මට කොළඹ ජීවිතේ එපා වුණු දවස් තියෙනවා | සිළුමිණ

මට කොළඹ ජීවිතේ එපා වුණු දවස් තියෙනවා

- මගේ දැනුමෙන් අලුත් සංකල්පවලින් ව්‍යාපාර කටයුතු පවත්වාගෙන යනවා
- මුලින්ම අපේ අශ්වයන් දෙන්නෙක් තරගයට යොමු කළේ 2000 අවුරුද්දේ
- අශ්වයෙක් මුලින්ම ඉවත් වුණා කියල අපි බලාපොරොත්තු අත්හැර ගත්තේ නැහැ
- මගේ තාත්තා 2004 වනතුරු තිබූ තරග ආරම්භය වෙනස් කළා
- ඒ නිසා තමයි දැන් ලස්සන ආරම්භයක් ගන්න හැකි වෙලා තියෙන්නේ

බහ තෝරණ වයසේදී අශ්වයකු පිට යන්න ආශා කළාට වඩා අශ්වයින් පොළොව හප්පා දිගු අඩි තබා දුවන ශබ්දයට කැමැති කෙනෙකු ලෙස මේ කතා බහට මූල පූර්ණය සපයන ඔහු හඳුන්වා දීමට පුළුවන. ඔහු නමින් හසංග ජයරත්නය. ජයරත්න කියූ සැණින් කාගෙත් මතකයට නැ‍ෙඟන්නේ අවසන් ගමන් යන මොහොතේ සැතපෙන අඩි හයේ හතරේ පෙට්ටියත් මියගිය ප්‍රාණය සහිත ශරීරය සකසන ජයරත්න මල් ශාලාවය. හසංග යනු ජයරත්න පරම්පරාවේ තුන්වැනි පුරුකය. හසංගගේ ආදරණීය පියාණන් වූ ගාමිණී ජයරත්නයන් කලක් ශ්‍රී ලංකා තුරඟ තරග ක්‍රීඩා සමාජ සාමාජික හා සභාපති ය.

දශකයකට එහා ගිය ප්‍රෞඪ ඉතිහාසයක් ඇති ආණ්ඩුකාර තුරඟ තරග කුසලානය පසුගියදා නිමාව දුටුවේය. එහි කුසලානය හිමිකර ගත්තේ හසංග සතු තුරඟයෙකි.

“මට කොළඹ ජීවීතේ එපා වුණු කාල තියෙනවා. එතකොට තාත්තා අපිව එක්කගෙන යන්නේ නුවරඑළියට. අපිට එහේ ගෙයක් තිබ්බා. ඒ නිසා වසන්ත කාලෙට නුවරඑළියට යන්න අපි පුරුදු වෙලා හිටියා. එහෙම ගිය එක දවසක ආසාවට තාත්තා මාව එක්කගෙන ගියා තුරඟ තරග නරඹන්න. ඒ වර්ෂ 1999දි. එදා මට පුදුම ආසාවක් ඇති වුණේ අශ්වයෝ තරග වදින විදිහ දැකලා. ඒක අන්තිමට මගේ විනෝදාංශය වුණා. මගේ විතරක් නෙමෙයි මගේ තාත්තාගෙත් ඒක තමයි විනෝදාංශය. ඒ ආසාවත් එක්ක තාත්තා තීරණය කළා තාත්තගේ සමාගම් නියෝජනය කරලා අශ්වයන් මිල දී ගෙන තරග සඳහා යොමු කරන්න. ඒ විදිහට අපි ඉන්දියාවෙන් අශ්වයින් මිලදී ගෙන අශ්වා රෝහකයන්වත් ඉන්දියාවෙන් ගෙනත් තරග සඳහා යොමු කළා. මුලින්ම රේස් එකට අපේ අශ්වයින් දෙන්නෙක් යොමු කළා. ඒ 2000 වර්ෂයේ. එතැන ඉඳලා මේ වෙනකල් අපි තරග කරනවා. ”

අශ්වයන් දෙදෙනකුගෙන් ගමන ආරම්භ කළ ඔවුන් සතුව මේ වන විට අශ්වයෝ 30 ක් සිටිති. ඒ අශ්වයෝ දැන් විශ්‍රාම සුවයෙන් පසු වෙති. එහෙත් ඔවුන් තුරඟ තරග සඳහා නිරෝගී අශ්වයන් දෙදෙනකු යොදවයි. ඒ අශ්වයෝ දෙදෙනාම සෑම තුරඟ තරගයක්ම නියෝජනය කරති. පසුගියදා නිමාව දුටු ආණ්ඩුකාර කුසලානය සඳහාත් ඔවුහු අශ්වයන් යොමු කළහ. 2004 වර්ෂයේ ආණ්ඩුකාර කුසලානය පළමු වරට ඔවුන් සතු කරගත් ඔවුහු මෙවරද එම කුසලානයට හිමිකම් කීමට සමත් වූහ.

වසර 1840දී ජෝන් බ්‍රේකර් හා සැමුවෙල් බ්‍රේකර් සොහොයුරන් විසින් ආරම්භ කරන ලද තුරඟ තරග පසුව ආණ්ඩුකාර සර්. හෙන්රි එඩ්වර්ඩ් මැකලම් විසින් දියුණු මට්ටමකට ගෙන ඒමට කටයුතු කළේය. එයයි දැන් ආණ්ඩුකාර තුරඟ තරග කුසලානය වන්නේ. එහි දෙවතාවක් ම අයිතිය ඔවුන් සතු කර ගත් සතුට හසංග කීවේ මෙලෙසින් ය.

“අපි විවිධ තුරඟ තරග ජයග්‍රහණය කරලා තියෙනවා. නමුත් ආණ්ඩුකාර කුසලානය ලබා ගැනීම තමයි විශේෂත්වය විදිහට මම දකින්නේ. එය 2004 වර්ෂයේ වගේම මෙවරත් අපේ ග්‍රහණයට ගන්න පුළුවන් වුණා. ඒක ඇත්තටම සතුටක්. අපි ළඟ ඉන්න නිරෝගීම හොඳම අශ්වයන් දෙන්නව තරග සඳහා යොමු කරන්නේ. එක අශ්වයකු තරගය ආරම්භය ගනිද්දිම දඟලලා සීමාව කඩාගත් නිසා තරගයෙන් ඉවත් වුණා. අනෙක් අශ්වයා තමයි ජයග්‍රහණය කළේ. අශ්වයෙක් මුලින්ම ඉවත් වුණා කියලා අපි බලාපොරොත්තු අත් හැර ගත්තේ නැහැ , අන්තිම මොහොත වෙනකල් බලාපොරොත්තු තිය ගත්තා. කොහොම නමුත් අවසානයේ අපි ජයග්‍රහණය කළා. ඒ වගේම කියන්න ඕන 2004 වර්ෂය වනතුරුම තරග ආරම්භ කරන්න තිබ්බ ක්‍රමය මගේ තාත්තා වෙනස් කරලා ගේට්ටු මතින් තරග ආරම්භ කරන ක්‍රමය ගෙනාවා. එහිදි තාත්තා ගේට්ටු 12 ක් ආනයනය කළා. ඒ නිසා තමයි දැන් ලස්සන ආරම්භයක් ගන්න හැකි වෙලා තියෙන්නේ.”

මෙවර ආණ්ඩුකාර තුරඟ තරග කුසලානය ලබා ගැනීම සම්බන්ධයෙන් ඔහු එලෙස සතුට වචනවලට පෙරළුවේය. තුරඟ තරගවලින් ලාභ ලැබිය නොහැකිය. පාඩු ලබමින් අතේ මුදල් ඊට යොදමින් සුළුතරයක් වෙනුවෙන් පවත්වන තුරඟ තරග සඳහා නියෝජනය ලබා දෙන්නේ කුමන අරමුණකින්ද යන්න අප හසංගගෙන් විමසුවෙමු, ඔහු සිනා සී කියා සිටියේ

“ආත්ම තෘප්තියට හා ප්‍රස්ටීජ් එකට තමයි යන්නයි. ඒ ආත්ම අභිමානය ඔවුන් කරා එන්නේ තුරඟයන් නිසාය. සුද්දන් මෙරටට ගෙන ආ ක්‍රීඩාව ධනවත් බවේ එක සංකේතයක් බව පෙනී යයි. තම කුලය පංතිය පවත්වාගෙන යාම එක අරමුණක් වන අතර එහි ඔවුන්ගේ සතුටද පවතී. ඒ සතුට ඔවුන් වෙත ළඟා කර ගන්නේ ඉතා අධික මුදලක් වැය කරමිනි. තුරඟයන්ට සාත්තු සප්පායම් කිරීම කෑම බීම ලබා දීම ගැන හසංග මතක් කළේය.

“ තරග සඳහා යොමු කරන අශ්වයන් දෙන්නා මේන්ටේන් කරන විදිහ වෙනස්. ඔවුන්ට වෙනම ඉන්දියාවෙන් කෑම ගේනවා. මුං කඩල හා තවත් ධාන්‍ය දාලා විශේෂ කෑමක් හදනවා. තණ කොළවලට මාසෙකට වියදම ලක්ෂයක් විතර යනවා. ඊට අමතරව විටමින්, සප්ලිමන්ට් දෙන්න ඕන. ඒවාට ලොකු වියදමක් යනවා. කෑම බීම බෙහෙත් හා විශේෂ තණකොළ හැර ඔවුන්ට ව්‍යායාම් කරවන්න, ඔවුන්ව බලා ගන්න වෙන පිරිසක් ඉන්නවා. එයාලා ඒ අශ්වයන් දෙන්නව හරියට මේන්ටේන් කරනවා. සමහර දවස්වලට අශ්වයන්ව පැය භාගයක් ඇවිද්දවනවා. ඊට අමතරව කරන්න ඕන ක්‍රියාකාරකම් තියෙනවා. කාල සටහනකට අනුව ඒවා කරවනවා. වැස්ස අධික කාලවලට ඔවුන් පිට්ටනියට යන්න අදිමදි කරනවා පිඩලි තෙත නිසා. තෙත් පොළොවේ ඇවිදින්නේ නැහැ. වැස්ස කාලෙට තමයි එයාලව නිදහසේ තියන්නේ. නමුත් තරග කාලෙට හරි පුහුණුවක් ලබා දෙනවා. ඒ වගේම අපි අශ්වාරෝහකයන් ගෙන්වන්නේ ඉන්දියාවෙන්. ඔවුන්ට ලොකු මුදලක් දෙන්න ඕන. කෑම බීම, නවාතැන් ගුවන් ටිකට්පත් ආදියට ලොකු වියදමක් දරනවා. ඒ වගේම අශ්වයන් අවුරුදු අටක් නමයක් විතර කාලයක් තමයි තරග සඳහා යොමු කරන්නේ. එතැනින් එහාට විශ්‍රාම ගන්වන්න ඕන. හරියට පර්ෆෝම් කරන්නේ නැහැ වයස එක්ක. වයස පැන්නම අලුත් අශ්වයන් මිලදී ගන්න ඕන. පහසු නිසා අපි ඉන්දියාවෙන් ගෙන්වන්නෙ. දැන් ඉන්න අශ්වයින් දෙන්නාගේ වයස අවුරුදු එකොළහක් වෙනවා. අපි හරියට මේන්ටේන් කරන නිසා ඒ දෙන්නගේ දක්ෂතා තවම දකින්න ලැබෙනවා. ඇත්තටම කිවුවොත් කිසිම ලාභයක් නැහැ. වසර ගණනාවක් කරගෙන ආ කටයුත්ත අතරමඟ නතර කරන්න බැහැ. මොන තරම් මුදලක් ගියත් ඒ දේ කරන්න හිතෙනවා. බොහෝ අය දැන් මේ සඳහා යොමු වෙන්නේ නැහැ. ඒ ලොකු මුදලක් යට කරන්න ඕන නිසා. නමුත් අපි දිගටම කරගෙන යනවා."

හසංග එසේ අශ්වයන්ගේ වග තුග කිව්වේය. ඊළඟ පැනය වූයේ දිනකට ඒ අශ්වයන් සඳහා කෑම වේල් කොපමණක් ලබා දෙනවාද යන්නයි. එහිදි ඔහු සඳහන් කළේ දිනකට එක අශ්වයෙකුට කිලෝ තුන බැඟින් වේල් දෙකක් උදේ හා හවස් කාලයේදී ලබා දෙන බවයි. එමෙන්ම ඔවුන් සතුව තවත් අශ්වයෝ 30ක් සිටිති. ඒ අශ්වයන් ගැනද ඔහු මෙලෙසින් සඳහන් කළේය.

“ අපේ දඹුල්ල ෆාම් එකක් තියෙනවා. ඒ ෆාම් එකේ ඔවුන් නිදැල්ලේ ජීවත් වෙනවා. අශ්වයන් තිස් දෙනා රේස් සඳහා යොමු කරන්නේ නැති නිසා ඔවුන්ට ව්‍යායාම් ලබා දෙන්නේ නැහැ. කෑම බීම ලබා දෙනවා. සංචාරකයන්ට අශ්වයන් පදින්න අවස්ථාව ලබා දෙනවා. ඊට අමතරව පැටවු ලබා ගැනීම සඳහා කටයුතු කරනවා.”

හසංග එසේ සඳහන් කළේය. හසංගගේ ආදරණීය බිරිය වෛද්‍යවරියකි. ඇයද දැන් තුරඟ තරග නැරඹීමට ප්‍රිය කරන්නියකි. හසංග ජයරත්නගේ ආදරණීය සහෝදරිය නිශාරා ජයරත්නය. ඇය නීතිපති දෙපාර්තමේන්තුවේ සේවය කරමින් කා අතරත් කතාබහට ලක් වූ අයෙකි.

“මගේ අක්කා ව්‍යාපාර සඳහා සම්බන්ධ වෙන්නේ නැහැ. ඇය රැකියාව එක්ක කාර්‍යබහුල කෙනෙක්. ඒ නිසා මම තමයි තාත්තා එක්ක එකතු වෙලා ව්‍යාපාර පැත්ත ගැන බලන්නේ. මම එංගලන්තයේ වැඩිදුර අධ්‍යාපනය හදාරලා 2014 වර්ෂයේ ලංකාවට ආවේ. දැන් මගේ දැනුමින් අලුත් සංකල්ප වලින් ව්‍යාපාර කටයුතු පවත්වාගෙන යනවා. මගේ බිරිය පබා ජයරත්න. එයා මම කාලයක සිට දන්න කෙනෙක් පවුලේ හිතවතුන් විදිහට. අපි මුලින්ම කතාබහ කරන්න පටන් ගන්නේ 2014 අවුරුද්දේ. ආදරේ කරලා විවාහ වුණේ ගිය අවුරුද්දේ. දැන් එයත් කැමැතියි තුරඟ තරග නරඹන්න. මගේ අම්මත් පවුලේ ව්‍යාපාරවලට සම්බන්ධයි.”

හසංග එලෙසින් පවසා කතාබහට සමු දුන්නේය.

Comments