පොත් රජෙක් වූ කසළ එකතු කරන්නා - ජොසේ | සිළුමිණ

පොත් රජෙක් වූ කසළ එකතු කරන්නා - ජොසේ

‘කියවීම මිනිසා සම්පූර්ණ කරයි.’ යන කියමන අපි අතර ඉතා ප්‍රසිද්ධ කියමනක් වූවත් කියවීම හෙවත් පොත පත කියවා දැනුම ලබා ගැනීම නම් දිනෙන් දින අප අතරින් වියැකී යන බැව් දිස් වෙනවා. ඊට හේතුව තමයි නවීන තාක්ෂණය. පොතක් කියවා එයින් වින්දනයක් ලැබීමට වඩා අන්තර්ජාලයේ තිබෙන අනුන්ගේ ඕපාදූප හා කැළිකසළවලින් ඔළුව පුරවා ගැනීමට බොහෝ තරුණ ප්‍රජාව පෙළඹීම ඉතාමත් සෝචනීයයි. අද මෙම පිටුව වෙන්වන්නේ පොත පත නිසා ලෝකප්‍රකට වූ ‘පොත් රජා’ ගැන ඔබ වෙත පැවසීමටයි.

පොත් රජා කියූ සැනින් පොත් පත් විශාල ප්‍රමාණයක් ලියූ මහා මොළකරුවකු ඔබේ සිහියට නැගෙන්නට ඇති. ඒත් සැබැවින්ම පොත්රජා යන නාමය ලැබී තිබෙන ජොසේ ඇල්බර්ටෝ ගුටෙරෙස් යනු වෘත්තියෙන් කැළිකසළ එකතු කරන්නෙක්. දුප්පත් පවුලක ඉපදීම නිසා කුඩා කාලයේදීම පාසල් අධ්‍යාපනය මොහුට අහිමි වූවත් සෑම දිනකම නින්දට යන විට පොතක් කියවීමට ජොසේගේ අම්මා ක්‍රියා කරනවා. මෙහි ප්‍රතිඵලයක් ලෙස තමයි ජොසේ හට පොත පත කියවීමේ හැකියාව මෙන්ම පොත් සඳහා ඇති දැඩි ආදරයත් හට ගන්නේ.

ජොසේ කැළිකසළ එකතු කරමින් දිවි ගෙවන්නේ කොලොම්බියාවේ බොගොටා නගරයේ.මීට වසර විස්සකට පමණ පෙර ඔහුගේ කුණු ලොරිය නගරයේ ප්‍රභූන් වෙසෙන පෙදෙස් වලින් එකතු කරගත් කුණු අතර තිබෙන පොත් වෙන් කර නිවසට ගෙන යාමට පටන් ගන්නවා. අද වනවිට ඔහුගේ නිවසේ බිම් මහල පිරෙන්නට පොත් 20,000 ක් පමණ තිබෙනවා. මෙම පොත් වලින් එම ප්‍රදේශයේ වෙසෙන අසරණ දුප්පත් ළමයින් වෙනුවෙන් ඔහු පුස්තකාලයක් ආරම්භ කර තිබෙනවා. රසායන විද්‍යා පොත් පත් වල සිට කුඩා ළමයින්ගේ කතා පොත් දක්වා විශාල පරාසයක පොත් මොහු සතුව තිබෙන අතර එම පොත් මෙම දරුවන්ට මසුරන් වලට වඩා වටින්නේ මෙහි තිබෙන පොත් බොහෝමයක් මිල අධික ඒවා වීම නිසායි.

මිලියන 8.5ක ජනගහනයක් වෙසෙන බොගොටා නගරයේ මහජන පුස්තකාල 19 ක් පැවතුනත් ඒවා දිළිඳු ජනයා වෙසෙන ප්‍රදේශ වලට දුරින් පිහිටා තිබීම නිසා ජොසේගේ නිවසේ තිබෙන පුස්තකාලය ඉතාම ප්‍රසිද්ධවී තිබෙනවා. 53 වැනි වියෙහි පසුවන ජොසේ මේ වන විට තරුවක් වී හමාරයි. මෙක්සිකෝව හාචිලී වැනි අසල්වැසි රාජ්‍යයන් වල පොත් ප්‍රදර්ශන වලට පවා ඔහුට ඇරියුම් ලැබෙන්නේ ඉවතලූ පොත් වලින් විශාල පුස්තකාලයක් සෑදූ ඔහුගේ ශ්‍රේෂ්ඨ කතාව අන් අය සමඟ බෙදාහදා ගැනීමටයි. කොලොම්බියානු ජනයා ඔහුව පොත්රජා ලෙසින් හැඳින්වූවත් ඔහු අදටත් කැළිකසළ අවුස්සමින් පොත් පත් සොයන්නේ පොත් පත් ඔහුගේ ජීවිතය නිසායි. බොහෝමයක් දෙනාගෙන් ජොසේ වෙත ආධාර උපකාර ලැබෙන අතර ඒවා සියල්ල ඔහු දුෂ්කර පළාත් වල පුස්තකාල වැඩි දියුණු කිරීමට හා අලුතින්ම ආරම්භ කිරීමට යොමු කරන්නේ කොලොම්බියානු ජනතාවගේ ගැලවීම පොත පතින් ලැබෙන දැනුම බව පවසමිනි.

ලියෝ ටෝල්ස්ටෝයි හා විකටර් හියුගෝ ඔහුගේ ප්‍රියතම කතුවරුන් ලෙස ජොසේ පවසනවා. කොතරම් ඩිජිටල් මාධ්‍යයෙන් පොත් පත් කරළියට ආවත් මුද්‍රණය කළපොතක් කියවන විට එන හැඟීම අන් සියල්ලටම වඩා වටින බව පවසන මෙම සොඳුරු මිනිසා නූගත් වැඩ කරන බොහෝමයක් උගත් මිනිසුන්ට පාඩමක් කියා දෙන්නේ කියවීම මිනිසා සම්පූර්ණ කරයි යන කියමන ප්‍රත්‍යක්ෂ කරමිනි. 

 

 

Comments