
නිවර්තනා දේවගේ මෙවර රයිගම් ටෙලි සම්මාන උලෙළේදී වසරේ නැඟී එන ටෙලි නාට්‍ය නිළියට හිමි සම්මානය දිනාගැනීමට වාසනාවන්ත වුණා. ඒ ජයප්‍රකාශ් සිවගුරුනාදන් අධ්‍යක්ෂණය කළ ලෝකා ටෙලි නිර්මාණයේ ප්‍රසාදිගේ චරිතය වෙනුවෙන්. වේදිකාව, සිනමාව සහ පුංචි තිරය තුළ සීරුවට හොඳ ගමනක් යන ඇය රංගනයේ දුර ගමනක සේයා මවමිනුයි ඉන්නේ.
හා හා පුරා කියලා ලැබුණ සම්මානයේ සතුට වචන කරන්න පුළුවන්ද ?
මේ ලැබුණ සම්මානය මගේ ජීවිතේ හැරවුම් ලක්ෂ්‍යයක් වගේ. මම මුලින් සම්බන්ධ වුණේ සිනමාවට. ටෙලි නාට්‍යවල වැඩ කරන්න මම වැඩි කැමැත්තක් දැක්වුවේ නෑ. අකිල සපුමල් කියන මගේ ගුරුවරයාගේ තිර රචනයක් තමයි ලෝකා කියන්නේ. ඔහු ආරාධනා කළ නිසා එයට සම්බන්ධ වුණා. මම සම්බන්ධ වුණ රඟපෑ පළවෙනි ටෙලි නාට්‍යයටම සම්මානයක් ලැබෙයි කියලා තුන් හිතකවත් තිබුණේ නෑ. ඒත් මේ ලැබුණු සම්මානය ගැන මට පුදුමාකාර සතුටක් දැනෙන්නේ.
සම්මානය නොලැබුණා නම් දුකක් නැති වෙයිද?
මාව මේ සම්මානයට නිර්දේශ වුණ දවසේ තමයි මං මුලින්ම සතුටු වුණේ. මට ඒ ඇති කියලා තමයි එදා හිතුණේ. මාව නිර්දේශ වුණාම මම හිතුවේ ඒ පෙළඹවීමෙන් මම කවදා හරිම සම්මානයක් ගන්නවා කියලා. සම්මානය වෙනුවෙන් මගේ නම කියද්දි ඇත්තටම මම නැගිටින්නවත් ලෑස්ති වෙලා නෙමෙයි හිටියේ. මම හිතුවේ සම්මානය නිර්දේශ වුණ අනෙක් රංගන ශිල්පිනියන්ගෙන් කෙනෙක්ට ලැබෙයි කියලා. මොකද ඔවුන් මට වඩා මේ ක්ෂේත්රයේ වැඩ කරලා තිබ්බා.
රංගන ශිල්පිනියක් වෙන්න ඔබ ආපු ගමන පහසු ගමනක් වුණේ නෑ නේද?
පාසැල් යන කාලේ සිට වේදිකා නාට්‍යවලට මම සම්බන්ධ වුණා. උසස් පෙළ කරන කාලේ මම අජිත් ක්‍රිෂාන්ත සේරම් සර්ගේ වැඩමුළුවලට සම්බන්ධ වුණා. ඊට පස්සේ ඒ ලෙවල් චිත්‍රපටය වෙනුවෙන් රොහාන් පෙරේරා සර් මාව තෝරා ගත්තා. හැබැයි මගේ අප්පච්චි මම රඟපාන්න යනවට කැමැති වුණේ නෑ. රොහාන් සර් මගේ පාසලට, මගේ අප්පච්චිට කතා කළා මාව චිත්‍රපටයට සම්බන්ධ කරගන්න. තාත්තා මට චිත්‍රපටයට යන්න අවසර දුන්නේ රූගත කිරීම් පටන් ගන්න කලින් දවසේ. මගේ පළවෙනි චිත්‍රපටයේ මංගල දර්ශනයටවත් යන්න අප්පච්චි අවසර දුන්නේ නෑ. මට ආපු අවස්ථා ගොඩක් මඟ හැරුණා.
අප්පච්චි එපා කිව්වට ඔබ ඔබේ ගමන නැවැත්තුවේ නෑ නේද?
මම කොහොමත් පුංචි කාලේ ඉඳන් හිතුවක්කාරයි. එපා කියන දේමයි කරන්නේ. මම ලොකුවට ඉගෙන ගන්න කැමැත්තක් දක්වපු කෙනෙක් නෙමෙයි. ක්‍රීඩා පිටියෙයි නැටුම් කාමරෙයි තමයි වැඩිපුරම කාලය ගත කළේ. ගෙදරින් නිදහස් වෙලා විශ්වවිද්‍යාලයට එන්න ඕනකම නිසා තමයි මාසෙන් පාඩම් කරලා A3ක් අරගෙන කැලණිය විශ්වවිද්‍යාලයට ආවේ.
සම්මානය ගත්තට පස්සේ අප්පච්චි ඔබ ගැන සතුටු වෙනවා ඇති?
ඔව්. දැන් අප්පච්චි මං ගැන ආඩම්බර වෙනවා. සම්මානය ලැබුණ වෙලාවේ එයාට ඇඬුණා. ඒ සතුටට.
දැන් ඔබ හීන දකින්නේ රංගනයෙන් ඉදිරියට යන්නද? වෙනත් ක්ෂේත්රයකින් ඉදිරියට යන්නද?
මට කථිකාචාර්යවරියක් වෙන්න ඕනේ. සල්ලිවලට වඩා මම මගේ ගෞරවය ගැන හිතන කෙනෙක්. රංගනය මගේ ආසාව, විනෝදාංශය. මගේ ඇඟේ තියෙන දේ. රංගනය වෘත්තිය කරගන්න මගේ කැමැත්තක් නෑ.
රංගනය ජනප්‍රිය වෙන්න හොඳ මාධ්‍යයක්. ඔබ ජනප්‍රියත්වය හොයාගෙන යන්නේ නැද්ද?
ඇත්තටම මම රංගනය කරන්නේ ජනප්‍රිය වෙන්න නෙමෙයි. මට මගේ කියලා ෆේස්බුක් ගිණුමක්වත් තිබ්බේ නෑ. සම්මානය ලැබුණට පස්සේ මගේ විශ්වවිද්‍යාලයේ ගුරුවරයෙක් තමයි මට ෆේස්බුක් ගිණුමක් හදලා දුන්නේ. මම සාමාන්‍ය ජීවිතයකට ප්‍රිය කරන කෙනෙක්. මම කැමැති සරල ජීවිතයකට. ඒ නිසා ජනප්‍රිය හීන පස්සේ මම යන්නේ නෑ. හැබැයි මට හොඳම නිළි හීනයක් තියෙනවා.
සම්මානය ලැබුණට පස්සේ ඔබේ මූල්‍ය වටිනාකම වැඩි වෙයිද?
නිකන් හම්බෙද්දි ඕනම දෙයක වටිනාකමක් නෑනේ. මුල ඉඳලම මම වටිනාකමක් හදාගෙන හිටියා. ඒ වටිනාකම නිසාම තමයි මම වැඩිය වැඩවල නැත්තෙත්.
අලුත් නිර්මාණවලට සම්බන්ධ වුණාද?
ආරියරත්න ඇතුගල සර්ගේ සහෝ චිත්‍රපටයට මම සම්බන්ධ වුණා. එය දැන් තිරගත වෙනවා. එතුමාගෙම සිසිවන වුවන කියන ටෙලි නාට්‍යයටත් මම සම්බන්ධ වුණා. විශ්වවිද්‍යාලයේ අවසන් වසරේ පර්යේෂණ නිබන්ධනයේ වැඩ කටයුතුවලට කාර්්‍යබහුල වෙලා ඉන්න නිසා මම ගොඩක් නිර්මාණවලට සම්බන්ධ වුණේ නෑ.
මොනවද ඊළඟ බලාපොරොත්තු ?
මගේ ඊළග උපාධිය වෙනුවෙන් විදේශගත වෙන්න හිතාගෙන ඉන්නවා. කොහොම වුණත් තව අවුරුදු දෙකක් විතර ලංකාවේ ඉන්නවා.