විශිෂ්ට පද රචකයන් අපට විශ්වවිද්‍යාල වගේ | සිළුමිණ

විශිෂ්ට පද රචකයන් අපට විශ්වවිද්‍යාල වගේ

 

ඔහු දිසාපාමොක් ගුරු කුළයේ ගුරුවරයෙක්. වෘත්තීය ජීවිතයෙන් බැහැර ව ඔහු දරුවන්ට උසස් රසවින්දනයක්, අවබෝධයක් ලබාදීමට දහදිය හෙළමින් දර දිය අදියි. එකී ගුරු භූමිකාවෙන් බැහැරව ඔහු ගායකයකු ලෙස ගීත ගණනාවක්ම මේ වන විට ගයා ඇත. ඔහු ඩී. එම්. වීරසිංහයි.

ඔබ කලාවට පිවිසෙන්නේ කොහොමද?

මම කලාවට පිවිසෙන්නේ පාසල් කාලයේදීයි. ඒ කාලයේදී විවිධ අවස්ථාවන්හි ගායනයෙන් සම්බන්ධ වීමට මට අවකාශ ලැබුණා. මීට අමතරව ගීත නිර්මාණය, තනු නිර්මාණයත් මා කර තිබෙනවා. කැලණි විශ්වවිද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබීමෙන් පසු සරල ගීත මා විසින්ම නිර්මාණය කළා. එසේ මම ගායනා කළ ගීතයක් 2015 රාජ්‍ය සම්මාන උලෙළේ නිර්දේශය වෙනවා. එය මගේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යයක් බවට පත් වෙනවා.

 

ගුරුවරයෙක් ලෙස ඔබ දරණ වගකීම්සහගත භූමිකාව කෙබඳු ද?

මගේ භූමිකාව ගොඩනැඟෙන්නෙ සංගීත ගුරුවරයෙක් ලෙසයි. එහිදී ශාස්ත්‍රීය සංගීතය සංස්පර්ශ කිරීමට මම දරුවන්ට උගන්වනවා. මීට අමතරව සමස්ත ලංකා සංගීත තරඟ සඳහා අපගේ නිර්මාණ ශක්තියත් අප උරගා බලනවා. ඒ වගේම සංගීත ගුරුවරයාගේ භූමිකාවෙන් බැහැරව සමාජ වගකීමක් ලෙස සුභාවිත ගීත රසවින්දනයට වගේම නිර්මාණයට දරුවන් යොමු කිරීමට මම කැපවෙනවා.

 

සරල ගීතවලට වත්මන් සමාජයේ රුචිකත්වය හීන වීමට ප්‍රධාන හේතුව මොකක්ද?

එයට ප්‍රධානම හේතුව පවුල් පසුබිමයි. පවුල් පසුබිම තුළ එකී රුචිකත්වය ගොඩනැඟීමට නොහැකි වුණොත් එය දරුවන්ගෙන් නොදැනුවත්වම ගිලිහෙනවා. දරුවෙක් ගොඩනැඟෙන්නේ පවුල, පාසල හා සමාජය ඇසුරෙයි. දරුවාට නිවස තුළින් එකී රුචිකත්වය ලබා නොදුන්නහොත් පාසල තුළින් එය ගොඩ නැඟීමට අපහසු වෙනවා. බොහෝවිට විෂය නිර්දේශයට කොටුවීම තුළ පාසැලේ වුණත් දරුවන්ගේ රුචිකත්වය ගොඩනැඟීමට පිටිවහලක් වන අවස්ථා අඩුයි. ඒ වගේම මාධ්‍යයන් බොහොමයක් තිබුණත් සුභාවිත ගීත විකාශනය වන්නේ ඉතාමත් අඩුවෙන්. ඒ නිසා මෙය අනාගත පරපුරේ ගැටලුවක් ලෙස හඳුන්වනවට වඩා එය මාධ්‍ය භාවිතය හා දරුවන්ගේ අඩිතාලම නිර්මාණය කිරීමේ ගැටලුවක් ලෙස හැඳින් වුවහොත් නිවැරදියි.

 

සරල, සුභාවිත ගීතවල රූප රචනාවක් නොමැතිවීමත් ප්‍රේක්ෂකයා අතරට යෑමට මඟ ඇහිරීමක් නේද?

ඔව්. එය ප්‍රබල ගැටලුවක්. කිසිම හේතුවක් මත අපට තාක්ෂණයෙන් බැහැර වීමට අවකාශයක් නැහැ. මහගමසේකරයන් ගීතය හඳුන්වන්නේ කනප්පුවක් ලෙසයි. පද රචනය, සංගීතඥයා, ගායකයා යන ත්‍රිත්වය එක හා සමානව බද්ධ විය යුතුයි යන්න ඉන් අර්ථවත් වෙනවා. නමුත් මම ගීතය මේසයක් ලෙස අර්ථකථනය කරනවා. ඉහත ත්‍රිත්වයට අමතරව රූප රචනයත් ගීතයට එකසෙයින් දායක වෙනවා. නමුත් රූප රචනාවක් ප්‍රශස්ත මට්ටමේ රූප රචනාවක් වීම අනිවාර්යයයි. “අපේ අම්මා“ නමින් වූ මගේ ගීතයේ රූප රචනාව හරියට කෙටි චිත්‍රපටයක් තරමටම අපූර්ව ලෙස නිර්මාණය කරලා තිබෙනවා. නමුත් වර්තමානයේ බොහෝ රූප රචනා හරසුන් ස්වභාවයක් දක්නට ලැබෙනවා. එහි එකම දර්ශන හා එකම නළු නිළියන් පිරිසක් පමණයි සිටින්නේ. එසේ කරන්නන්වාලේ රූප රචනා නොකර අර්ථාන්විතව කිරීම වඩාත් වැදගත්. ගුවන් විදුලි මාධ්‍ය පමණක් තිබෙනවා නම් රූප රචනා අවශ්‍ය නැහැ. නමුත් වර්තමානයේ රූපවාහිනී කලාව ජනප්‍රිය තලයේ තිබෙන නිසා ගීතයට රූප රචනාව අත්‍යවශ්‍යයි.

 

ඔබ පද රචනයට යොමු වුණේ කොහොමද?

මම පාසල තුළ ගුරුවරයෙක් ලෙස වසර දාහතක් පමණ සේවය කර තිබෙනවා. එකී කාලය තුළ මම මුලින්ම යොමු වුණේ භක්ති ගීත නිර්මාණය සඳහායි. විශේෂයෙන් වෙසක් සහ පොසොන් සඳහා ගීත නිර්මාණය කිරීමට අප යොමු වුණා. එහිදී විශිෂ්ට කවියන් පද රචකයන් බවට පත් කිරීමටත් මට අවස්ථාව ලැබුණා. එයට හොඳම උදාහරණය අපේ අම්මා ගීතය රචනා කළේ කවියෙකු වන දඹගල්ලෙ කේ. බී. රත්නායකයි. අතීතයේ හා වර්තමානයේ විශිෂ්ට පද රචකයන් සිටිනවා. ඔවුන් හරියට අපට විශ්වවිද්‍යාල වගෙයි. එකී පද රචනාවන් අධ්‍යයනය කිරීමෙන් ඔවුන්ගේ භාෂාව හසුරුවන ආකාරය පිළිබඳව අප අවබෝධයක් ලබනවා. ඔවුන්ගේ ආභාෂය තුළයි අපත් ගොඩනැඟෙන්නේ.

 

ඔබගේ අනාගත බලාපොරොත්තු මොනවාද?

මම ගොඩක් සරල ජීවිතයක් ගත කරන කෙනෙක්. මම කලාව භාවිත කරන්නේ හුදු රසවිඳින සඳහා වගේම සමාජය සුවපත් කිරීමටයි. බොහෝවිට මම ගැවසෙන්නෙ දරුවන් සමඟයි. ඒ නිසා දරුවන්ගේ රසවින්දනය වැඩිදියුණු කිරීමේ වැඩසටහන් නොමිලේ පවත්වනවා. එසේ අනාගතයේදීත් දරුවන්ගේ සුබසිද්ධිය වෙනුවෙන් යහපත් යමක් කිරීමයි මගේ එකම බලාපොරොත්තුව.

 

ඔබගේ පවුලේ විස්තර කොහොමද?

මගේ මව සහ පියා ජීවතුන් අතර නැහැ. මට සහෝදරයන් හයදෙනකු සහ සහෝදරියක් සිටිනවා. මම විවාහකයි. මගේ බිරිඳ නිර්මලා දිසානායකයි. ඇය හෙද නිලධාරිනියක්. මගේ දුව නෙතුලි සේමින්දි ඇය මේ වන විට හයවන ශ්‍රේණියේ අධ්‍යාපනය ලබනවා.

Comments