තුර්කි භූමිකම්පාවෙන් විපතට පත් වූවන් වෙනුවෙන් ජේම්ස් බොන්ඩ් මුදල් එකතු කරයි | සිළුමිණ

තුර්කි භූමිකම්පාවෙන් විපතට පත් වූවන් වෙනුවෙන් ජේම්ස් බොන්ඩ් මුදල් එකතු කරයි

පසුගිය කාලයේ සුප්‍රකට ජේම්ස් බොන්ඩ් චිත්‍රපටවල එම චරිතයට පණ දුන් ඩැනියෙල් ක්‍රේග් සිනමා ප්‍රේක්‍ෂකයන්ගේ මහත් ආදරයට, ගෞරවයට පාත්‍ර වූ රංගන ශිල්පියකු බව අමුතුවෙන් කිව යුතු නැහැ. 2006 වසරේ තිරගත වූ Casino Royale චිත්‍රපටයේ සිට 2021 වසරේ තිරගත වූ No Time to Die චිත්‍රපටය දක්වා චිත්‍රපට පහක බොන්ඩ් චරිතය නිරූපණය කළ ඔහු එයින් පසු එම චරිතයෙන් සමුගත් අතර, එය ඔහුගේ රසික රසිකාවියන් තුළ මහත් කම්පාවක් ඇති කළ සිදුවීමක් වුණා.

කෙසේ හෝ වේවා, ඩැනියෙල් ගැන මෙයට දින කිහිපයකට පෙර මාධ්‍ය තුළ සංසරණය වෙමින් තිබූ අපූරු පුවතක් කාගේත් අවධානයට ලක්ව තිබුණා. නමුත් එය චිත්‍රපටවලට සම්බන්ධ පුවතක් නම් නොවෙයි. මෙවර ඩැනියෙල් ගැන කතාබහක් ඇතිව තිබුණේ ඔහු විසින් ඉටු කරන ලද වැදගත් සමාජ සේවා කටයුත්තක් නිසායි.

මෙයට ටික දිනකට පෙර මුළු ලොවම තැති ගැන්මට, ශෝකයට සහ කම්පනයට පත් කරමින් තුර්කියේ සිදු වූ භූමිකම්පාවෙන් විපතට පත්ව සිටින ලක්‍ෂ ගණනක් ජනතාව වෙනුවෙන් ආධාර රැස් කිරීමේ සද්කාර්යයකට ඩැනියෙල් ද දායකත්වය දක්වා තිබුණා. මෙම ජනතාවට උදව් කිරීම සඳහා මුදල් පරිත්‍යාග කරන මෙන් එක්සත් රාජධානියේ ජනතාවගෙන් ඉල්ලා සිටිමින් විඩියෝවක් නිර්මාණය කර තිබූ අතර, එහි ඩැනියෙල් ද පෙනී සිටිනවා. එම විඩියෝවේ පසුබිම් කථනය සිදු කරන්නේ ද ඔහු බවයි මාධ්‍ය වාර්තා කර තිබුණේ. භූමිකම්පාවෙන් සිදු වූ විනාශය සහ ඊට මුහුණ දුන් ජනතාවගේ දුක් වේදනා පෙන්වන අනුවේදනීය රූපරාමුද මෙම විඩියෝවෙහි ඇතුළත්. 

කෙසේ හෝ වේවා, විවිධ නාළිකා ඔස්සේ විකාශය කරනු ලැබූ මෙම විඩියෝව සුවිසල් ජනතා ආකර්ෂණයක් දිනාගෙන තිබූ අතර, ඒ හරහා මේ වන විට විශාල මුදලක් එකතු කර ගැනීමට හැකි වී ඇති බව පැවසෙනවා. එක්සත් රාජධානියේ නාළිකා 29 ක් හරහා මෙම විඩියෝව විකාශය වී තිබූ අතර, පෙබරවාරි 26 වැනි දින වන විට අමරිකානු ඩොලර් මිලියන 120 කට වැඩි මුදලක් මෙම අරමුදල වෙනුවෙන් එකතු වී තිබූ බව මාධ්‍ය වාර්තා කර තිබුණා. එය ලංකා රුපියල් කෝටි 4,300 කට ආසන්න මුදලක්. මෙම අරමුදල පිහිටුවනු ලැබ ඇත්තේ Disasters Emergency Committee නමැති සංවිධානයක් විසින්. එය එක්සත් රාජධානියේ තවත් සමාජ සේවා සංවිධාන 15 කින් පමණ සැදුම්ලත් සංවිධානයක් බව පැවසෙනවා. අරමුදලේ සාර්ථකත්වයට ඩැනියල්ගේ දායකත්වය මහෝපකාරී වූ බවයි බොහෝදෙනාගේ අදහස වී ඇත්තේ.

පසුගිය පෙබරවාරි 6 වැනි දින සිදු වූ තුර්කි භූමිකම්පාවෙන් 50,000 කට ආසන්න සංඛ්‍යාවක් මිය ගිය අතර, 120,000 ක් පමණ තුවාල ලබා තිබුණා. ලක්‍ෂ 15 ක් පමණ දෙනාට නිවාස අහිමි වී ඇති බවත් සඳහන්. ඩැනියෙල් ක්‍රේග් සම්බන්ධ වූ සංවිධානය විශේෂයෙන් ආධාර එකතු කරන්නේ මේ ආකාරයෙන් නිවාස අහිමිව සිටින ජනතාව වෙනුවෙන් බවයි පැවසෙන්නේ.

අරමුදල වෙනුවෙන් මුදල් පරිත්‍යාග කළ ජනතාවට ස්තුති කරමින් ද ඩැනියෙල් පසුගිය දා ප්‍රකාශයක් කර තිබුණා. ඔවුන් දැක්වූ ත්‍යාගශීලිභාවය තමා තුළ මහත් හැඟීම්බර බවක් ඇති කළබව ඔහු පවසනවා. ‘භූමිකම්පාව පැවතුණේ තත්පර කිහිපයක් පමණයි. නමුත් එහි බලපෑම වසර ගණනක් පුරා දැනෙනු ඇති’ යයි ද ඩැනියෙල් එම ස්තුති කතාවේ දී සඳහන් කර තිබුණා. ‘මා මෙම විඩියෝවට පෙනී සිටීමෙන් පසු ගත වූ කාලය තුළ භූමිකම්පාවෙන් මිය ගිය සහ තුවාල ලැබූ ගණන තවදුරටත් දස දහස් ගණනින් වැඩි වී තිබෙනවා. පාසල්, රෝහල්, ව්‍යාපාරික ස්ථාන ආදිය තිබූ තැන්වල අද ඇත්තේ සුන්බුන් පමණයි. ශීත සෘතුවේ අධික ශීතල තුළ ලක්‍ෂ ගණනක් දෙනා ඉන්න හිටින්නට තැනක් නැතිව අසරණව සිටිනවා. ඔවුන්ට උදව් කිරීම සඳහා ඔබට හැකි පමණින් යමක් කරන්න’ ඩැනියෙල් තවදුරටත් ඉල්ලා සිටිනවා.

මේ වන විට 54 වැනි වියෙහි පසුවන ඩැනියෙල් ක්‍රේග් ද එක්සත් රාජධානියේ උපන් කෙනෙක්. ඔහු මෑත කාලයේ වඩාත්ම ජනප්‍රියත්වයට සහ ගෞරවයට පාත්‍ර වූයේ ජෙම්ස් බොන්ඩ් චරිතය හරහායි. එම චරිතය වඩාත්ම සාර්ථකව නිරූපණය කළ නළුවන් අතර ඩැනියල්ට ප්‍රධාන තැනක් හිමිවන බවයි විචාරකයන්ගේ අදහස වන්නේ. ඔහු එම චරිතය නිරූපණය කළ අවසන් චිත්‍රපටය වූ No Time to Die චිත්‍රපටයේ අවසන් ජවනිකාවලදී ඔහුගේ චරිතය මරණයට පත්වෙනවා. එම ජවනිකා පෙළ බොන්ඩ් රසිකයන් දැඩි කම්පනයට පත් කළ ජවනිකා පෙළක් වුණා.

මීළඟට ජේම්ස් බොන්ඩ් චරිතය නිරූපණය කරන නළුවා කවුරුන් වනු ඇත් ද? මෙය මේ වන විට බොන්ඩ් රසිකයන් මහත් කුතුහලයෙන් යුතුව බලා සිටින කාරණයක් වී තිබෙනවා. මෙම චිත්‍රපට නිෂ්පාදනය කරන සමාගම තවමත් ඒ ගැන කිසිවක් ප්‍රකාශ කර නැහැ. නමුත් මෙම චරිතයට වඩාත් සුදුසු යයි විශ්වාස කෙරෙන නළුවන් කිහිප දෙනෙකුගේ නම් මාධ්‍ය තුළ නිතර අවධානයට ලක් වෙමින් තිබෙනවා. පසුගිය කාලයේ Venom වැනි චිත්‍රපටවලින් ජනප්‍රිය වූ ටොම් හාඩි, Thor වැනි චිත්‍රපටවල රඟපෑ ඉද්‍රිස් එල්බා වැනි නළුවන්ගේ නම් ඒ අතරින් වඩාත් කැපී පෙනෙනවා.

 කසුන් අරවින්ද

Comments