මියා කලීෆාගේ අපකීර්තිමත් ඉතිහාසය කීර්තිමත් වෙයි | සිළුමිණ

මියා කලීෆාගේ අපකීර්තිමත් ඉතිහාසය කීර්තිමත් වෙයි

ඉකුත් දා මියා කලීෆා කීර්තිමත් ඔක්ස්ෆර්ඩ් යුනියන් වෙත පැමිණ කතාවක් කිරීම ජාත්‍යන්තරය විශ්මයට පත් කළ ප්‍රවෘත්තියක් බවට පත් විය. ඒ වෙන කිසිවක් නිසා නොව මියා කලිෆා යනු සුප්‍රකට නිල් චිත්‍රපට නිළියක වීම නිසාය.

මියා කලීෆා උපත ලබා ඇත්තේ 1993දී ලෙබනනයේ බීරූට් නගරයේදීය. ඇයගේ සැබෑ නම සාරා ජෝය. මියා කලීෆා යනු ඇයට නිල් සිනමාව විසින් භෞතිස්ම කළ නාමයයි. සාරාට වයස අවුරුදු හතක් වන විට ඇගේ මවුපියන් ඇය රැගෙන ඇ‍ෙමරිකාවට සංක්‍රමණය වූවාය. එහිදී අධ්‍යාපනයට යොමු වූ ඇය ඇ‍ෙමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ පිහිටි එල් පාසෝ විශ්වවිද්‍යාලයෙන් කලා සහ ඉතිහාසය පිළිබඳව පශ්චාත් උපාධියක් හිමි කර ගත්තාය. ඇය පාසල් වියේදී ඇ‍ෙමරිකානු ජාතික තරුණයකු හා පෙමින් බැඳී සිටියාය. සාරා බැට්මෑන් රසිකාවියක් වන අතර, බාස්කට් බෝල් ක්‍රීඩාවට ද ප්‍රිය කළාය. ඇය මේ කාලයේ ඇමෙරිකා එක්සත් ජනපදයේ මියාමි නගරයේ පිහිටි බර්ගර් අවන්හලක සේවයට ගියාය. ඒ මවුපියන්ට බරක් නොවී ඇගේ වියදම් පිරිමසා ගැනීමටය. නමුත් ඇයගේ අවශ්‍යතාවයන් පිරිමසා ගැනීමට එමඟින් ලැබූ ආදායම ප්‍රමාණවත් නොවීය. ඇය අසභ්‍ය චිත්‍රපට හෙවත් නිල් චිත්‍රපට ක්ෂේත්‍රයට යොමු වනන්නේ මේ කාලයේදීය. එනිසා ඇය නොසිතූ විරු අත්දැකීමකට මුහුණ දුන්නාය. ඒ නිල් චිත්‍රපට නිළියක් වීම නිසා ඇගේ මවුපියන් ඇගෙන් වෙන් වීමට තීරණය කිරීමයි. අද වන විටත් ඔවුන් ඈ සමඟ කිසිදු සබඳතාවයක් නොපවත්වන බව පැවසේ. 

ඇය පාසල් වියේදී ඇ‍ෙමරිකානු ජාතික සිසුවකු හා පෙමින් බැඳී සිටියාය. 2011 වර්ෂයේදී ඇය ඔහු සමඟ අතිනත ගත්තාය. නමුත් ඒ විවාහය වැඩි කල් පැවතියේ නැත. 2014 වර්ෂයේදී ඈ ඔහුගෙන් වෙන්ව තනිව ජීවත් වීමට තීරණය කළ අතර 2016දී ඔහුගෙන් නීත්‍යානුකූලව වෙන්වූවාය.

ඈ 2019 මාර්තු 14 දින සුවිස් ජාතික සූපවේදියකු වූ රොබර්ට් සෑන්ඩ්බර්ග් කළ විවාහ යෝජනාවට එකඟත්වය පළ කළාය.

ඈ වඩාත්ම ජනප්‍රියත්වයට පත් වූයේ 2014 දී Pornhub සහ BangBros යන වැඩිහිටි වෙබ් අඩවි දෙක සඳහා හිජාබය හැඳ කළ රංගනයන්ය. මේ වීඩියෝව විශාල ප්‍රේක්ෂක ප්‍රජාවක් නැරඹූ වීඩියෝව බවට පත්විය. මෙ වීඩියෝව නිසා ඉස්ලාමීය ලෝකය ගිනි ඇවිලී ගියේය. ISIS සංවිධානය විසින් ඇයට මරණ වරෙන්තු නිකුත් කළාය. ඉන් මහත් කැළඹීමට පත් වූ ඇය මානසිකව ඇද වැටුණාය. ඇය වැඩිහිටි සිනමාවෙන් ඉවත් වීමට තීරණය කළා පමණක් නොව එම වීඩියෝ දර්ශන ඉවත් කරන ලෙසට එම වෙබ් අඩවි දෙක දැනුම්වත් කළාය. එහෙත් උණු උණුවේ විකිණෙන මෙම වීඩියෝ ඉවත් කිරීමට ඒ කිසිදු වෙබ් අඩවියක් කටයුතු නොකළේය. මියා පවසන්නේ Pornhub සහ BangBros යන වෙබ් අඩවි ඇයට ගෙවා ඇත්තේ ඩොලර් ලක්ෂයකට මඳක් වැඩි මුදලක් බවය. නමුත් ඇයගේ වීඩියෝ වලින් පමණක් ඔවුන් ඩොලර් මිලියන ගණනක් උපයා ඇති බව ඈ පවසන්නීය.

“හිජාබය ඇඳීම මගේ ඕනෑ කමට සිදු වූවක් නෙමෙයි. හිජාබය පැලද මුස්ලිම් සංස්කෘතිය හෝ ඒ සංස්කෘතියට පහර දෙන්න මට අවශ්‍ය වුණෙ නැහැ. ඒ පිටපත ලිව්වේ සුදු මිනිසුන්”.

ඇය මෙම වීඩියෝ දර්ශන ඉවත් කරන ලෙස ඉල්ලා ලක්ෂ තුනක අත්සනින් යුතු පෙත්සමක් ඉදිරිපත් කිරීමට කටයුතු කළ අතර, මේ දක්වා ඊට අත්සන් තබා ඇත්තේ එක්ලක්ෂ 60,000කට ආසන්න පිරිසකි. කෙසේ වුවද ඇයගේ වීඩියෝ ඉවත් නොකරන ලෙස ඉල්ලමින් එවැනිම ජනතාවක් වෙනම ම පෙත්සමක් ද අත්සන් කර ඇත.

වැඩිහිටි වෙබ් අඩවිවල කොල්ලකාරී මාෆියාව සමඟ සටන් වදින මියා කලීෆා පවසන්නේ මාස තුනක් වැනි කෙටි කාලයක් තුළ අවුරුදු 21දී තමා කළ කී දෑවලින් සමස්ත ජීවිතයම තක්ෂේරු කිරීම තමන්ට කරන බලවත් අසාධාරණයක් බවයි. වසර නවයක් පැරණි වීඩියෝවක් වැඩිහිටි කාම වෙළෙඳපොළ වෙනුවෙන් නැවත නැවතත් යාවත්කාලීන කිරීම ගැන නොසතුට පළ කරන ඇය “තමා ක්ෂේත්‍රයේ නියැළී නොසිටියදී පවා මෙවැනි දර්ශන යාවත්කාලීන කිරීම මඟින් වැරදි අදහසක් සමාජගත වන බවයි. ඔවුන් මෙමඟින් උත්සාහ කරන්නේ මා සක්‍රීයව තවමත් ක්‍ෂේත්‍රයේ සිටින බව පෙන්වීමයි. ඔවුන් ප්‍රේක්ෂකයින් නොමඟ යවමින් විශාල ලාභයක් උපයනවා” යනුවෙන් ඇය පවසන්නීය.

යුනියන් හිදී කළ කතාවේදී, ඇය පවසා සිටියේ “කතෝලික ස්ත්‍රියකට වුවත් මැද පෙරදිග හැදී වැඩීම අතිෂය දුෂ්කරයි, මට හැඟෙන්නේ බොහෝ ස්ත්‍රීන් ඔවුන්ට පිටතින් පිරිනමා ඇති සංස්කෘතික භූමිකාවක සිරකාරියන් වී ඇති බවයි. ලෙබනන් සංස්කෘතිය පමණක් නොව වෙනත් බොහෝ සංස්කෘතීන් හා සම්බන්ධයෙන් මෙය සාධාරණයි. මැද පෙරදිග ජීවිතය තුළ පුරුෂයා සැපයුම්කරු වන අතර, ගැහැනිය ආධාරකරුයි. ඇය සිටින්නේ ඔවුන්ගේ මනදොල පිනවීම සඳහා පමණයි. මට හැඟෙන්නේ ස්ත්‍රීත්වය පිළිබඳව මගේ අභ්‍යන්තරය තුළ ම ප්‍රශ්නකාරී ස්වරූපයක් ගෙන ඇති බවයි. නමුත් එය ස්ත්‍රීවාදය පිළිබඳ මගේ දැක්ම ධනාත්මක ලෙස දියුණු කළා. අප කාන්තාවන් ලෙස ක්‍රියා කළ යුතු ආකාරය සහ අපව වටහා ගන්නා ආකාරය පිළිබඳ අපගේ අදහස්වලට අපගේ සංස්කෘතීන් බලපාන ආකාරය පිළිබඳව එහිදී ඇය අදහස් දක්වා තිබුණි.

“අපේ සංස්කෘතීන් ලිංගික ශ්‍රමය සහ වැඩිහිටි විනෝදාස්වාද ක්‍ෂේත්‍රය දැඩි ලෙස පහත් කොට සලකනවා. පිරිමින් තවමත් කාන්තාවන්ව දකින්නේ ලිංගික වස්තුවක් ලෙසයි.” රසිකයන් වැඩි පිරිසක් ඇති වීමත්, කාගේත් රූප සුන්දරියක් බවට පත් වීමත් ආරක්ෂිත සහ මුදල් ඉපැයීමට මෙය පහසු මාර්ගයක් යැයි සිතා තරුණියන් ඉතා කැමැත්තෙන් වැඩිහිටි වීඩියෝවලට යොමු වනවා. නමුත් එය එසේ නොවේ. සත්‍ය නම් මෙය ඉතාම දුෂ්කර හා කටුක කටයුත්තක්. කිසිදු ගැහැණු ළමයෙක් ඒ දුෂ්කර හා දරුනු අසභ්‍ය සිනමාව වෙත නොයා යුතු බව ඇය පවසයි. එසේ නමුත් මියා ‘හොඳ’ ස්ත්‍රියක වූවා නම් මේ කිසිදු දෙයක් කීමට මියාට අවස්ථාව නොලැබෙනු නියතය. ඉකුත්දා බිරුට්හී පිපිරීමෙන් අසරණ වූවන්ට උපකාර කරන්න ඇයගේ අපකීර්තිමත් උපැස් යුවළ බර ගාණකට අලෙවි කරන්න ඇයට පුළුවන් වූයේද ඒ ‘නරක’ ඉතිහාසය නිසාමය. අද මියා කලීෆා යනුවෙන් චරිතයක් ලෝකය දන්නේ නම් එසේ දැන ගැනීමට හේතුවත් ඒ ‘අපකීර්තිමත්’ ඉතිහාසයම වන්නේය.

Comments