බැද්දේ පුසුඹ | සිළුමිණ

බැද්දේ පුසුඹ

කුසුලන්දේ (මේරුවනකඩේ) ඉදුණු පලවැලේ (විලිකුන් වන පලතුරුවල) පුසුඹ හොරා ගත්තු තාලවල්ලේ දැනෙන්නේ කදිමම කදිම පුසුඹකි. ඒ පුසුඹ වෑ නිල්ලේ නැළවෙන මල්ගොල්ලේ පුසුඹේ දැවටිලා හිටං ඉපනැල්ලේ පුසුඹට හාමු උණාම (මුසුවූ විට) කොහොම හිටීවිද ඒ පුසුඹ...? කීවාම මොකද අපේ ගම්මැද්දේ ඇත්තන් ඔය පුසුඹ තුරුම්බුරුළු කොරගන පැලේ හුළුපලේ පල්ලේ ඇවිලෙන ගිනි මැලේට සේන්දු වෙලා. හෝපට (තොල්) අතරින් පන්නා හැරිය මේං මේ පුසුඹ විඳලා බැලුවනං.

දරු පෙම ළමැදේ සිර කර සිටියත්
දෑස පුරා සෙනෙහස උතුරයි
හිරු සඳු ඇතිතෙක් අප්පච්චීගේ
දහදිය මට ලොව් තුරු පුසුඹයි

අප්පච්චිගේ පුසුඹ කෙලේගුණේ පිරිච්චි අපේ එදා පුත්රුවණකට දැනුන හැටි කදිමයිනේ. ඉරහඳ එක්ක තුං තිස්පැයේම ‘අංකර මලක්කමකි’ (දැඩි උත්සාහයක) යෙදෙමින්, නො විඳිනා දුක්කන්දරාවක හඳුන්පොතේ (හදවතේ) වහං කොරගන, තම දරු පැටවුන්ගේ බඩකට පුරෝලන්නට අප්පචි කොරන ජීවිත සටන හීන් නෑනෙවැ. ලෝලා කොටුවනෙන් (දිව අගින්) සීනි ඇට අහුල අහුලා දුම් දමන කහට කටුවට, තොල් පියන ඇරෙද්දී ඉරණම් ඇට (ඉල ඇට) පෑදුණු පපුකිස්සෙන් පිටට පනින දාරක ප්‍රේමයේ සුසුම් දහරාව ‘මයින හමෙන්’ පිටවෙන වාතය වුව ද පරදවන සුලු ය. ‘කේඩෑරිවී ගිය’ (අධික ලෙස කෘශ වූ) ගත මෙන් ම නින්දක් නොනින්දක් අහිමි නෙත, පැල්ගුහාලයේ (පැල්මැස්සේ) තබා තම ගෙදර නින්දේ සිටින අඹුදරුවන් ගේ රැකවරණයට ‘සිත’ ගෙදර පුරා හක්කලං කරනුයේ (සක්මන් කරන්නේ) මුර සෙබළෙක් වෙමිනි.

මෙවන් වූ ජීවිත දානයක නිරතව සිටින අප්පච්චී වෙනුවෙන් සහජාත පුත්‍රිකාවක් හෘදයංගමව කරන ප්‍රාර්ථනාවකින් වහනය වෙන කෘතගුණෝපේත නොනිමි පුසුඹ අහන්නට ඔබටයි මේ ඇරියුම.

‘වාන් ඇළේ පාකරමින් දහදිය ලේ කඳ
හේන් ඉමේ සටන් කරන මාර සෙනඟ බිඳ
යාන්වෙච්චි කිරිකුරහන් යායේ හරි මැද
කෝන් හෙවණෙ බුදුවන්නයි අප්පච්චී අද”

අපේ මහ බෝසතාණන් වහන්සේ සාරාසැකි කප්ලකක් මුළුල්ලේ විවිධ යෝනින්හී උපත ලබමින් ඇස්, ඉස්, මස්, ලේ අඹුදරුවන් ආදී දන්දී මාතා රත්නයකගෙන් විවරණ ලබා බෝධි මූලයේ විදුරසුන් දරා, මරසෙන් මථනය කර සම්‍ය සම්බුද්ධ රාජ්‍යයට පාත්‍ර වූ පුවත බොදු සිරිතේ දිග හැරෙයි.

නමුත් අපේ අප්පච්චි පිළිබඳ එවන් ආවර්ජනයක යෙදෙන්නට මා අපොහොසත් මුත් සියැසින් දුටු සැබෑව මට මෙසේ දෙස් දෙනු ඇති. දහදිය, ලේ කන්දරාවන් පුදා, අප්පච්චීට මාරසේනාවක් වූ ‘සතා සීපාවුන්’ පලවා හරිමින්, මහ බෝ සතුන් ජයමහා බෝධියට පිටදී වජ්‍රාසනයක වැඩ හිඳ බුද්ධත්වයට පත්වෙද්දී, අපෙ අප්පච්චී කීරි කුරහන් යායේ හරි මැද පිහිටි කෝන්හෙවණේ පැල්මැස්සේ හිඳ බුදුවෙන්නයි කියා උන්දෑගේ අතිජාත පුත්‍රිකාවක නියත වියරණ දුන් හැටි පන්කාදුයි නෙ. මවුපිය සැබෑ ආලයේ නොබිඳෙන, නොසි‍ඳෙන, නොමතක වන මෙවන් කෙළෙහිගුණ කඳම්බයන් ගෙන් එදා අපේ දූ පුත් රුවන් පරිපූර්ණ වූවත්, අද ඒ ගුණ සුවඳ දූ දරුවන් අතරින් කඩන්දුවී (දුරස්වී) ඇත්තේ වන සතුනටත් වඩා පහත් ලෙසිනැයි මේ කෙරෙන සඳහන සාවද්‍ය නොවනු නියති.

මං මාවත්වල, අනාථාගාරවල, තනිපංගලවී (හුදකලා‍වී) බඩ පොත්ත තෙමා ගන්නට මඟතොට යන එන්නන් ගෙන් පිහිට පතා අතපාන අප්පචිලා, මේ ධර්මදීපයේ බොහෝ වෙති. ඔවුන් ගේ දූ දරුවන් ගැන විපරම් කරද්දී සනාථ වෙන්නේ ඔවුන් බහුතරය රටේ තොටේ පිළිගත්, උගත්, මහ මන්දිරවල වෙසෙන ප්‍රභූන් බවයි. හත්දෙයියනේ මෙවන් නරුමයෝ ද අපේ ප්‍රභූවරු...?

Comments