සිනා කතා | සිළුමිණ

සිනා කතා

දැන් මේ යන්නෙ ඒකට

“තමුසෙ පත්තර කාරයෙක් නේද? නීතිවිරෝධී උද්ඝෝෂණයකට කඳුළු ගෑස් ගහන්ඩ යන පොලිස් රාළහාමි කෙනෙක් වගෙ ආරක්ෂක ඇඳුම් කට්ටලයක් ඇඳගෙන, වෙස්මූණක් වගෙ ආරක්ෂක ආවරණයක් මූණට දාගෙන මේ කොහේ යන ගමන් ද?” බෙනට් ගේ විලාසයෙන් මවිත වූ අනුර ඇසුවේය.

“මම පත්තර කාරයෙක් බව හැබෑව. දැන් මේ යන්නෙත් පත්තරේ රාජකාරියකට. දැන් මම මේ යන්නෙ අපේ දේශපාලනඥයෙක් කැඳවලා තියෙන පුවත්පත් සාකච්ඡාවකට සහභාගී වෙන්ඩ.’ බෙනට් කීවේ සිනාවක් නඟමිනි.

හුටා...! ඉවරයි

“සෙනෙවි උඹ මොකක් හරි වැදගත් වැඩක යෙදිලද හිටියේ?” දුරකථනයෙන් සෙනෙවිරත්න ඇමතූ චන්ද්‍රසිරි විමසීය.

“නෑ.. නෑ.. මම මේ අපියි, ඉන්දියාවයි ගහන ක්‍රිකට් මැච් එක රූපවාහිනියෙන් බලා ඉන්න ගමන්.” සෙනෙවි කීවේ ය. ‍‍

“ලබන සුමානෙ අපේ නාට්‍ය වැඩමුළුවේ විභාගෙ ගැන මතක් කරන්ඩයි මම මේ කතා කළේ. එ්කෙ වැඩ කොහොමද? දැන් ප්‍රශ්න පත්‍ර හදලා ඉවර ඇති නේද?” චන්ද්‍රසිරි කීවේ ය.

“ඔව්... ඒක හුඟක් දුරට ඉවරයි. අර ප්‍රායෝගික අභ්‍යාස ටික විතරක් ලියන්ඩ ඕනෙ... හුටා! ඉවරයි.’ සෙනෙවි වාක්‍යය අවසන් කළේ උස් හඬින් කෑගසමිනි.

“ඇයි සෙනෙවි, මැච් එක අපි පරාද ද?’ චන්ද්‍රසිරි වහා ඇසී ය.

“නැහැ... නැහැ, මැච් එක නෙමෙයි, මම ළිපේ තියලා ආපු වෑංජනයක් කරවෙලා... අඟුරුවෙලා’ සෙනෙවි කීවේ ය.

 

ඉතින් මොකට ද?

“හැමදාම ඔහොම ඉඳලා හරියනවද මනුස්සයෝ? මේ අවුරුද්දෙවත් හරිහමන්, ස්ථිර රස්සාවක් හොයාගන්ඩ අදහසක් නැද්ද?’ වැදගත් රාජකාරියකට යාම සඳහා ලොකු කඩිමුඩයකින් සැරසී, ටයි පටයක් පැලඳ ගනිමින් නිදන කාමරයේ කැඩපත ඉදිරියේ සිටි තම සැමියා දෙස බලා තෙල්මා විමසුවේ අවඥාවෙන් කට ඇද කරමිනි.

“දැන් මේ කාලගුණයත් ස්ථිර නැති එකේ, ස්ථිර රස්සාවල් හොයලා පලක් තියෙනවද හලෝ? දැන් බලනවා, පහුගිය අවුරුද්දෙ වගේ ම, මේ අවුරුද්දෙත් ගංවතුර ආවා. කඳු නාය ගියා. මිනිස්සු මැරුණා. ජනතාව අනාථ වුණා. ඉතින් ඔය ආපදා වලදී ආධාර බෙදන කණ්ඩායම්වල මම ඉස්සරහින් ම ඉන්නවනෙ. ඉතින් මොකදට මට ස්ථිර රස්සාවක්?” අජිත් තම බිරිඳ දෙස සෝපහාසාත්මකව බලා කීවේ ය.

 

ඒක පුදුමයක් යැ

“පහුගිය දවස්වල හාමිනේ ඔය රටපුරාම ලොකු හාහෝවක් ගියේ මාර්කට් එකේ තියෙන සමහර හාල්වල ප්ලාස්ටික් හාල්ඇට තියෙනවයි කියලනෙ. දැන් මේ ඔයා හැදුව අල බැදුමෙත් තද ප්ලාස්ටික් රහක් එන එක නොවැ පුදුමේ.” රාත්‍රී ආහාරය ගනිමින් සිටි චන්ද්‍රසිරි මේසය මතවූ අල බැදුම තම බත් පිඟානට බෙදාගෙන, එය රස බැලීමෙන් අනතුරුව තම බිරිඳ වෙත නෙත් යොමු කරමින් කීවේය.

“අල බැදුමෙන් ප්ලාස්ටික් රහක් එන එක පුදුමයක් යැ? අල බැදුම බෙදා ගන්ඩ ඒ භාජනේට දාලා තිබුණු දුඹුරුපාට පොඩි ප්ලාස්ටික් හැන්දත් බැදුමත් ඒකම බෙදාගෙන ඔයා කාලානෙ.” ශාන්ති කීවේ අල බැදුම ලූ භාජනය පරීක්ෂා කිරීමෙන් අනතුරුවය.

 

දැන් කොහොමද?

“දැන් අපේ නඩුව ඉවරවෙලත් හය මාසයකට වඩා කල්ගතවුණා නෙ පෙරකදෝරු මහත්තයා. මං මේ කතා කළේ ඒ‍කෙ ලියකියවිලි ටික තමුන්නාන්සෙ උසාවියෙන් අරගත්තද කියල දැනගන්ඩයි.” සිරිමල්, නීතිඥ ප්‍රසාද් දුරකථනයෙන් ඇමතුවේ ඔහු උසාවියේ කටයුතු අවසන් කොට තම කාර්යාලයට පැමිණි සැණෙකිනි.

“මිස්ටර් සිරිමල්, මට එකපාරටම, නිච්චියටම කියන්ඩ අමාරුයි මම ඒවා උසාවියෙන් අරගෙනද තියෙන්නේ කියල. ඔයාගෙ ෆයිල් එක බලලා හෙට මම නොවරදවා ම කියන්නං ඒ ලියකියවිලි මා ළඟ තියෙනවද කියල. මගෙ නෝනාව ගිය සුමානෙ පූසෙක් කාලා ටිකක් කරදර වුණා. ඒකෙන් මගෙ රාජකාරිත් අවුල් වුණා.” ප්‍රසාද් තම සේවාදායකයාට දත් තතු පහදමින් කීවේ ය.

“පූසෙක් හැපුවාම ටිකක් විසයි නේද? දැන් කොහොමද තත්වය? පූසට අමාරුද?” සිරිමල් වහා විමසීය.

හොඳටම ගැළපෙනවා

“ඔයා තමන් අඳින කලිසමට හොඳට ගැළපෙන කමිසයක්නෙ නිතර ම අඳින්ඩ පුරුදු වෙලා හිටියේ. දැන් මේ මොකද, එළහරකයි, මී හරකයි වගෙ එකකට එකක් නොගැළපෙන කලිසමක් - කමිසයක් ඇ‍ඳගෙන?” කිසියම් ගමනක් යාම සඳහා සූදානම් වෙමින් සිටි තම සැමියා දෙස බලමින් ඇමති බිරිය ඇසුවාය.

“නෑ හාමිනේ, මම මේ අඳින විදිහ දැන් මම දරන තානාන්තරේට හොඳටෝම ගැළපෙනවා කියලයි මට නං හිතෙන්නෙ. දැන් මට දීලා තියෙන්නෙත් එකකට එකක් කොහොමටවත් නොගැළපෙන ඇමතිකම් දෙකක් නෙ.” 

Comments