
රියැලිටිකරණයෙන් බිහි වුණු අය අතර එදා සේම අදටත් ජනප්‍රිය තලයේ ඉන්නේ අතළොස්සක් විතරයි. ඒ අතළොස්ස අතරට දෙරණ ඩ්‍රීම් ස්ටාර් සීසන් 01 හී කිරුළ අතට ගත්ත උදේශ් ඉන්දුලගේ නමත් ඇතුළත්. ගායකයෙක් විදියට ජනප්‍රිය වුණු උදේශ් දැන් ආදරණීය පුතෙක් ඉන්න තාත්ත කෙනෙක්. සමාජ මාධ්‍ය ඔස්සේ නිතරම දකින්න ලැබෙන උදේශ්ගේ පුංචි පවුලේ තොරතුරුයි මේ.
උදේශ් පුතා එක්ක සින්දු කියද්දි, ඔබේ බිරිය පුතා එක්ක නර්තනයේ යෙදෙන රූප රාමු නිතරම සමාජ මාධ්‍ය ඔස්සේ දකින්න ලැබෙනවා..?
ඔව්. අපේ පුතා වර්ණ විභූ . වයස අවුරුදු දෙකහා මාරක් වෙනවා අපේ ජීවිතේ ගෙවෙන්නේ එයත් එක්ක තමයි. බිරිය නටන්න දක්ෂයි. එයා සින්දුවකට නර්තනයේ යෙදෙද්දි පුතත් නටනවා. මම සින්දු කියද්දි මාත් එක්ක සින්දු කියනවා. ඒ සමහර ඒවා අපි සෝෂල් මීඩියා දානවා. ඒවට ගොඩක් ප්‍රතිචාර ලැබුණා.
නිතරම සින්දු කරපු උදේශ් දැන් නිහඬ වෙලා මොකද..?
අවුරුදු දෙකකින් විතර සින්දුවක් කරන්න බැරි වුණා. අපි මේ ළඟදි පොඩි ට්‍රිප් එකක් ගියා දඹුල්ලේ. එතැනදී අහම්බෙන් තම් තම් කියන හිංදි සිංදුව ඇහුණා. ඒක ඒ වෙලාවේ හිතට වැදුණා. එකට නර්තනයක් කරලා ටික් ටොක් දැම්මා. ඒකට ප්‍රතිචාර ගොඩක් ලැබුණා. ඒ වෙලාවේ හිතුණා ඒ ගීතයට රීමේක් එකක් කළොත් හොදයි කියලා. සති දෙකක් වගේ ඇතුළත පියුමි පද ටික ලියලා දුන්නා. දැන් සිංදුව කරලා තියෙන්නේ හෙට අනිද්දාට එළියට දානවා. ගීතයට තියෙන ප්‍රතිචාර බලලා වීඩියෝ එකක් කරන්න ඉන්නේ.
යොහානි, වින්ඩි වගේ ජාත්‍යන්තරයට යන්න ද ට්‍රයි කරන්නේ..?
එහෙම හිතලා කරපු එකක් නෙමෙයි. dancing cover එකක් කරන්න විතරයි හිත ගියේ. නමුත් එහෙම වුණොත් සතුටු වෙනවා. කිසිම දෙයක් ප්ලෑන් කරලා කරන්නේ නැහැ.
ඔබ ගායකයෙක් වෙලා අවුරුදු 15ක්, ඉස්සර එස් එම් එස් කරපු රසිකයන්ගෙන් තවම ප්‍රතිචාර ලැබෙනවාද..?
ප්‍රතිචාරවල නම් අඩුවක් නැහැ. මම අවුරුදු අටක් විතර මගේ සාරෝ බැන්ඩ් එක එක්ක ප්‍රසංගවලට, විවාහ මංගල්‍ය උත්සවයවලට ඉවෙන්ට්ස්වලට සම්බන්ධ වෙනවා. ඒ වගේ තැන් වලදි ලැබෙන ප්‍රතිචාර එක්ක හිතෙනවා ඩ්‍රීම් ස්ටාර් හිටපු උදේශ් ඉන්දුලට තවම ආදරේ කරන අය ඉන්නවා කියලා. මට එස් එම් එස් කළා. දිනනකල් බලාගෙන ඒ කාලේ හිටියා කියලා ළඟට ඇවිත් කතා කරනවා. වයසක අයගෙන් ලැබෙන ආදරේ වැඩියි. ඒකට හේතුව මම හැමෝම එක්ක හිනා වෙලා කතා කරලා ජොලියේ ඉන්න නිසා වෙන්න ඇති. නමුත් එයලා ආස මගෙන් අහන්න මගේ මුල් කාලේ වගේ ගීත. ඒ වගේම ප්‍රවිණ ගායන ශිල්පීන්ගේ ගීත මගේ හඬින් අහන්න ඒ අය ආසයි. තවමත් ලැබෙන ප්‍රතිචාර හොඳයි. ඇත්තටම මට සතුටුයි.
ඔබ නර්තනයටත් දක්ෂයි..?
මම සාමාන්‍ය පෙළට වගේම උසස් පෙළට කළේ නර්තනය. ඒ නිසා මට හොඳට නටන්න පුළුවන්. දෙරණ ඩ්‍රීම් ස්ටාර් වෙලා දවස් දෙකකින් තමයි මම කැම්පස් ගියේ. මුලින් කළේ නර්තනය. නමුත් මම සංගීතයට මාරු වුණා. උපධිය ගත්තට පස්සේ ශ්‍රීපාලි මණ්ඩපයේම කථිකාචාර්යවරයකු විදිහට අවුරුදු පහක් වැඩ කළා. ඔය මොන දේ කළත් ඇඟේ නර්තනය තියෙනවා. ඉද හිටලා බිරිඳගේ ඉල්ලීමට නටනවා. එයා ඒවා සමාජ මාධ්‍යවල පල කරනවා. ඒවාට හොඳ ප්‍රතිචාර ලැබෙනවා
බිරිඳ කියන විදිහටම පවුල් ජීවිතයත් ගත කරනවා ද..?
අනිවාර්යයෙන්ම. මගේ සරල ජීවිතය දිල්හාරා එක්ක පවුල් ජීවිතයක් ගත කරන්න හරියට ගැළපුනා. මම සීයට දාහක් පවුල් ජීවිතයේදී සාර්ථකයි. නොගැළපීම් ගළපා ගන්න ඕන. හැරෙන්න ඕන තැන්වල හැරිලා නැමෙන්න ඕන තැන්වල නැමිලා කකුලක් පස්සට ගන්න ඕන තැන්වල කකුලක් පස්සට අරන් ජීවත් වුණාම ජීවිතේ හරි සුන්දරයි. අනිත් කෙනාටත් ඇහුම්කන් දෙන්න ඕන. මම ගෙදර පිරිමියා කියලා පොර වෙලා ජීවත් වුණොත් පවුල් ජීවිතේ සාර්ථක නැහැ. ඒක පවුල් ජීවිත අසාර්ථක වෙන්න ඒක හේතුවක්. මගේ පුද්ගලික ජීවිතේ ගත්තොත් සංගීත ජීවිතේ වගේම සාර්ථකයි. ඩ්‍රීම් ස්ටාර් වුණ නිසා ලක්ෂ තිහක ගෙයක් ලැබුණා. මුදල් ලැබුණා. ඒ ලැබුණ මුදල සහ මුල් කාලේ හම්බ කරපු හැම සතයක්ම මම මගේ අම්මගේ අසනීපයට වියදම් කරා. අම්මා දැන් සුවෙන්. ඇය අපිත් එක්ක සතුටින් ජීවත් වෙනවා.
පවුල් ජීවිතේ ඒ සාර්ථකත්වයට බිරියත් හවුල්. ඇය මුණ ගැහෙන්නෙත් ඩ්‍රීම් ස්ටාර් නිසා නේද ..?
අපි දෙන්නම එකම වයස්වල අය. මට එයාව හම්බවෙන්නේ අවුරුදු දහනමයේදී. මම ඩ්‍රීම් ස්ටාර් ඉවර වෙනවත් එක්කම එයා සිටි ඔෆ් ඩාන්ස් වැඩසටහනට සම්බන්ධ වුණා. මුලින්ම අපි හලෝ කිව්වා. ඊට පස්සේ යාළුවෝ වගේ කතාබහ කරා. අවුරුදු හතරක් පහක් කතා නොකරත් හිටියා. මිස් වෙලා. ආයෙමත් කතාබහ කරලා මුණගැහුණා. අපි දෙන්නා අපි දෙන්නාගේ වැඩවලට උදව් කර ගත්තා. අන්තිමට දෙන්නා නොදැනුවත්වම ආදරේ කරලා. දෙන්නගෙන් කාටවත් ආදරේ ප්‍රකාශ කරන්න ඕන වුණේ නැහැ. කොහොම හරි දිල්හාරා මගෙන් ඇහුවා මේ ආශ්‍රයේ තේරුම මොකක්ද කියලා. මම කිව්වා විවාහ වෙමු කියලා. අපේ පවුල්වලින් කැමති වුණා. අන්තිමට වෙඩින් එක හරි ලස්සනට ගත්තා. අපේ වෙඩින් එක සැලසුම් කළේ එයා. මගේ නම ගියේ. එයා ස්පොන්සර්ලා හොයලා වැඩේ ලස්සනට කළා. 2019 බැන්දා. ඇත්තම කිව්වොත් මම ටිකක් අදි මදි කරා බඳින්න. ටික දවසක් ඉමු කියලා. නමුත් එයා ගැහැනු ළමයෙක්. කාලේ යවන්න බැරි නිසා ඉක්මනින් විවාහ වුණා. අපේ ආශ්‍රයට අවුරුදු 15ක් වුණාට ආදරේ කරලා විවාහ වෙන්නේ අවුරුදු කිහිපයකින්.
ඔය අතරේ උදේශ්ට ළං වුණු අය ඇති..?
ආශ්‍රය කරපු අය හිටියා. නමුත් දුර දිග සම්බන්ධ නෙමෙයි. කතාබහ කරලා දැන හඳුනාගැනිම් විතරයි. නමුත් ආදරේ කරන්නේ දිල්හාරාට. ආශ්‍රය
කරපු අය කවදාවත් මාත් එක්ක තරහා වුණේ නැහැ. අදටත් මාත් එක්ක වගේම වයිෆ් එක්ක කතා කරන අය ඉන්නවා.
දිල්හාරා, ඇත්ත ද උදේශ් කියන කතාව..?
මම දැනුවත්ව නම් එයාට පෙම්වතියක් ඉඳලා නැහැ. කතාබහ කරන අය නම් ඉන්නවා. අපි දෙන්නා ආශ්‍රය කරනවා කියලා දැනගත්තට පස්සේ ක්ෂේත්‍රයේ ගොඩක් අය කිව්වේ උදේශ්ව බය නැතුව ආශ්‍රය කරන්න කියල. එතරම් එයා හොඳ කෙනෙක් කියලා.
කවුරු කොහොම කිව්වත් උදේශ් ප්‍රසිද්ධ චරිතයක් නිසා ඔබව කවද හරි මඟ හරියි කියලා බයක් හිතට දැනෙන්න ඇති..?
ඇත්තටම හිතට බයක් දැනුණා. නමුත් එයාව ආශ්‍රය කරද්දි ඒ බය නැති වෙලා ගියා. අපි දෙන්නා විවාහ වෙන්න තීරණය කරන්න වුණේ මට ගෙදරින් යෝජනා ගෙනාව නිසා. ඊට පස්සේ මම උදේශ් එක්ක කතා කරලා දෙපාර්ශ්වයට කිව්වා. මට ආපු හැම ප්‍රපෝසල් එකක් ගැනම ගෙදරින් හොයලා බැලුවට උදේශ් ගැන හොයලා බැලුවේ නැහැ. එයා ඩ්‍රීම් ස්ටාර් ඉන්න කාලේ අපේ අම්මා කිව්වා මේ ළමයා තමයි දිනන්නෙ කියලා. මට මතකයි දෙරණෙදී හමුවුණාම එයා මුලින්ම මගේ අම්මට කතා කළේ අම්මා කියලා. අපේ ගෙවල්වලින් කැමති වුණාට පස්සේ එයා ගැන තිබ්බ බය මට නැති වෙලා ගියා.
උදේශ් නීතී රීති දාන්නේ නැද්ද ..?
කවදාවත් නීති දාලා නැහැ. මෙහෙම ඉන්න මේක කරන්න මෙහෙම අඳින්න, මේක අඳින්න එපා කවදාවත් කියලා නැහැ. මට ඕනේ විදියට නිදහසේ ජීවත් වෙන්න එයා ඉඩ දෙනවා. බබා ලැබුණට පස්සේ මම ටිකක් මහත් වුණු නිසා එයා නිතරම කියනවා මම ගැන සැලකිලිමත් වෙන්න කියලා. ඩාන්සිං කරන්න කියනවා.
සමාජ මාධ්‍ය එක්ක ගැවසෙන්න උදේශ්ට බල කළේ ඔබද..?
එය සෝෂල් මීඩියාවලින් ගොඩක් ඈත් වෙලා හිටපු කෙනෙක්. නමුත් සෝෂල් මීඩියා දැන් තියෙන්න ඕන කලාකරුවෙකුගේ කලා නිර්මාණ වුණත් එළිදක්වන්න. ඒ නිසාම මම තමයි බල කරලා ටික් ටොක් කරවන්නේ. ගොඩක් වෙලාවට එයා ප්‍රතිචාර දක්වනවා හරි අඩුයි. ඒ නිසා මම එයාගේ ඒ පැත්ත ගැන හොයලා බලනවා.
ඔහු නම් කිව්වා පවුල් ජීවිතයට සියයට දාහක් උදව් කරනවා කියලා. ඇත්ත ද ..?
ඒ කතාව නම් ඇත්ත. අපේ පුතා නිදාගන්න හරිම හොරයි. රෑට නිදාගන්නේ දොළහෙන් පස්සේ. සමහර දවස්වලට උදේ පාන්දර හතර වෙනකන් ඇහැරලා. එයා තමයි හැමදාම පුතාව නිදි කරවන්නේ. එයා වැඩකට ගිහින් ගෙදර ආවොත් පුතා තාත්තා ළඟට දුවගෙන යනවා තාත්තා ළඟ නිදාගන්න ඕන කියලා. සමහර හස්බන්ඩ්ලා ඉන්නවා වැඩ ඇරිලා ගෙදර ඇවිත් නිදහසේ නිදාගන්න වෙන කාමරයකට යන. නමුත් උදේශ් කවදාවත් එහෙම කරලා නැහැ. හැම දෙයක් ගැනම හොයල බලලා උදව් කරනවා. එයා එයාගෙ පවුලේ අයට විතරක් නෙමෙයි. මගේ පවුලේ අය ගැනත් හොයලා බලලා උදව් කරනවා. පවුලට හරිම ලැදි කෙනෙක්.
සැමියා වගේ පුතත් ගායකයෙක් වෙනවට ද දිල්හාරා කැමති..?
මම උදේශ්ට කියලා තියෙනවා පුතාට ඇහෙන්න සින්දු කියන්න කියලා. ඒත් එයා එහෙම කැමති නැහැ. එයා කැමති දෙයක් කරපු දෙන් කියනවා. එයාගේ කටහඬ ඇහුණොත් පුතා දන්නවා ඒ තාත්තගේ කටහඬ කියලා. එයාගේ “ළංවෙලා“ කියන ගීතය පුතා කට පාඩමින් කියනවා. අපි කියලා දීලා නෙමෙයි . එයාට ඇහිලා. ඉතිං එයා ලොකු වුණාම කවුරු වෙයිද දන්නේ නැහැ. මගේ එහෙම ලොකු බලාපොරොත්තු නැහැ.
උදේශ් මේ කතාබහ අවසන් කරන්න කලින් කියන්න ඇත්තටම බිරිය කවදාවත් රණ්ඩු කරලා නැද්ද කියලා..?
නැත්තෙ මොකද. පොඩි පොඩි රණ්ඩු වෙනවා. අදටත් කොහේ ගියත් දැන් කොහෙද ඉන්නේ මොනවාද කරන්නෙ කියලා අහනවා. එහෙම අහන්නේ ඇයි කියලා එයාගෙ හිත තමයි ඉතින් දන්නේ. මොන හේතුවකට ද අහන්නේ කියලා. නමුත් නිතරම රණ්ඩු කරන්නේ නැහැ.