තාත්තාගේ ප්‍රථම ප්‍රේමය ජනප්‍රිය ගායකයකුගේ නැගණියක් | සිළුමිණ

තාත්තාගේ ප්‍රථම ප්‍රේමය ජනප්‍රිය ගායකයකුගේ නැගණියක්

වසර 34ක් තිස්සේ පුවත්පත් කලාවේදියකු ලෙස කටයුතු කළ අජන්තා රණසිංහයන් වඩාත් ජනප්‍රිය වන්නේ සොඳුරු ගී පද රචකයකු ලෙසිනි. පරම්පරා කිහිපයක් තිස්සේ රසවිඳින ඔහු ලියු ගී පද අද ද රසිකයන් ආදරයෙන් වැලඳ ගන්නා ගීත අතර වේ.

ඔහු ලියූ ගී අතර “බෝධියේ විහාරයේ, මේ මැයි ගහ යට, සුවඳ දැනී දැනී, උත්තම මුනි දළදා, නිර්වාණ ස්වර්ණ, ඉඳුනිල් ගඟුලැල්, දේදුන්නෙන් එන සමනලුනේ, නින්දනේන රාත්‍රියේ“ ආදි ගී අදත් එදා මෙන්ම ජනප්‍රියය.

ලේක්හවුස් ආයතනයේ දිනමිණ පුවත්පතින් මාධ්‍ය ජීවිතය ඇරැඹි ඔහු නවයුගය පුවත්පතේ කතුවරයා ලෙස ද කලක් සේවය කළ අතර පසුව ඔහු ජනතා පුවත්පතේ විශේෂාංග කතුවරයා ලෙසද සේවය කළේය.

කුරුණෑගල, පන්නල තලම්මැහැර ගමේ 1940 වසරේ දී උපත ලද අජන්තා ඉගෙනුම ලබන්නේ නුගේගොඩ ශාන්ත ජෝන් විද්‍යාලයෙනි.

සිය පියාණන් වියෝ වී වසර හතක් සම්පුර්ණ වීම නිමිත්තෙන් ඔහුගේ දියණිය සාරංගා ප්‍රදීපනී රණසිංහ සහ අජන්තා රණසිංහ පදනම විසින් සංවිධානය කරන ලද විශේෂ උත්සවයක් ඉකුත් 2 වැනිදා “අජන්තා රණසිංහ සත්වැනි ගුණ සමරුව සහ නිර්මාණ විමර්ශන සන්ධ්‍යාව“ නමින් කොළඹ ශ්‍රි ලංකා පදනම් ආයතනයේදී පැවැත්විණි. එහිදී ඔහුගේ ගීත ඇතුළත් කෘති දෙකක් ජනගත කිරීම ද සිදු විය.

“අපි කුඩා කාලයේ සිටම දැක්කේ තාත්තා ගීත ලියනවා. මට මතකයි මගේ පුංචි කාලෙදි වගේම තරුණ වියේදිත් අපේ නිවසට කලාකාරයෝ එනවා යනවා. අපිට ඒ කාලේ රෑවෙනවා එළිවෙනවා ගාණක් නැහැ. තාත්තාගේ කතාවලට අපිත් සවන් දෙනවා. මගෙ තාත්තා ජීවිතයෙන් සමුගෙන වසරකට පස්සේ තමයි මගෙ අම්මා ජීවිතයෙන් සමුගන්නේ. මට අම්මාත් තාත්තාත් ගැන තියෙන්නේ බොහෝම ආදරණීය මතකයක්. මගේ තාත්තා දශක පහක් පුරා ගීත දෙදහසකට වැඩි සංඛ්‍යාවක් ලියා තිබෙනවා. ඒ වගේම තාත්තාගේ පළ නොවුණු ගී බොහොමයකුත් තිබෙනවා.

තාත්තයි, අම්මයි, මල්ලියි, මමයි ගෙදර හිටියේ යාළුවෝ වගේ. ඇත්තටම අපි හොඳ යාළුවෝ. අපේ අම්මා බොහෝම හොඳ කෙනෙක්. අම්මා, තාත්තා ලේඛකයෙක් බව හොඳින් අවබෝධ කරගෙන හිටියා. ඒ නිසා තාත්තාට ලියන්න, තාත්තාගේ නිර්මාණ කටයුතුවලට හොඳ නිදහසක් තිබුණා. 1971 සිට 1996 දක්වා තාත්තා ලියූ පොත් පිටවුණා. තාත්තා එයාගේ ගීත ඇතුළත් තුන්පත් රටා, තිවංක රටා, විකසිත පෙම් ආදි ගීත පොත් කිහිපයකුත් නවකතා පොත් කිහිපයකුත් පළකර තිබෙනවා. මට මගේ තාත්තා ගැන හරිම ආඩම්බරයි. ඔහු ජීවිතෙන් සමුගෙන වසර හතක් ගත වුණත් ඔහු ජීවත්ව සිටියදී ලියූ ගීත අදත් රසිකයන් අතර ජනප්‍රියයි. තවත් යුග ගණනාවක් යන තුරු ඔහුගේ ගීත මේ සමාජයේ පවතිනවා කියන විශ්වාසය මට තියෙනවා. ඇත්තටම අපේ තාත්තාගේ පළ නොවුණු ගීත ඇතුළත් කෘති දෙක සංස්කරණය කළේ සමුද්‍ර වෙත්තසිංහ සොයුරා. ඒ වගේම කලිඳු වීරසිංහ සහ රනුර පෙරේරා ලොකු මූල්‍යමය දායකත්වයක් අපට ලබාදුන්නා.

සිය පියාගේ වසර හතක් පිරීම නිමිත්තෙන් නිකුත් වූ කෘති ගැන කතාකරමින් සාරංගා පැවසුවාය.

“අපේ තාත්තා වැඩිපුරම ගීත ලියලා තියෙන්නේ ජෝතිපාල මහත්මයාට. මම මට තේරෙන කාලේ ඉඳලම දැනගෙන හිටියා තාත්තාට ප්‍රථම ප්‍රේමයක් තිබුණා කියලා. අපි යාළුවෝ වගේ හිටියේ. තාත්තා ලියූ මට ළඳුනි වරම් නැත කියන නවකතාව ප්‍රේමය පදනම් කරගෙන ලියූ කතාවක්. තාත්තා තිවංක රේඛා කියන පොත ලියන්නේ හැර ගිය ප්‍රේමය වෙනුවෙන්. තාත්තා ඒ පොත ලියන්නේ අම්මා සමඟ විවාහ වුණාට පස්සේ. ඒ කතාවට පදනම් වෙලා තියෙන්නේ තාත්තාගේ තිබු ප්‍රේම සම්බන්ධයක්. ඇය ජනප්‍රිය ගායකයෙක්ගේ නැඟණියක්. තාත්තා ලියූ බොහෝ ජනප්‍රිය වූ ගීතවලට ඔහුගේ ප්‍රථම ප්‍රේමය හේතු වී තිබෙනවා. අපේ අම්මා කවදාවත් තාත්තාට නිතී දාලා නැහැ. තාත්තාට ඕනෑ දෙයක් ලියන්න නිදහස තිබිලා තියෙනවා. ගීපද රචකයකුට තිබිය යුතු මානසික නිදහස අපේ තාත්තාට උපරිමයෙන්ම තිබිලා තියෙනවා. තාත්තා ලියූ “මේ මැයි ගහ යට, දුරස්වන්නට මේ ලෙසින්, අපි ආයෙත් හමු නොවුණා නම්, ආදි ගීත ඔහුගේ ප්‍රේමය පදනම් කොටගෙන ලියැවුණ ගීත. අම්මා සමඟ යාළු වුණාට පස්සේ තාත්තා දවසක් අම්මාට ලියුම් මිටියක් ගෙනැත් දීලා. ඒවා තාත්තා ඔහුගේ කලින් පෙම්වතියට ලියූ ලියුම්. අම්මා කවදාවත් ඒ ලියුම් බලලා නැහැ. දම්පැහැ වීදුරු පුංචි වළල්ලක් කියන ගීතය ලියලා තියෙන්නෙත් ඇය වෙනුවෙන්. අම්මාට දුන්න බෑග් එකේ ඒ වළල්ල තිබිලා තියෙනවා. තාත්තා අම්මා වෙනුවෙන් ගීත කිහිපයක්ම ලියා තියෙනවා. අපේ අම්මා තාත්තා හමුවන විට සිංහල ගීත අහලා නැහැ. සිංහල පොත් කියවලා නැහැ. නමුත් තාත්තා හමුවුණාට පස්සේ අම්මා සිංහල ගීත අහන්න පුරුදු වෙලා තියෙනවා. ඒ වගේම මහගම සේකර මහත්තයාගේ පොත් කියවන්නත් පටන්ගෙන තියෙනවා.“

සිය පියාගේ අතීත මතකයන් අප හා පවසමින් සාරංගා බොහෝ කතා පවසන්නීය. ඇය විටෙක සිය පියාගේ හොඳම මිතුරන් ගැන ද පවසන්නට විය.

තිලකරත්න කුරුවිට බණ්ඩාර කියන්නේ තාත්තාගේ පාසල් කාලේ ඉඳලම මිත්‍රයෙක්. ඔවුන් දෙන්නම පසු කාලෙක එකම පත්තර කන්තොරුවේ සේවය කළේ. ඒ හැරුණාම මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර, බණ්ඩාර කේ. විජේතුංග, කරුණාරත්න අමරසිංහ යන අය තාත්තාගේ හොඳම යාළුවෝ ගොන්නේ හිටියේ. සමන් චන්ද්‍රනාත් වීරසිංහත් තාත්තාගේ හොඳම යාළුවෙක්. සමන් අන්කල්ට බයිපාස් එක කරන්න ඉන්දියාවේ යන වෙලාවේ තාත්තත් ගියා ඔහු සමඟ. නමුත් තාත්තා තමන් සමඟ යන බව සමන් අන්කල් දැන ගත්තේ ගුවන් තොටුපොළටත් ගියාට පස්සේ. සනත් නන්දසිරි අන්කල් තාත්තාගේ තවත් හොඳ යාළුවෙක්. ඒ කාලේ තාත්තාට තිබුණා රතුපාට ස්කූටරයක්. තාත්තා ලේක්හවුස් ගිහින් එන ගමන් ගෙදර නෑවිත් සනත් අන්කල්ගෙ ගෙදරත් ගිහිල්ලා තමයි ගෙදර එන්නේ. කේමදාස අන්කල් අපේ පවුලට බොහෝම හිතවත් කෙනෙක්. තාත්තාත් ඔහුත් අතර හොඳ බැඳීමක් තිබුණා. තාත්තාගේ යාළුවෝ අතර හිටිය තව කෙනෙක් තමයි බන්දුල පද්ම කුමාර. වික්ටර් රත්නායක මාමා වගේ අමරදේව මාමා සමඟත් තාත්තා හරිම යාළුයි. මට මතකයි අපි සමහර වෙලාවට ගෙදර කෑගහනවා. ඒත් තාත්තා සිංදු ලියනවා. අදත් සමහර වෙලාවට තාත්තා ලියූ ගීත ඇහෙන විට පපුව රිදෙනවා. සතුට වේදනාව ඒ ගීතවල තියෙනවා. ප්‍රේමය ගැන ලියැවුණ හරි අපූරු ගීත තියෙන්නේ.“

අජන්තා රණසිංහයන් විවාහ වන්නේ එකල ප්‍රකට ගායිකාවක වූ කෝකිලදේවී වීරතුංගගේ දියණියක් සමඟය. ඔහුට ඇය හමු වන්නේ ද පත්තරයේ රාජකාරියකට ගිය ගමනකදීය. ඒ ගැන සාරංගා කියන්නේ මෙවැනි කතාවකි.

“තාත්තා තරුණ කාලේ කෝකිලදේවී වීරතුංගගේ ගෙදර ගිහින් තියෙනවා ඇය ගැන ලියන්න. එදා යන්න කලින් තාත්තා කිව්වලු ලේක්හවුස් එකේ අයට ඒ ගෙදර ගෑනු ළමයෙක් හිටියොත් ඒ කෙල්ලව බඳිනවා කියලා. කොහොම හරි එදා තාත්තා යන දිහා බලාගෙන හිටපු ආච්චි අපේ අම්මාට කියලා තියෙනවා ඔයා දවසක බඳින්න ඕන මෙන්න මේ වගේ කෙනෙක් කියලා. ඒක ඒ විදිහටම වුණා. ආච්චි තාත්තාට හරිම ආදරෙයි. අපි හරි ලස්සන පවුලක් විදිහට ජීවත් වුණා. ඒ මතකයන් එක්ක තමයි මම තාමත් ඉන්නේ. මගේ මල්ලි දේවලෝචන දැන් විදේශයක ඉන්නේ. තාත්තා ගැන තියෙන මතකයන් නම් කියා ඉවර කරන්නට බැරි තරම්“

සිය පියා ගැන සාරංගා කතා ගොන්නක් අප හා පැවසුවාය.

 

Comments