම් අය විශ්වාස කළා.
නමුත් පසුගියදා පැවැති ග්ලැස්ටන්බර්ග් සංගීත උලෙළේදී දැකගන්නට ලැබුණු දසුනින් ඇගේ කතාව බොරුවක් නොවන බව කාටත් වැටහුණා. ඇය එම උලෙළට පැමිණ සිටියේ බ්‍රැඩ් පිට් සමඟයි. ඉන්පසු දිනයකදී පැවැත්වුණු සාදයකට ඔවුන් දෙදෙනා පැමිණියේ අත් අල්ලාගෙන අලුත් පෙම් යුවළක් විලසින්. කෙසේ වෙතත් මේ සාදය පැවැත්වුණේ සීමිත පිරිසකගේ සහභාගිත්වයෙන්. ඒ නිසා වැඩි පිරිසකගේ අනවශ්‍ය අවධානයෙන් මිදී සිටින්නට පිට් සහ මිලර් යුවළට හැකි වුණා.
‘දරුවා අපේ - කුස ඇගේ
සුපිරි නිරූපිකා කිම් කර්ඩෂියන් සහ ඇගේ සැමියා වන කෙන්යේ වෙස්ට්ගේ සොඳුරු කැදැල්ලෙහි පුංචි දියණියක් සහ පුංචි පුතෙක් සිටින බව කවුරුත් දන්නා කාරණයක්. මේ අඹු-සැමි යුවළ තවත් දරුවෙකුගේ සුරතල් දැකගන්නටයි මේ දිනවල උත්සාහ ගන්නේ. ඒ වුණත් ඒ සොඳුරු සිහිනය සැබෑ කරගන්නට බාධාවක් මතුවෙලා. කිම්ව පරීක්ෂා කළ වෛද්‍යවරු ප්‍රකාශ කළේ ඇගේ ගර්භාෂයෙහි මතුවී තිබෙන අසාමාන්‍යතාවක් හේතුවෙන් ඇයට තවත් දරුවෙකු බිහි කිරීමට නොහැකි බවයි. යම් හෙයකින් ඇය ගැබිනියක වුවහොත් එය ඇගේ ජීවිතයට අවදානමක් එක් කරන බවත් ඔවුන් පවසා තිබෙනවා.
මේ නිසා කෙන්යේ සහ කිම් තීරණය කළේ වෙනත් කාන්තාවකගේ ගර්භාෂය තුළ දෙදෙනාගේ ලෙයින් මසින් හැදෙන දරුවකු බිහිකර ගන්නටයි. පසුගිය දිනවල එම කටයුත්ත සාර්ථක වී තිබෙනවා. දෙදෙනාගේ පැතුම් සඵල කර ගන්නට එක්තරා කාන්තාවක් ඉදිරිපත් වී තිබෙනවා. මේ වෙනුවෙන් එම කාන්තාවට මසකට ඩොලර් 4,500ක් බැගින් ඩොලර් 45,000ක මුදලක් ගෙවීමට කෙන්යේ සහ කිම් එකඟ වෙලා. මේ මුදල ඇතුළුව ඔවුන් දෙදෙනාට ඩොලර් 1,13,850ක මුදලක් දැරීමට සිදුවන බවයි පැවැසෙන්නේ. කෙන්යේ - කිම් යුවළගේ දරුවා තමන්ගේ ගැබ තුළ වැඩෙන කාලයේදී සහ දරුවා බිහිවන තුරු දුම්පානයෙන් සහ මත්පැන්, මත්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකී සිටින්නැයි වෛද්‍යවරු එම කාන්තාවට උපදෙස් දී තිබෙනවා.
‘F & F’ චිත්‍රපටවලින් මිචෙලි ඉවත් වෙයි
‘ෆාස්ට් ඇන්ඩ් ෆියුරියස්’ චිත්‍රපට මාලාවේ ප්‍රධාන නිළියක් වූ මිචෙලි රොඩ්රිගූස්ට අසාධාරණයක් සිදු වුණා ද? හොලිවුඩ් සිනමා රසික පරපුර අතර එවැනි පැනයක් නැඟෙන්නට ඉඩ තිබෙනවා. මේ සුපිරි නිළිය එම චිත්‍රපටවලට මින් මතුවට රංගනයෙන් දායක නොවන්නට ගෙන ඇති තීරණය නිසයි රසික ජනතාව තුළ එවැනි කුකුසක් ඇති වන්නට ඉඩ තිබෙන්නේ. මෑතකදී මාධ්‍යවේදීන් කිහිප දෙනෙකු අමතා ඇය ප්‍රකාශ කළේ ‘ෆාස්ට් ඇන්ඩ් ෆියුරියස්’ චිත්‍රපටවලට ‘ගුඩ්බායි’ කීමට තමන් සූදානම් බවයි. “මේ ආදරණීය චිත්‍රපට මාලාවෙන් අයින් වෙන්නයි මම තීරණය කළේ. මේ චිත්‍රපටවල රඟපාන්න අවස්ථාව සලසා දුන්න හැම දෙනාටත්, මගේ රසික රසිකාවියන්ටත් මම ස්තුතිවන්ත වෙනවා.” මිචෙලි මේ අදහස සිය ඉන්ස්ටග්‍රෑම් පිටුවටත් එකතු කර තිබුණා.
මිචෙලිගේ ඉවත්වීම ‘ෆාස්ට් ඇන්ඩ් ෆියුරියස්’ චිත්‍රපට මාලාවට වැදුණු ප්‍රබල පහරක් බවයි, සිනමා විචාරකයන් පවසන්නේ. මේ සුරූපි නිළිය ‘ෆාස්ට් ඇන්ඩ් ෆියුරියස්’ චිත්‍රපට පහක ප්‍රධාන චරිතයක් නිරූපණය කළා. ඇගේ ඉවත් වීම පිළිබඳ අදහස් දක්වන, හොලිවුඩ් මාධ්‍ය පවසන්නේ ‘ෆාස්ට් ඇන්ඩ් ෆියුරියස් - 8’ චිත්‍රපටයේ මිචෙලිට රඟපාන්නට ලැබුණේ කෙටි කාලසීමාවක් නිසා ඇය මේ තීරණයට එළැඹුණු බවයි.
‘ගෝස්බස්ටර්’හි බේබි ඔස්කා මියයයි
ගොස්බස්ටර් II චිත්‍රපටයේ බේබි ඔස්කා ලෙස ළමා චරිතයක් නිරූපණය කළ හෙන්රි හැන්ක් ඩියුට්ෂෙඩොෆ්ගේ ජීවිතය පසුගියදා නිමාවට පත්වී ඇත්තේ ඉතාමත් ඛේදනීය අයුරින්. ඔහු, තම ගෙල වැලළාගෙන මියගොස් ඇති බවයි පැවසෙන්නේ. මිය යන විට ඔහු 29 වැනි වියෙහි පසුවුණා.
මියගිය හෙන්රිගේ සිරුර මුලින්ම දැක ඇත්තේ ඔහුගේ නිවුන් සොයුරා වන විලියම්. ඔහු ද, 1989 දී තිරගත වූ ‘ගෝස්බස්ටර්’ චිත්‍රපටයේ බේබි ඔස්කාගේ චරිතය නිරූපණය කර තිබෙනවා.
හෙන්රි, තම පෙම්වතිය සමඟ එස්කොන්ඩිඩෝ නගරයේ පිහිටි කුඩා නිවහනක පදිංචිව සිටි බවයි හොලිවුඩ් පුවත්වල සටහන් වන්නේ. විලියම් එම නිවහනට පැමිණි විට හෙන්රි කිසියම් රැහැනක එල්ලී සිටි අයුරු දැක තිබෙනවා. එසැණින්ම ඔහු තම සොයුරාගේ ගෙල වටා තිබූ රැහැන කපා දමා ඔහුව පහතට ගෙන පොලිස් හදිසි ඇමතුම් අංශයට දැනුම් දී තිබෙනවා.
නමුත්, ඒ වන විටත් හෙන්රිගේ සිරුර දරදඬු වී තිබුණැයි ද එයින්ම ඔහුගේ ප්‍රාණය නිරුද්ධ වී තිබුණු බව තහවුරු විනැයි ද මරණ පරීක්ෂණ වාර්තාවේ සටහන් වී තිබෙනවා. හෙන්රි දිගු කලක් තිස්සේ විෂාදයෙන් පෙළෙමින් සිටි බවයි, වෛද්‍ය වාර්තා පවසන්නේ.