සිළුමිණ බැබළ වූ දේශපාලන කාටුන් ශිල්පියෝ | සිළුමිණ

සිළුමිණ බැබළ වූ දේශපාලන කාටුන් ශිල්පියෝ

ද පුවත්පතකට නැතුවම බැරි අංගයක් නම් දේශපාලන කාටුන් චිත්‍රයයි.

පත්‍රයක කර්තෘ වාක්‍ය මෙන්ම විකට චිත්‍රය ද වැදගත් වේ. විකට චිත්‍රයක් පළ නොවන පුවත්පතක පිරිමහින්නට බැරි තරම් වු අඩුවක් පෙනේ. විකට චිත්‍ර, විකට රූප (CARICATURE) විකට චිත්‍ර (CARTOON) හා හාස්‍ය කතා චිත්‍ර (COMIC STRIP) යනුවෙන් තෙවැදැරුම් වුව ද ඒවා අතර අන්‍යොන්‍ය සම්බන්ධතාවක් දක්නා ලැබේ. කාටුන් මුලින්ම දේශපාලන මුහුණුවරක් ගත්තේ ප්‍රංසයේය. ඔනෝරේ ඩෝමියර්, හෙන්රි මෝනියර්, ගෑන්ඩ් විල් ආදීන්ගේ විකට චිත්‍ර රැගත් ලාකැරිකේචර් සඟරාව චාල්ස් පිලිපෝන් විසින් පටන් ගන්නා ලදී. දේශපාලන කාටුන් නිෂ්පාදකයා ඩේවිඩ් ලෝය.

‘මුදලාලි කාටුනයටත් පෙර ලංකාවේ කාටුන් පළ වී ඇත. 1930 මාර්තු 30 වැනිදා නිකුත් වූ 'සිළුමිණ' මංගල කලාපයේ අග ඈතින් දිග කාටුනයකි. එහි චිත්‍ර ශිල්පියකු සඳහන් නොවේ. දෙවරක් සිළුමිණ කර්තෘ ධුරය හෙබවූ තිලකරත්න කුරුවිට බණ්ඩාර මා සමඟ පැවසුවේ එම කාටුනය විදේශීය කාටුනයකට සිංහල දෙබස් එක්කොට පළ කොට ඇති බවය. මෙම කාටුනය වම් පස ඉහළින් 'සිළුමිණ විකට චිත්‍ර' ලෙස හඳුන්වා ඇත.

සිළුමිණ සාමාන්‍ය පොදු ජනතාවට සමීප පුවත්පතක් බවට ශාස්ත්‍රීය බව අඩු කර පෙරළියක් කරන ලද්දේ හික්කඩුව ශ්‍රීලාල් ලියනගේ විසිනි. සිළුමිණ පනස් වැනි සංවත්සරයේදී ඔහු පවසා ඇත්තේ 'කොලට්ගේ' කාටුන් ද 'සිළුමිණ' අලෙවියේ වැඩිවීමට සෘජුවම බලපෑ බවය.

තලංගම ජයසිංහ ලේක්හවුස් අතීතය ගැන ලියන විට අමතක කළ නොහැකි කාටුන් ශිල්පියෙකි.

කොලට්ගේ දේශපාලන උපහාසාත්මක කාටූන් නිරීක්ෂණයේදී වඩාත් වැදගත් වන්නේ සාමාන්‍ය ජනතාවගේ ජීවිතය නිසි අයුරින් අවබෝධ කර ගැනීමට ඔහු තුළ තිබූ හැකියාවය.

කොලට් ලේක්හවුසියේ සේවය කරන කාලයේ මෙරට දේශපාලන කාටුන් ශිල්පියකු පැවැත්වූ ප්‍රථම ප්‍රදර්ශනය පවත්වා ඇත. එහි ඔබ්සවර් පත්‍රයට ඉංග්‍රීසියෙන් වැකි ලියු කාටුනයම සිංහලෙන් අතින් ඇදි අකුරු ඇතුළත් පද පෙළද සහිත කාටුන් ප්‍රදර්ශනට තබා තිබී ඇත.

ප්‍රදර්ශනය 1954 ඔක්තෝබර් 30 වෙනිදා කොළඹ කලාභවනේදී ඕබ්‍රි ඒ. කොලට් විසින් එවකට ලේක්හවුස් ආයතනයේ “ඔබ්සවර්” පත්‍රයේ දේශපාලන කාටුන් ශිල්පියා වු කොලට්ගේ ප්‍රදර්ශනයට කාටුන් 73ක් ඇතුළත් වු අතර එයින් 45ක් එදිනම අලෙවි වී ඇති බව පසුව පළවු 'සිළුමිණ' පුවත්පත වාර්තා කොට තිබුණි.

කොලට් මිය ගිය අවස්ථාවේ 1992 දි 'යුනුස්' කාටුන් ශිල්පියා අපූරු සටහනක් ඉංග්‍රිසියෙන් තබා ඇත්තේ ඩේලි නිවුස් පත්‍රයේය. යුනුස් ඇත්ත කාටුන් ශිල්පියකු ලෙස ප්‍රසිද්ධ වුව ද යුනුස්ගේ ද මුල් ආරම්භය ලේක්හවුසියය.

යුනුස් දෙමළ දෙබස් ඇතුව තිනකරන් පුවත්පතට ඇඳි කාටූන් කලාතුරකින් සිළුමිණේ සිංහල දෙබස් චිත්‍රණය කොට පළ වුව ද කොලට්ගෙන් පසු ලේක්හවුසියේ කාටූන් චිත්‍ර ශිල්පියා ලෙස එක්වන්නේ 'මාක් ගරයින්'ය.

මාක් ගරයින් ඔබ්සර්වර් පත්‍රයට අඳින ලද කාටුන් සිංහලෙන් දිනමිණ හා සිළුමිණ පුවත්පත්වල පළ කෙරිණි.

මාක් කාටුන් චිත්‍ර ඇඳීම විනෝදාංශය කර ගත්තෙකි. ඔහු අධ්‍යාපනය නිමවා පෞද්ගලික ආයතනයක යතුරු ලියන්නකු ලෙස සේවය කරද්දි සේවය පසෙකලා කාටුන් චිත්‍ර ඇඳීම කළේය. ඔහු එතෙක් කළ රැකියාවෙන් ඉවත් වීමට අදහස් කර ලේක්හවුස් ආයතනයේ කාටුන් චිත්‍ර ශිල්පියකු ලෙස සේවය කිරීමට අයදුම් කළේය.

සිළුමිණේ දේශපාලන කාටුන් ශිල්පීන් ගැන තොරතුරු සොයද්දී බොහෝ දෙනා පැවසුවේ ජී. එස්. ප්‍රනාන්දු සිළුමිණේ සේවය කළ බවකි. එහෙත් සත්‍ය එය නොවේ. ජී. එස්. ප්‍රනාන්දු නමැති දේශපාලන කාටුන් ශිල්පියා බිහිවීමට හේතු වාසනා වූයේ කොලට් ටයිම්ස් ආයතනයෙන් ඉවත්වී ලේක්හවුසියේ සේවයට එක්වීමය. “කොලට්, කන්නන්ගර මහත්තයා ආරම්භ කළ නිදහස් අධ්‍යාපන යෝජනා ක්‍රමයට විශාල ලෙස පහර දුන්නා. අන්තිමේදී ඇමතිවරයාට එම කාටූන් චිත්‍ර ඉවසන්න බැරි වුණා. එතකොට කොලට් රාජකීය විදුහලෙත් සේවය කරනවා. කන්නන්ගර මහත්තයා කීවා රජයේ සේවකයන්ට පෞද්ගලික සේවා කර මුදල් උපයන්න බෑ. එක්කෝ පෞද්ගලික වැඩ නැත්නම් රජයේ වැඩ කියා. එදා කොලට් ඒ ලියුම ටයිම්ස් ආයතනයේ ප්‍රධානියාට පෙන්වුවා. ඔහු එකවරම කොලට්ට අස්වී එන්න කීවා. ඒ දවස්වල කොලට්ගෙ චිත්‍ර හුඟාක් ජනප්‍රියයි. කොලට් ටයිම්ස් ආයතනයෙන් අස්වී ඔබ්සර්වර් පත්‍රයට ගිය පසු ඒ වෙනුවට කාටූන අඳින්න සිදු වුණේ මට. එයා ඔබ්සවර් පත්‍රයේත් මම ටයිම්ස් පත්‍රයේත් දේශපාලන කාටුන් චිත්‍ර පළ කළේ එකම දිනයක.සිළුමිණේ මෑත කාලයේ දේශපාලන කාටුන් ශිල්පීන් අතරින් විජේසෝම නොහොත් 'පුංචි සින්ඤෝ' සුවිශේෂි චරිතයකි.

විජය රූපගේ විජේසෝම කොළඹ ගෙන්දගම් පොළවේ උපන්නකු ලෙස බොහෝ දෙනා සිතා සිටිය ද විජේසෝමයන් මාතර පරපුරේ ඇත්තෙකි.

වසර 22 දී පෝස්ටර් චිත්‍ර ඇඳීම ඇරඹූ විජේසෝම ඒ සමයේම සිය ප්‍රථම කාටූනය 'ඔබ්සවර්' පත්‍රය වෙත යැවුයේය. නමුත් එය නැවත ඔහු වෙත පැමිණියේය. ටයිම්ස් ආයතනයේ ඉංග්‍රීසි සෝදුපත් අංශයේ සේවයට පත් වූ පසු පුවත්පත් කටයුතු සහ ලෝකය පිළිබඳ පුළුල් අවබෝධයක් ලබාගත් විජේසෝම වසර 20 ක් ටයිම්ස් ආයතනයේ සේවය කර 1968 වසරේ සිට 13 වසරක් ලේක්හවුස් ආයතනයේ සේවය කරන ලදී.

විජේසෝමගේ කාටුන් ජීවිතය වසර 50ක් සම්පූර්ණ වූ අවස්ථාවේ සිළුමිණ කතුවරයකු වූ 'එඩ්මන් රණසිංහ' විජේසෝම ගැන හෘදයාංගම සටහනක් තැබූ බව අප මතකයේ ඇත.

අසූව දශකයේ විජේසෝමගේ ලේක්හවුස් නික්ම යෑමෙන් පසු 'සිළුමිණ' කාටූන් ශිල්පියා වන්නේ 'ඕපාත' ය.

කවදා හෝ ජාතික පුවත්පතක කාටූන් චිත්‍ර ශිල්පියකු වීම අරමුණු කරගත් ඕපාත අන්තර්ජාතික කීර්තියට පත් විකට චිත්‍ර ශිල්පියෙකි. 1982 හි මොන්ට්‍රියෙල්හි අන්තර්ජාතික කාටූන් චිත්‍ර කලාගාරයේ පැවති 18 වෙනි අන්තර්ජාතික කාටූන් චිත්‍ර ප්‍රදර්ශනයට ද, 1981 වසරේ රෝමයේ ඇතැන්ස් නුවර පැවති පැසිස්ට් විරෝධී අන්තර්ජාතික කාටූන් චිත්‍ර තරගයේ හොඳම විකට චිත්‍රයට ද සම්මාන ලද ඕපාතගේ සම්පූර්ණ නම සී. ඕපාත ය.

ලේක්හවුසියට එන්නට පෙර රෙජි මයිකල් හමුවී 'ඩේලිමිරර්' පුවත්පතේ අර්ධකාලීනව කාටූන් චිත්‍ර ශිල්පියකු ලෙස සේවය ඇරඹුවේය. එතැන් සිට වසර 19ක කාලයක් ටයිම්ස් ආයතනයේ සේවය කළ ඕපාත පසුව ලේක්හවුසියට එක්විය. රණසිංහ ප්‍රේමදාස යුගයේ දෝෂාභියෝගය අවස්ථාවේ ගාමිණි දිසානායක හා ලලිත් ඇතුලත්මුදලි ගැන ඕපාතගේ රණසිංහ ප්‍රේමදාසට පක්ෂග්‍රාහී කාටූන් සාදාචාරාත්මක සීමාව ඉක්මවා ගියේදැයි පැනයක් මා තුළ පැන නැඟිණි.

තිලකරත්න කුරුවිට බණ්ඩාර දෙවැනි වරට ද සිළුමිණ කර්තෘ ධුරයට පත්වූ යුගයේ මොටාගෙදර වනිගරත්න ලේක්හවුසියට එක්විය.

“ලේක්හවුස් එක ඉස්සරහ පේමන්ට් එකේවත් යන්න අකමැති වෙච්ච මොටාගෙදර වගේ ඇත්ත පුවත්පතේ වාමාංශිකයන්ගේ සේවය 'සිළුමිණ'ට ගන්න පුළුවන් වුණා.

“එහෙත් මොටාගෙදර දේශපාලන කාටූන් සිළුමිණට ඇන්දේ නැත. එහෙත් ඔහු වාමාංශික පුවත්පත්වල එදා දේශපාලන කාටූන් ශිල්පියෙක්.”

බන්දුල පද්ම කුමාර ලේක්හවුස් සභාපති ධුරය හොබවන යුගයේම සිළුමිණ කාටූන් ශිල්පියා ලෙස 'කැමිලස්' පත්විය. කැමිලස්ගේ ඉතිහාසය පිරික්සීමේදී පෙනී යන්නේ ඔහු තම කාටූන් ජීවිතය ආරම්භය කරන ලද්දේ ද ලේක්හවුසියෙන් බවය. කැමිලස්ගේ ඉතිහාසය පසුගියදා සිළුමිණට මා විසින් ලියන ලදුව පත්තර කලාවෙන් කෝටිපතියකු වූ 'ගජමෑන් මෙන්න' යනුවෙන් පළකළත් ඔහු ගැන කෙටි සටහනක් තැබිය යුතුමය.

පාසල් දිවියෙන් පසු දෙවසරක් පමණ කාටූන් චිත්‍ර සඳහා වෙහෙසවී 1965 දී පළමුවරට ලේක්හවුස් ආයතනයේ චිත්‍ර පළ කරවා ගත් 'දවස' පුවත්පතෙන් 'තෙපානිස්' නමින් විකට කාටූනයක් දිනපතා ඇඳීම 1966 ජනවාරි 01 දා ඇරඹුවේය. එම වසරේම 'දොං සේතං' නමින් විකට කාටූනයක් 'ජනතා' පුවත්පතට සැපයීම ඇරැඹූ කැමිලස් 'සතුට' පුවත්පත ඇරැඹීමත් සමඟ 'ගජමෑන්' වික්‍රට චිත්‍ර කාණ්ඩය ආරම්භ කරන ලදී.

මෙරට සමස්ත දේශපාලන කාටූන් චිත්‍ර ශිල්පීන් අතරින් ආර්ථික වශයෙන් වඩාත් ස්ථාවරයක් ගොඩනඟාගත් පුද්ගලයා ලෙස සැලකිය හැක්කේ කැමිලස්ය.

සිළුමිණට සම්බන්ධ කාටූන් චිත්‍ර ශිල්පීන් අතරින් අද ජීවතුන් අතර සිටින ජ්‍යේෂ්ඨයා මොටාගෙදර වනිගරත්නය. අප සටහන් කළ අනෙක් දේශපාලන කාටූන් ශිල්පීන් අතරින් තවමත් අප සමඟ සුහදව කතා කරන ළෙන්ගතු පුද්ගලයා කැමිලස්ය. සිළුමිණ බැබළවූ දේශපාලන කාටූන් ශිල්පීන් හා අප හුවාදැක්වූ ඊට පසු කාටූන් ආදි ශිල්පීන් ඇතුළු සියලු දෙනා අතරින් අප හැරගිය ශිල්පීන් මෙන්ම අප සමඟ සිටින දේශපාලන කාටූන් ශිල්පීන් ද සදාකල් ජීවත් වන්නේ පොදුජන හදවත් තුළය.

 

Comments