
තම රසික රසිකාවියන් සමඟ විනාඩි තුනක් ඇතුළත සෙල්ෆි ඡායාරූප184ක් ගනිමින් මෙම අලුත් ගිනස් වාර්තාව ආක්ෂේ විසින් පිහිටුවා තිබුණා
ජනප්‍රිය බොලිවුඩ් නළු ආක්ෂේ කුමාර් පසුගිය දා ගිනස් වාර්තාවක් පිහිටෙව්වා. ඔහු මෙම වාර්තාව පිහිටු වූයේ ඔහුගේ රසිකයන් පිරිසක් ද සම්බන්ධ කරගනිමිනු යි. ආක්ෂේගේ මෙම වාර්තාව සෙල්ෆි ඡායාරූප හා සම්බන්ධ වාර්තාවක්. එදින ඔහු තම රසික රසිකාවියන් සමඟ විනාඩි තුනක් ඇතුළත එවැනි ඡායාරූප 184ක් ගනිමින් මෙම අලුත් ගිනස් වාර්තාව පිහිටුවා තිබුණා.
ඔහු මෙම ඡායාරූප ගෙන තිබුණේ එක්තරා විශේෂ අවස්ථාවකයි. ආක්ෂේ රඟපාන අලුත්ම සිනමාපටය වන Selfiee චිත්‍රපටයේ ප්‍රවර්ධන කටයුත්තක් එදින සංවිධානය කර තිබූ අතර ඔහු ඉහත කී වාර්තාව පිහිටුවා තිබුණේ ද එම අවස්ථාවේ බවයි සඳහන් වුණේ. රාජ් මේතා විසින් අධ්‍යක්‍ෂණය කරන ලද Selfiee පසුගිය සිකුරාදා (24) ප්‍රදර්ශනය ආරම්භ කළා.
‘විනාඩි තුනක් තුළ වැඩිම සෙල්ෆි ඡායාරූප සංඛ්‍යාවක් ගත් පුද්ගලයා’ යන වාර්තාවට මෙයට පෙර හිමිකම් කීවේ ජේම්ස් ස්මිත් නමැති ඇමරිකානු ජාතිකයෙක්. 2018 වසරේ ජනවාරි මාසයේ දිනෙක ඔහු Carnival Dream නැමැති සුඛෝපභෝගී මගී නෞකාවක් තුළ දී විනාඩි තුනක් තුළ සෙල්ෆි ඡායාරූප 168ක් ගෙන තිබුණා. ඊට පෙර ඉතා ජනප්‍රිය හොලිවුඩ් නළුවකු වන ඩ්වේන් ජොන්සන් ද මෙම වාර්තාවට හිමිකම් කී බව පැවසෙනවා. 2015 වසරේ දිනෙක ඔහු විනාඩි 3ක් තුළ තම රසිකයන් සමඟ සෙල්ෆි ඡායාරූප 105කට පෙනී සිටිමින් වාර්තාවක් පිහිටුවා තිබුණා. ඩ්වේන් මේ ආකාරයෙන් ඡායාරූප ගෙන තිබුණේ ඔහු රඟපෑ San Andreas නමැති සිනමාපටයේ මංගල දර්ශනයක් ලන්ඩන් නුවර පැවැති අවස්ථාවකයි. කෙසේ හෝ වේවා, දැන් මෙම වාර්තාවේ අලුත්ම හිමිකාරයා වී සිටින්නේ බොලිවුඩයේ ආක්ෂේ කුමාර්.
ඔහුගේ අලුත් චිත්‍රපටය වන Selfiee මෙයට පෙර නිෂ්පාදනය වූ මලයාලම් චිත්‍රපටයක් ඇසුරෙන් තනන ලද්දක්. 2019 වසරේ තිරගත වූ මුල් චිත්‍රපටයේ නම Driving Licence. එහි ප්‍රධාන චරිතය රඟපෑවේ ජනප්‍රිය නළු පෘත්විරාජ් සුකුමාරන්.
Selfiee චිත්‍රපටයේ ආක්ෂේ රඟපාන්නේ ජනප්‍රිය නළුවකුගේම චරිතයක්. විජේ කුමාර් නමැති මෙම නළුවාට වෘත්තීය කටයුත්තක් සඳහා රියදුරු බලපත්‍රය ඉදිරිපත් කිරීමට සිදු වෙනවා. නමුත් ගැටලුව වන්නේ ඒ වනවිට ඔහුගේ රියදුරු බලපත්‍රය අස්ථානගත වී තිබීමයි. මේ නිසා ඔහුට අලුත් රියදුරු බලපත්‍රයක් ලබා ගැනීමට සිදු වෙනවා. එහෙත් සාමාන්‍ය ක්‍රමවේදය යටතේ එවැනි බලපත්‍රයක් ලබා ගැනීමට දිගු කලක් ගතවන අතර විජේට එතරම් කාලයක් බලා සිටීමට හැකියාවක් නැහැ. ඔහු තම දේශපාලන මිතුරකු හරහා රියදුරු බලපත්‍ර නිකුත් කරන ආයතනයේ නිලධාරියකු සම්බන්ධ කර ගන්නවා. ඕම් නමැති මෙම නිලධාරියා විජේගේ දැඩි රසිකයෙක්. ඔහු සාමාන්‍ය පටිපාටියෙන් බැහැරව විජේට රියදුරු බලපත්‍රයක් ලබා දීමට එකඟ වෙනවා. එහිදී විජේට රියදුරු පරීක්‍ෂණය සඳහා පවා සහභාගි වීමට අවශ්‍ය නොවන බවයි පැවසෙන්නේ. මේ අතර විජේගේ වෘත්තීය සතුරෙකු විජේගේ ජනප්‍රියත්වය බිඳ දැමීමේ සැලසුමක ද නිරතව සිටිනවා.
කෙසේ හෝ වේවා, අයථා ආකාරයෙන් රියදුරු බලපත්‍රය ගැනීම සඳහා සියල්ල සූදානම් කර තිබිය දී විජේ සහ ඕම් අතර ඇතිවන සිදුවීමක් නිසා සියල්ල කණපිට හැරෙනවා. චිත්‍රපටය ඉදිරියට දිවෙන්නේ මේ ඔස්සේ දිගහැරෙන නාටකීය සිදුවීම් පෙළක් ඔස්සේ යි. Selfiee චිත්‍රපටයේ ඕම් නැමැති නිලධාරියාගේ චරිතයට පණ දෙන්නේ තවත් ජනප්‍රිය නළුවකු වන එම්රාන් හෂ්මි.
පසුගිය දා ගිනස් වාර්තාව පිහිටු වූ අවස්ථාවේ ඊට සහභාගි වූ රසික රසිකාවියන් සමඟ ගිනස් සහතිකය ද අතැතිව සිටින ඡායාරූපයක් ආක්ෂේ ඔහුගේ සමාජ මාධ්‍ය පිටුවල පළ කර තිබුණා. එම අවස්ථාවේ ඔහු සිය රංගන ජීවිතය පුරා තමා සමඟ බැඳී සිටි රසිකයන්ට උණුසුම් ආකාරයෙන් ස්තුති කිරීමටත් අමතක කර තිබුණේ නැහැ. ‘මෙම ලෝක වාර්තාව පිහිටුවීමට ලැබීම ගැනත්, එම අවස්ථාව මගේ රසික රසිකාවියන් සමග බෙදා ගැනීමට හැකි වීම ගැනත් මා තුළ ඇත්තේ විශාල සතුටක්’ යයි ඔහු පවසා තිබෙනවා. මෙම ලෝක වාර්තාව මෙතෙක් තමා සමග සිටි රසිකයන්ට දක්වන උපහාරයක් බවත් ඔහු පවසා තිබුණා. ‘මගේ ජීවිතයේ මෙතෙක් ලැබූ ජයග්‍රහණ දිනා ගැනීමට හැකි වූයේත්, අද මා සිටින තැනට ඒමට හැකි වූයේත් කවදත් මා සමඟ සිටි රසිකයන්ගෙන් ලැබුණු කොන්දේසි විරහිත ආදරය නිසායි’ ආක්ෂේ සඳහන් කරනවා.
මේ වනවිට 55 වැනි වියෙහි පසුවන ආක්ෂේ බොලිවුඩයේ සිටින ධනවත්ම සහ වැඩිම මුදලක් අය කරන නළුවෙක්. මෑතක තිරගත වූ සිනමාපටයක් සඳහා ඔහු ඉන්දියානු රුපියල් කෝටි 135ක මුදලක් අය කළ බවකුත් මාධ්‍ය වාර්තාවල සඳහන් වුණා. එය ලංකා රුපියල්වලින් කෝටි 600කට ආසන්නයි.
ආක්ෂේ විවාහ වී සිටින්නේ තවත් ජනප්‍රිය නිළියක වූ ට්වින්කල් ඛන්නා සමඟයි. ට්වින්කල් කලකට පෙර බොලිවුඩයේ අතිශයින් ජනප්‍රිය නළු නිළි දෙපල වූ රාජේශ් ඛන්නාගේත්, ඩිම්පල් කපාඩියාගේත් දියණිය යි. ආක්ෂේ- ට්වින්කල් දෙදෙනාට දරු දෙදෙනකුත් සිටිනවා. ඒ පුතෙක් සහ දියණියක්.
මේ වනවිට බොලිවුඩ් නළු නිළියන් බොහෝ දෙනෙකුගේ දරුවන් සිනමාවට එක්ව සිටින අතර ඔහුගේ පුතාත් සිනමා රංගනයට එක් වේවිදැයි පසුගිය දිනෙක මාධ්‍යවේදියකු ආක්ෂේගෙන් විමසා තිබුණා. ‘ඒ සඳහා ඔහුගේ කැමැත්තක් නැහැ’ ආක්ෂේ ඊට පිළිතුරු දී තිබුණේ එහෙමයි. පවුලේ උරුමය ඉදිරියට ගෙන යමින් පුතා සිනමාවට එක්වනවා නම් තමා කැමැතිදැයි මාධ්‍යවේදියා එවර විමසා තිබුණා. එවිට ආක්ෂේ පවසා තිබුණේ ‘මට අවශ්‍ය මගේ පුතා සතුටින් ජීවත් වනු දැකීමයි’ යනුවෙනු යි.