නිර්මාණයක් කියන්නෙ නිර්මාණයක් විතරක් බව මා හඟවා අවසන් | සිළුමිණ

නිර්මාණයක් කියන්නෙ නිර්මාණයක් විතරක් බව මා හඟවා අවසන්

ගයේෂා පෙරේරා කියන්නේ අභියෝගාත්මක චරිතවලට රංගනයෙන් දායක වෙමින් කා අතරත් නිරන්තරයෙන්ම කතා බහට ලක්වුණු දක්ෂ ජනප්‍රිය රංගන ශිල්පිනියක්. කොහොම නමුත් ගයේෂා දැන් පදිංචි වෙලා ඉන්නේ ආදරණීය සැමියා සහ පුතා එක්ක ඇමරිකාවේ ලොස් ඇන්ජලිස් නගරයේ. සාර්ථක පවුල් ජීවිතයක් ගත කරන ගයේෂා මේ වෙද්දී ව්‍යවසායිකාවක් විදිහටත් කටයුතු කරනවා. ඇය රංගනයෙන් දායක වුණු වඩාත් කතා බහට ලක්වුණු “ඉගිලෙන මාළුවෝ“ චිත්‍රපටය පසුගිය දිනවල තිරගත වුණා. ඇය එහි නිරූපණය කරන්නේ වාසනා නමැති අභියෝගාත්මක තරුණියගේ චරිතය. ඒ නිසාම ලැබුණු ප්‍රතිචාර ගැන දන ගන්නත් එක්ක අප ගයේෂාව සොඳුරු කතා බහකට සම්බන්ධ කරගත්තා.

 

ගයේෂා කොහොමද ජීවිතේ

හොඳින් සතුටින් ඉන්නවා. මම මගේ පවුල එක්ක මෙහෙ ජීවත් වෙන්නේ. ඉතින් මට හිතෙනවා තමන්ගේ පවුල එක්ක කොහේ හිටියත් ඒ ජීවිතය සුන්දරයි කියලා.

 

කාලෙකට කලින් කරපු “ඉගිළෙන මාළුවෝ“ චිත්‍රපටය තිරගත වුණා, කොහොමද ලැබුණු ප්‍රතිචාර?

ඔව් ඉගිළෙන මාළුවෝ චිත්‍රපටය අවුරුදු ගාණනකට පස්සේ හරි තිරගත වීම ලොකු ජයග්‍රණයක්. අපි අවසානයේ හරි දේ ජනගත කරන්න දැරූ උත්සාහය සාර්ථකයි. ප්‍රතිචාර නම් එමටයි. දවස පුරාම චිත්‍රපටය බලපු අයගෙන් මුහුණුපොත හරහා පැසසුම් ලැබෙනවා.

 

චිත්‍රපටය තිරගත වෙද්දි ඔබ ලංකාවේත් නැහැ, ඒ දේ දැනුණේ කොහොමද?

ඒක ඇත්තටම දරාගැනීම අපහසු වුණා. මොකද ඒ වෙලාවේ මම ඉන්නම අවශ්‍ය මොහොතක්. නමුත් චිත්‍රපටය පුරාම මාව මතකයේ රැඳෙන්න පුළුවන් හදවත්වලට මම කතා කර හමාරයි.

 

චිත්‍රපටය එන්න කලින් එල්ලවුණු චෝදනාවලට දැන් යම් හෝ සහනයක් ලැබුණද?

චෝදනා එන්නේ මනස අවුල් වුණු මානසිකත්වයෙන්. මනස උසස් දියුණු රටක ජීවත් වෙන මට ගොඩක් ඒක දැන් තේරෙනවා. දැන් ඉන්න තරුණ පරපුරේ මනස උසස් මට්ටමක තියෙනවා. ඒ ගැන සතුටුයි. නිර්මාණයක් යනු නිර්මාණයක් ම පමණක් බව මා හඟවා අවසන්.

 

කලාවෙන් ඈත්ව ගත කරන ජීවිතේ කොහොමද?

කලාව කියන්නෙම මගේ ජීවිතේ. එත් කලාව කියන්නේ කැමරාවක් ඉස්සරහ රඟපාන එකම නෙමෙයි. එකට කාලයක් නිහඩව සිටීමත් වැදගත්. ඒ කාලය තමයි මම මේ ගෙවන්නේ.

 

ගුණාත්මක අගයෙන් ඉහළ නිර්මාණයකට ඇරයුම් ලැබුණොත් භාර ගන්නවද?

හොඳ වැඩකට ලංකාවට එන්න කැමැත්තක් තියෙනවා. බලමු ඉතින් ඉස්සරහට.

 

ඔබේ සමකාලීන අය අද ඉන්න තැන දකිද්දි ක්ෂේත්‍රයෙන් ඈත් වීම ගැන දුකක් නැද්ද?

මම කොහොමත් ලංකාවේ ඉන්න කාලේ වුණත් කලා කටයුතු ඉතාමත් අඩුවෙන් භාරගෙන කළ කෙනෙක්. ලැබෙන හැම එකම කරන්න කාලයක් මට තිබුණේම නැහැ. ඉතින් කවුරුත් ඉන්න තැන ගැන මම දන්නේ නැහැ. හැබැයි අද මම ඉන්න තැන ගැන මට ලැබිල තියෙන දේ හැමෝටම නැහැ කියන එක නම් මම දන්නවා.

දැන් පුතාට වයස කීයද? කොහොමද එයා එක්ක ගතවෙන කාලය

පුතාට වයස දැන් 5යි. පුතාගේ වැඩ කටයුතු අපි දෙන්නම කරනවා. මම මගේ ව්‍යාපාර කටයුතු කරගෙන, ගෙදර වැඩ, බබාගේ වැඩ කරගෙන, මහත්තයාගේ වැඩවලටත් උදවු කරගෙන සුන්දරව දවස ගෙවනවා.

ඔබේ ව්‍යාපාරික කටයුත්ත මොන වගේ දෙයක් ද?

දරුවන් වෙනුවෙන් දිවා සුරැකුම් මධ්‍යස්ථානයක් තමයි අපි පටන් ගත්තේ. ඇමරිකාව වැනි රටක අපේම ව්‍යාපාරයක් ආරම්භ කිරීම අපි ලැබූ විශාල ජයග්‍රහණයක්.

 

ආදරණීය සැමියා ගැනත් මතක් කළොත්

හසන්ජිත් කියන්නේ පුදුම සංවේදී කෙනෙක්. පුළුවන් හැම අවස්ථාවකදීම එයා මිනිස්සුන්ට උදවු උපකාර කරන්න උනන්දුවක් දක්වන කෙනෙක්. ඉතින් එයා වගේ කෙනෙක් ලැබීම ගැන සතුටුයි.

 

ඔබව තවමත් ප්‍රේක්ෂකයන්ට මතකයි, ඒ ආදරණීය ප්‍රේක්ෂකයන්ට කියන්න තියෙන්නේ මොකක් ද?

ඔව්. ඒක මම ලද ලොකු පිනක්. අවරුදු පහක් මම දැන් ඇමෙරිකාවේ ජීවත් වෙන්න වෙලා. එත් ඒ රසික ආදරයම තමා මේ ජීවත් වීමටත් එක්තරා විදියට ශක්තියක් වෙන්නේ. ඒ නිසා මගේ ආදරණීය ප්‍රේක්ෂකයන්ට මම කොහේ හිටියත් ආදරෙයි.

Comments