
දුම්රියපළට ඇතුළු වූ සීතා සිය බෑගයන් ඔසවාගෙන තුන්වන වේදිකාව සොයා ඉදිරියට ඇදී යන්නට වූවාය. තවම ළහිරු රැස් දහරින් වැසී ඇති නමුදු දුම්රියපළ මගීන්ගෙන් පිරී පැවතිණ. අලුයම් කාලයේ දිවියිනේ සතර දිශාවටම ගමන් අරඹන දුම්රියන් වෙනුවෙන් පැමිෙණන මේ සෙනඟට හිඳගන්නට ආසන ප්‍රමාණවත් නොවන තරම් ය. බොහෝ මගීහු නිදි කිරමින් සිය බෑගයන් උකුළ මත තබාගෙන වරින්වර ශබ්ද විකාශනයෙන් ප්‍රචාරය වන නිවේදනවලට සවන් යොමා සිටියහ.
දුම්රිය අදත් ප්‍රමාද වේ ද නියමිත වේලාවට ගමන නිමා කළ හැකි වේද සවස් වන විට කඳුකරය මීදුමෙන් වැසී යයි. පසුගිය දින කීපය තුළ පැවැති මොර සූරන වැස්ස අදත් පටන්ගතහොත්... සීතා සුසුමක් හෙළා සතරවන වේදිකාවට පිවිසෙන පියගැට පෙළ දෙස නෙත් දැල්වූවාය. සතරවන වේදිකාවට පැමිණීමට නියමිත වූයේ මහනුවර බලා යන දුම්රියයි. එහි යාම සඳහා රැස්ව සිටිනුයේ දළදා වහන්සේ වැඳ පුදා ගන්නට සැරසී හුන් බැතිමතුන් පිරිසක් බව ඔවුන්ගේ ඇඳුම් පැළඳුම් හා අත ඇති පූජා භාණ්ඩයන්ගෙන් පෙනී යන්නේය.
හදිසියේ දුටු දසුනකින් සීතා මවිත වෙයි. පියගැට පෙළ බසින සෙනඟ අතරේ තමාට හුරුපුරුදු මුහුණක් දුටු බවක් ඇයට හැඟිණ. උස්වූද, තරමක් කාලවර්ණ, කඩවසම් සිරුරක් හිමි ඔහුගේ හිසකේ මඳ ලෙස සුදු පැහැයට හැරෙමින් තිබුණි.
ඔහු සෙමෙන් පියවර නගමින් පැමිණ තමා අසල නතර වුණි. තමා ළඟ හිඳ සිටි තරුණයා නැගිට සිය අසුන ඔහුට පිරිනැමීය.
“ස්තුතියි පුතා.”
ඔව් ඒ කටහඬ. ඒ ඔහුගේ කටහඬ... කිසිදා තම දෙසවන්වලින් නික්ම නොගිය ඔහුගේ කටහඬ. සීතා දෑස් විහිදා තමා ළඟ හිඳගත් අමුත්තා දෙස විස්මිතව බැලුවාය.
“ශ්රියන්...”
“ආ” තමා දෙසට හැරෙමින් ඔහු යමක් සිහිපත් කරන්නට තැත් දරයි.
“ආ - සීතා” ඉන්පසු ඔහු මඳ ලෙස සිනාසිණ. ඔහුගේ මුවෙහි ඉදිරිපෙළ දත් කීපයක් ම අඩු බව දුටු ඇයට සුසුමක් හෙළුණි.
“සීතා මේ කොහේද යන්නෙ...” ඔහු අසයි “තනියෙම...”
තම ජීවිතයට කවදත් උරුම වූයේ තනිකම බව සිහි වුවද සුසුමක් නොහෙළා සිටීමට සීතා ප්‍රවේසම් වූවාය. ඔහුට තම සෝ තැවුල් හෙළි කළ යුතු නැත. මේ ඊට අවස්ථාව ද නොවේ.
“නංගිගෙ දුවගෙ වෙඩින් එක අනිද්ද - මම බණ්ඩාරවෙල යනවා...”
“ආ - අර ඒ දවස්වල ඕ ලෙවල් කරපු නංගි ද - දැන් බඳින වයසෙ දූවරුත් ඉන්නවා එහෙනම්. කාලය ගිය ඉක්මන...” ඔහු සැහැල්ලුවෙන් සිනාවෙයි.
ඔව් - කාලය ගිය ඉක්මන. ප්‍රීතිය ජීවිතය පුරා සිටි අයට කාලය යන ඉක්මන දැනෙන්නේ නැත. එහෙත් ජීවිතය එකම ශෝකාන්තයක් වූවනට කාලය එසේ ඉක්මනින් ගත නොවේ.
සීතා හතළිස් වසරකට එහා අතීතයට පිවිසෙමින් සිටියාය. එකල ඔහු තමා සේවය කළ රෝහලට පැමිණියේ සීමාවාසික වෛද්‍යවරයකු ලෙසය. හරියට ම ඉරණම විසින් තීන්දු කළා සේ ඔහු තමා සේවය කළ වාට්ටුවට පත්ව තිබුණේය.
මේ තමාගේ සිහින කුමරාද...? තමා සිහින මැවුවේ, හදවත අරක් ගෙන තිබුනේ උස්, කඩවසම් කුමරකුට ය. මේ සියලු සුදුසුකම් ඔහු සපුරා තිබුණි.
කාලය දවසින් දවස ගතවී ගියේ ඔවුන් දෙදෙනා පෙම්වතුන් බවට පත් කරමිනි. ලෝකය කොතරම් සුන්දර තැනක්ද? තමන් දෙදෙනාගේ සම්පූර්ණ, සේවා කාලය ගතවූයේ ජීවිතයේ අනිත්‍ය භාවය දක්වන දුක්වේදනා කඳුළු, සුසුම් නිබඳව පැවැති ස්ථානයක වුවද ඔවුනට එය අතිශය ප්‍රීතිමත් විසිතුරු, චමත්කාරජනක ලොවක් ම විය.
ඔහුගේ ආදරයෙන් පිරීගිය අනාගතයක් ගැන තමා කොතරම් නම් සිහින මවන්නට ඇද්ද? ඔහු හා අනාගතයේදී ගෙවන ජීවිතය ද ඇය සැලසුම් කාට තිබිණි. ලස්සන නිවෙසක්, පියකරු දරු දෙදෙනෙක්, ඔහුගේ තනතුරේ උසස්වීම්... ලෝකයේ ප්‍රීතිමත්ම පෙම්වතිය වූවා සේම, වාසනාවත් බිරියක බවට පත්වන්නට ද ඇය පෙරුම් පිරුවාය.
කාලය ඉක්ම ගියේ කොතරම් වේගයෙන් ද? ඒ සිහින බිඳී යන්නට වූයේ කොතරම් ශෝචනීය අන්දමින්ද?
සිය සීමාවාසික කාලය අවසන්ව ඔහු ස්ථිර පත්වීම ලැබ රෝහලට සමුදුන් අයුරු ඇය සිහි කරයි. ඒ සමඟ ඔහු තමාගේ ප්‍රේමයට ද සමුදුන්නේය.
“මං කවදාවත් බඳින්නෙ නෑ. මං දන්නෑ ඒ ඇයි කියලා. ඔයා මා ගැන බලාපොරොත්තු නොවී වෙන කෙනෙක්ව බඳින්න.” සමුගනිමින් ඔහු කී වචන අද මේ මොහොතේදී ද තම දෙසවන් තුළ දෝංකාර දෙයි.
සිතින් සිතාගත නොහැකි තරම් දුක් වේදනා විඳි ඇය අන්තිමට තීරණය කළේ කිසිදා විවාහ නොවී සිත කය දෙකෙන් ම රෝගීවූවන්ගේ සේවයට මුළු ජීවිත කාලය ම කැප කරන්නටය. දෙමාපියන් හිතවතුන් මේ කිසිවකුටත් ඇයගේ තීරණය වෙනස් කළ නොහැකි විය.
“සීතා ඔයාගෙ ඔය කඳුළු හරි වටිනව. ඒව ඔය වාගෙ චපල මිනිහෙක් වෙනුවෙන් වැය කරන්න එපා...”
“එයාට ඕන කරල තිබුණෙ පාළුව මකා ගන්න, කාලය ගත කරන්න කෙනෙක්.”
කවුරු කෙසේ කීවද ඔහු කොහේ හෝ සුවෙන්, සතුටෙන් ජීවත්වේවා යන්න ඇයගේ ඒකායන ප්‍රාර්ථනාව විය. තමාට හිමි නැති දෙයක් ලබා ගැනීමට කෙතරම් උත්සාහ කළත් පලක් වේද? එය ඔහුගේ වරදක් නොවේ. එහෙයින් ම ඔහුට වෛර කළ නොහැකිය. ආදරය කවර කලකවත් ආදරය කළ තැනැත්තාට වෛර නොකරයි.
ඔහු විවාහ වූ බවත්, දරු දෙදෙනෙකු ලද බවත් ඇයට පසු කලකදී අසන්නට ලැබිණ.
“ශ්රියන් ඔයා සතුටෙන්ද?”
“ඔව්”
තමා අම්මා වීමට පෙරුම්පුරා සිටි ඔහුගේ දරු දෙදෙනා ගැන අසා දැනගන්නට ඇයට ඇතිවූයේ මැඩගත නොහැකි ආශාවකි.
“දරුවො දෙන්න?”
“දෙන්නම මෙඩිසින් කළේ. දැන් නුවර, පේරාදෙණි රෝහල්වල වැඩ. දෙන්න ම බැඳල. මම දැන් සීයා කෙනෙක්. මේ එයාලව බලන්න යන ගමන්...”
කිසිදා විවාහ නොවන බව තරයේ ම කියා සිටි ඔහු සීයා කෙනෙක් වූයේ කෙසේදැයි සීතා කල්පනා කරන්නට වූවාය. ලෝකය බොරුවෙන්, මායාවෙන් පිරී තිබේ.
දුම්රිය දෙකම වේදිකා දෙකට පැමිණියේ එකම වේලාවේදීය. ඔවුහු අත රැඳි බෑගයන් ද රැගෙන නැගිට සිටියහ. වරෙක තමා තරකොට වැලඳ ගත් ඔහුගේ ඒ ශක්තිමත් දෑත් මඳ ලෙස වෙව්ලන අයුරු ඇය කම්පාවෙන් බලා සිටියාය.
“මම පේරාදෙණියෙන් නවතිනව. ඔයා දිගටම යන්න ඕන නේද” ඔහු අර පැරණි සුපුරුදු ප්‍රේමාන්විත සිනාව පා තමා දෙස බලා සිටී.
ආදරය පිරිමියකුට තම ජීවිතයේ එක් අවස්ථාවක් පමණි. එහෙත් ගැහැනියකට නම් එය මුළු ජීවිතය ම වන්නේය.