
- කලාත්මක නිර්මාණයට සාධනීය සාධාරණයක් ඉටුවන තෙක් අප බලාගෙන සිටිනවා
- ෆැන්ටසි චරිතවලට මාව තෝරගන්න ෆැන්ටසි හැඩය මගේ පෙනුම තුළ නැහැ
පුංචි තිරය හා වේදිකාව තුළ රංග ප්‍රතිභාව ඉස්මතු කළ චන්දන ඉරුගල්බණ්ඩාර අපූරු කලාකරුවෙකුවේ යැයි හැඳින්විය හැක්කේ ඔහු නිතර දකින්නට නොලැබුණත් ඔහුගේ රංගන ප්‍රතිභාව අමතක නොවන තැනක තැන්පත් කිරීමට තරම් ඔහු දක්ෂ වූ නිසයි. අද රසඳුන හා ඔහු දොඩමළු වන්නේ එකී ගමන් මගෙහි රසමුසු තැන් කීමටයි.
කොහොමද මේ දවස්වල ජීවිතේ...
මම මේ දිනවල චන්දෝලි ටෙලි නාට්‍යයේ රූගත කිරීම් වලට සහභාගි වෙනවා. ඒ නිසා තරමක් කාර්යය බහුලව කාලය ගත කරනවා.
ඔබ අධ්‍යක්ෂක කාර්යයට යොමු වන්නේ කොහොමද?
මම වියළි ලෙස ටෙලිනාට්‍යයක අධ්‍යක්ෂක භූමිකාව කළා. එය මීට වසර දෙකකට පෙර රූගත කිරීම් නිම කර නාලිකාවකට යොමු කළා. ඒ කලාත්මක නිර්මාණයට සාධනීය සාධාරණයක් ඉටු වන තෙක් අප බලාගෙන සිටිනවා.
ඔබ වැඩිපුර දකින්නේ යථාර්ථවාදී චරිත තුළින්. ඒ ඔබේ තෝරා ගැනීමක් ද නැත්නම් ඔවුන් ඔබට ආරාධනා කළේ එකී චරිත සඳහා පමණද?
එය දෙයාකාරයටම පොදුයි. ෆැන්ටසි චරිත වලට මාව තෝරගන්න ෆැන්ටසි හැඩය මගේ පෙනුම තුළ නැහැ. මගේ බාහිර පෙනුම පොළොවේ පය ගහලා ඉන්න, චරිත භාවයක් ඉස්මතු කරනවා. අපට ටීක් බෝල පෙනුමක් නැහැ. මම මුලින්ම රඟපෑ චරිත දකින අධ්‍යක්ෂකවරුන් ඔවුන්ගේ චරිතවලට ඒ අනුව අප වෙනුවෙන් ගොඩනගා ගන්නවා. ඒ නිසා ඔවුන් මාව ෆැන්ටසි චරිත වලට ආරාධනා කරන්නේ නැහැ. ෆැන්ටසි චරිත නිරූපණය කරන්නත් මගෙ කැමැත්තකුත් නැහැ.
ඔබ කලාවට පිවිසෙන්නේ කොහොමද?
1996 උසස් පෙළ සඳහා නාට්‍ය හා රංග කලා විෂයක් ලෙස මම හැදෑරුවා. ඉන්පසු 1997 පොල්ගහවෙල නිර්මාණි සිනමා සංස්කෘතික පර්ෂදයේ ජිනදාස එච්. ගමගේ ගුරුතුමන් යටතේ වසර දෙකක නාට්‍ය හා රංග කලාව පාඨමාලාවක් හැදෑරුවා. එහිදී ජනරාල් රෝහණ සහ ෂෙල්ටන් පයාගල යන සිනමාවේදීන් යටතේ මූලික ගුරුහරුකම් මම ලැබුවා. ඉන්පසු කුරුණෑගල වයඹ කලා උලළෙට සම්බන්ධවීමට අවකාශ ලැබුවා. රාජ්‍ය නාට්‍ය උලළෙ, යෞවන සම්මාන උලළෙ යන උලළෙවල් සඳහා තරඟ වලට සම්බන්ධ වෙලා කොළඹට ක්‍රමක්‍රමයෙන් මම පිවිසුණා. මගේ ජීවිතය වේදිකාවයි. තවමත් වේදිකා වැඩකටයුතුවල මම නිරත වෙනවා.
වේදිකාව තුළින් කලාවට පිවිසෙන්නන්ට කැමරාව ආධුනික නැහැ කියලා කතාවක් තියෙනවා. එහි සත්‍ය අසත්‍යතාව ගැන කිව්වොත්.
ඔව්. එය නිවැරදියි. වේදිකාව භාවිතා කළ ශිල්පියාට හෝ ශිල්පිනියට සිනමාව ජයගන්න මහ කජ්ජක් නෙමෙයි. රංගනය කියන්නේ රඟ නොපා රඟපෑමයි. දෙබස් කට පාඩම් කළ ලොකු දුරක් ගමන් කළ කෙනකුට වඩා වැඩ වේදිකාව තුළින් ගොඩනැඟුණු පුද්ගලයා රංගන ශිල්පීන් ලෙස අර්ථකථනය කළොත් නිවැරදියි.
චන්දන ඉරුගල් බණ්ඩාර කියන්නේ හෙමින් ගමනක් යන කලාකරුවෙක් යැයි මම අර්ථකථනය කළොත්.
ඇත්තටම ඔව්. මම විශාල කට්ටක් කාලා හෙමින් ගමනක් යන කෙනෙක්. මගේ තාත්තා හා අයියා යන දෙදෙනාගෙන්ම නාට්‍ය ආභාෂය මම ලබලා ඉහේ කෙස් ගානට කට්ට කාලා මම හෙමින් ගමනක් ගියා. 2004 වසරේ නාලන් මෙන්ඩිස් මහත්මයාගේ මම නෙමෙයි මම ටෙලිනාට්‍යයේ සහාය අධ්‍යක්ෂකවරයා ලෙස කටයුතු කිරීමට මට අවකාශ ලැබෙනවා. එයින් පසුවයි මම ටෙලි නාට්‍ය ක්ෂේත්රයට සම්බන්ධ වෙන්නේ. ඊට කලින් පැවතුණේ වේදිකාව භාවිතය පමණයි.
රංගන ශිල්පීන් අධ්යක්ෂ ධුරයට යොමු වීම වත්මනෙහි ප්‍රවණතාවයක් වී තිබෙනවා. එසේ රංගන ශිල්පියෙක් වූ පමණින් අධ්‍යක්ෂණය කළ හැකි යැයි ඔබ විශ්වාස කරනවද?
ඕනෑම රංගන ශිල්පියෙකුට අධ්‍යක්ෂණය කළ හැකි යැයි මම විශ්වාස කරන්නේ නැහැ. අධ්‍යක්ෂක ධුරය ඕනෑම කෙනෙකුට කළ හැකියි. නියම අධ්‍යක්ෂකවරයා කියලා කියන්නේ විෂය හොඳින් පරිශීලනය කර, කැමරා කෝණ හඳුනාගෙන, පිටපත හොඳින් අවබෝධ කරගෙන රංගන ශිල්පීන්ගේ හැකියාව උපරිමයෙන් එළියට ගත හැකි කෙනෙකුටයි. එයින් පරිබාහිරවත් අධ්‍යක්ෂකවරයකු විය හැකියි. නමුත් එය සාර්ථක ව්‍යායාමයක් ලෙස මම දකින්නේ නැහැ.
ඔබ මෙතෙක් ආ ගමන් මඟ ගැන තෘප්තිමත්ද?
ඔව්. මම තෘප්තිමත්. මේ ක්ෂේත්රයේ කැපිලි කෙටිලි, කකුලෙන් ඇදීම්, පිටිපස්සෙන් ඇවිත් පිහියෙන් ඇනීම් වැඩියි. එහෙම දේවල් ගොඩක් මගේ ජීවිතේ මං අත්විඳලා තියෙනව. එසේ නොවුනා නම් ඊට වඩා මට ඉදිරියෙන් සිටීමටත් අවකාශ තිබුණා. මෙතෙක් ආ ගමන තුළ මට තෘප්තියක් නැහැ කියන්නේ නැහැ. නමුත් යම් යම් කාරණා එසේ නොවුණා නම් මීට වඩා ගමනක් මම ගිහින්. මම නාට්‍යයක් කරල අවුරුද්දකුත් මාස ගණනාවක් ගතවී හමාරයි. නාලිකාවකට එය දමා ගන්න මම වගේම නිෂ්පාදකතුමා විශාල කට්ටක් කනවා. එවැනි අවස්ථාවලදී මගේ තෘප්තිය හීන වෙනවා.