
- මටත් ඉස්සරට වඩා දැන් තරහ යනවා
- මගේ ජීවිතේ එයා නිසා ගොඩක් වෙනස් වුණා
- විනාඩි දෙක තුනෙන් සමථයකට පත් වෙන අවුල් අපිටත් තියෙනවා
- අපි ආදරේ කරද්දී වගේම විවාහ වෙලත් ගොඩක් බාධකවලට මුහුණ දුන්නා
කලාව නිසා මුණගැහිලා, කලාව නිසා ආදරේ කරලා විවාහ වුණු ඉෂාරා සඳමිණිත් අනුර පතිරණත් දැන් ආෙයමත් කලාව එක්ක දකින්න ලැබෙනවා. වසර ගණනක් දූ සිඟිත්තිය ඉසස්යා සඳමිණි වෙනුවෙන් කාලය වෙන් කළ මේ දෙන්නම දැන් නිවේදන කටයුතුවල යෙදෙනවා. ආයෙමත් හැමෝම අතරෙ කතාබහට ලක් වෙන මේ දෙන්නා එක්කයි මෙවර අපේ කතාබහ.
මුලින්ම අපත් එක්ක කතාවට එක් වුෙණ් අනුර. අමාරුවෙන් ඉගෙන ගත්ත නීතිය පැත්තකින් තියලා ඇයි මේ කලාවක් පස්සේ දුවන්නේ..?
මොනදේ කළත් හිත ආස කරන දේට ඉඩ දුන්නම ආත්ම තෘප්තිය ලැබෙනවා. අන්න ඒක නිසයි නීතිය ඉගෙන ගත්තත් රැකියාව විදිහට උසාවි නොයා කලාවට යොමු වුණේ. අමාරුවෙන් අපහසුවෙන් ඉගෙන ගත්ත දේ පෞද්ගලික ජීවිතේට යොමු කරලා කලාකරුවන්ට නීතිමය ප්‍රශ්න ආවොත් වැඩ කරලා කලාවත් එක්ක ජීවත් වෙන්න හිතුවා.
ළඟදීම ඔබව පුළුල් තිරයෙන් දකින්න ලැබෙයි කියලා ආරංචියි ..?
ඒ්ක හරි. මේ දවස්වල “නුහුරු වෑයම“ කියන චිත්‍රපටයේ රූගත කිරීම් කරනවා. අවුරුදු හතරක් පහක් මමත් ඉෂාරාත් දුව වෙනුවෙන් කාලය වෙන් කරපු නිසා ඒ කාලේ කලාවට සම්බන්ධ වුණේ නැහැ. දැන් ආයෙමත් වැඩ පටන් ගත්තා.
ඔබත් බිරිය ඉෂාරාත් එකම රූපවාහිනී වැඩසටහනකින් දකින්න ලැබෙනවා. කැමරාව ඉදිරියේ එකට වැඩ කරන්න සංයමය තියෙනවා ද ..?
හස්බන්ඩ් වයිෆ් කියලා නැහැ නිවේදනයේදී වචන සංවරය හා හැසිරීමේ සංවරය තියෙන්න ඕන. සාමාන්‍යයෙන් මට වැඩසටහනේ ඉන්ට්‍රෝ එක ඒ කියන්නේ හඳුන්වා දීම කරන්න අමාරුයි වචන පාඩම් කරගෙන. මම කතා කරන දේට ගළපලා කතා කරන්න ඉෂාරා දන්නවා. මම හිතනවා ඒ සහාය වෙන කෙනෙක් හිටියා නම් මට ලැබෙන්නේ නැහැ කියලා. සම්පූර්ණ වැඩසටහන කරන්නේ අපි දෙන්නගේ අවබෝධය මත තමයි.
ඔය සහාය ඔබ පුද්ගලික ජීවිතේ දී ඇයට ලබා දෙනවද ..?
සහාය දෙන්නේ නැතුව ගෙදර ඉන්න ලැබෙන එකක් නැහැ. අම්මෝ සහාය දෙනවා. එයා වෛද්‍ය ජීවිතේට සමු දීලා ආයුර්වේද කොස්මැටික් ව්‍යාපාරයක් කරගෙන යනවා. එයාගේ වෛද්‍ය දැනුමෙන්. ඊට අමතරව Ishara & Anura Online කියලා යූටියුබ් නාලිකාවක් හා Ayurway by Ishara Sandamini කියලා යූටියුබ් නාලිකාවක් ආරම්භ කළා. ඒ හැමදේකටම මම උදව් කරනවා. එයා ගෙදර වැඩත් කරගෙන බබාවත් බලාගෙන ලෙහෙසි පහසු කටයුත්තක් නෙමෙයි කරන්නේ. ඉතිං මගෙත් සහය නැතුව බැහැනේ.
අවුරුදු ගාණක් දූත් එක්කම කාලය ගත කරලා ඇයව තනි කරලා ඔබ දෙදෙනා රූපවාහිනී වැඩසටහන්වලට යන එකට ඇගේ ප්‍රතිචාර කොහොමද .?
දුව ඉසස්යා සඳමිණි, වයස අවුරුදු හතර හමාරයි. එයා එක්කම හිටපු අපි දෙන්නා එයාව දාලා වැඩවලට යද්දී එයා දොස් කියනවා. උදේ අපි පහ වෙද්දී ගෙදරින් පිට වෙනවා. ඒ වෙලාවට එයා නිදි. ගෙදර යද්දී කියනවා අම්මි මාව දාලා ටීවී එකට යනවා කියලා. සිරස මෝනිං ප්‍රෝගෑම් එක එයා බලනවා. හැබැයි ඒකට හරිම තරහයි. එයා හිතන්නේ අපි එයාව දාලා යනවා කියලා. ළඟදි මමයි ඉෂාරායි වෙළෙඳ දැන්වීමකට සම්බන්ධ වුණා. දුවට කතා කරා එයා බැහැ කිව්වා. අපි වෙන බබෙක් වඩාගෙන ඉන්නවා කියලා ඒක දකිද්දී තරහින් ඉන්නේ. හරිම ඊර්ෂ්‍යාවක් තියෙන්නේ ආදරේ බෙදිලා යනකොට.
ඇගේ දක්ෂතා කොහොමද ..?
ඇය නටන්න දක්ෂයි. ඒත් මොන පැත්තට යයිද කියන්න දැන්ම බැහැ. අපි නීතිය, වෛද්‍ය වෘත්තිය ඉගෙන ගත්තා කියලා එයා ඒවා කරන්න ඕන නැහැ. කැමති දෙයක් කරන්න ඉඩ දෙනවා. එය චෙෆ් කෙනෙක් වුණොත් මම කැමතියි. අපි උයනකොට එයා හරි අවධානයෙන් බලාගෙන ඉන්නවා.
ඔබ කාලයක් චෙෆ් කෙනෙක් වෙලා හිටිය නිසාද ඒ පැත්තට කැමති ..?
වැඩිදුර අධ්‍යාපනය ලබන්න මම එංගලන්තයට ගියා. එහේ මොනා හරි රස්සාවක් කරන්න ඕන නිසා යාළුවෙක්ගේ උදව්වෙන් හෝටලයකට ගියා. මම උයන්න දන්නේ නැහැ කිව්වම එයා කිව්වා මම උගන්වලා ගන්නම් කියලා. අන්තිමට රසට උයන්න පුළුවන් වුණා විතරක් නෙමෙයි අලුතින් පටන් ගත්ත රෙස්ටුන්ට්වල චෙෆ්ලා ට්‍රේනිං කරන මට්ටමට දැනුම ලැබුවා. ඒ නිසා ඒ පැත්තට මම ආසයි.
එංගලන්ත ගමන අවසන් කරලා ලංකාවට ඇවිත් ස්වර්ණවාහිනීය පැත්තට ගියේ ඉෂාරාව දැලේ දාගන්න කියලා ආරංචියි ..?
මම එංගලන්තයේ යන්න කලින් ස්වර්ණවාහිනීයේ වැඩ කළා. මෝනිං ප්‍රෝගෑම් එකක් කළා. ඊට පස්සේ තමයි එංගලන්තයේ යන්නේ. මම දැක්කා ඉෂාරා වැඩසටහන් කරනවා. ඊට පස්සේ මගෙ යාළුවෙක් ඉන්නවා ඉන්දික කියලා. එයාට කිව්වා මෙහෙම කෙනෙක් ඉන්නවා මගේ හිතේ කැමැත්තක් තියෙනවා යමුද බලන්න කියලා. ස්වර්ණවාහිනීයේ ගොඩක් යාළුවෝ හිටිය නිසා එයාලවත් බලන්න ගියා. ඉෂාරා දැක්කට පස්සේ හිතේ කැමැත්තක් ඇති වුණා. ඒක ආදරණීය එකක් කිව්වොත් හරි. මම ඔයිට කලින් ආදරේ කරලා තිබ්බා. නමුත් ආදරේ කියන්නේ ලබා ගැනීම. ඒ ආදරේ ළඟ තබා ගැනීම. ඒ කියන්නේ ඒ ආදරේ මගේ විතරක් කියන හැඟීම ආවේ ඉෂාරා දැක්කට පස්සේ.
කැමති වුණා ද? නැත්තම් කැමතියි කැමැත්ත කියා ගන්න ලැජ්ජාවෙන් හිටියද..?
යාළු වෙන්න ඇහුවම කෙල්ලෝ ඔක්කොම එකයිනේ. බයයි, “මගේ කැමැත්තක් නැහැ“ වගේ දේවල් කිව්වා. ඒත් එයාගේ හිතේ කැමැත්තක් තියෙනවා කියලා තේරුණා. ඊට පස්සේ ටික දවසක් ගියාට පස්සේ හා කිව්වා. ඊට පස්සේ තමයි ආදරේ කළේ. ආදරේ කරලා විවාහ වුණා. ඇත්තටම කිව්වොත් මගේ ජීවිතේ එයා නිසා ගොඩක් වෙනස් වුණා. අපි ආදරේ කරද්දී වගේම විවාහ වෙලත් ගොඩක් බාධකවලට මුහුණ දුන්නා. නමුත් මගේ ජීවිතේ ගත්ත හරිම තීරණේ තමයි එයාව තෝරා ගත්ත එක.
දෙන්නා අයියයි නංගියි කියලා ඒ කාලේ රැවටුණු අයත් ඇති ..?
ගොඩක් අය හිතාගෙන හිටියේ අපි දෙන්නා අයියයි නංගියි කියලා තමයි. ඉතිං ඒකට මුවාවෙලා නිදහසේ ආදරේ කරන්න පුළුවන් වුණා.
අනුරගේ කතාබහෙන් පස්සේ මේ විදිහට ඉෂාරා අපිත් එක්ක කතා කළා, ඇගේ කාර්යබහුල ජීවිතේ ගැන කිව්වේ මෙහෙම යි
හරිම කාර්යබහුලයි. මගේ ආයුර්වේද කොස්මැටික් ව්‍යාපාරයේ වැඩයි, සිරස මෝනිං ප්‍රෝගෑම් එකයි, අපි දෙන්නා කරන යූටියුබ් නාලිකාවේ වැඩයි ඔක්කොම දැන් අච්චාරුවක් වෙලා. ඒවා එක්ක ලොකු කාලයක් ගත කරද්දී දුවගේ වැඩයි හස්බන්ඩ්ගේ වැඩයි ගෙදර වැඩ ඔක්කොම කරන්න වෙලාව නැති තරම් දැන්.
කොහොමද ඉසස්යා දූ..?
එයා ඉස්සර වගේ නෙමෙයි දැන් හරියට ආදරේ හොයනවා. අපි දෙන්නා ළඟ නැති නිසා. මටත් ඉස්සරට වඩා දැන් තරහා යනවා එයා නිසා. වැඩක් කරන්න ගියොත් අවධානය ගන්න ඒක තුන් හතර වතාවක් කියන්න ඕන. තේරෙන්නේ නැහැ වගේ ඉන්නවා. එයා හොඳ දරුවෙක්. අපි දෙන්නා වැඩ කර ගන්නකල් මගේ අම්මා තමයි එයාව බලා ගන්නේ.
ටෙලිනාට්‍ය දැන් අත ඇරලම දාලද..?
රඟපාන්නේ මම ආසාවට. නාට්‍ය හතර පහකට කතා කළා. එකම වගේ චරිත කරන්න ආස නැහැ. වෙනස්ම චරිතයක් ලැබිලා ඒකට මම කැමැත්ත දීලා ආයෙත් බැහැ කිව්වා. ඉදිරියේදි බලන්න ඕන ඒ පැත්ත ගැන.
ඔබයි අනුරයි කරන සිරස උදෑසන වැඩ සටහනට හොඳ ප්‍රතිචාර ලැබෙනවා වගේ..? අවුරුදු හතරක් පහක් නොදැක හිටපු ඔබට එය හොඳ ආරම්භයක් .?
අනුර කිව්වා වගේ හොඳට ප්‍රතිචාර ලැබෙනවා. ගිය අවුරුද්දේ ජනවාරි මාසේ පටන් ගත්තේ. තවම ඒකට හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ළඟදි අපි ට්‍රිප් එකක් ගියා. “අපි සිරස වැඩසටහන බලනවා. ඒක හොඳට කරනවා. කියලා තමයි කතා කරපු හැමෝම කිව්වේ. ඇත්තටම හොඳ ආරම්භයක් වුණා මට වගේම අනුරට. අපි දෙන්නා එන ආරාධිතයින්ට කතා කරන්න ඉඩ දීලා නිදහසේ වැඩ සටහන කරගෙන යනවා. සමහර ආරාධිතයින් වෙන වැඩසටහන්වල කතා නොකරපු දේ අපිට ඕපන් වෙලා කතා කරනවා. ඉතිං වැඩසටහන ගැන මටත් සතුටුයි.
කලාකරුවන් එක්ක කතා කරද්දී ඔබ සංවේදී වෙලා ඇති..?
ඇතැම් අවස්ථා තියෙනවා දරුවෝ ගැන කතා කරද්දී මවුපියන් ගැන කතා කරද්දී මම හරියට සංවේදී වෙන. මගේ දුව ඉපදෙන්න කලින් මට දැනුනු හැඟීමට වඩා සංවේදී වෙනවා මම දැන් දරුවෝ ගැන කතා කරද්දී. ඒ වගේ අවස්ථාවල මමත් අපහසුතාවට පත් වෙලා තියෙනවා
දොස්තර නෝනා දැන් වෙද නළාව පැත්තකින් තියලා මයික් එක අතට අරගෙන. ඒ වගේ රැකියාවකින් ඈත් වෙලා ඉන්න දුකක් නැද්ද ..?
දුෂ්කර පළාත් සේවයට ආවා. ඊට පස්සෙ පත්වීම භාර ගත්තේ නැහැ. මට ඕන වුණේ වෙනස් දෙයක් කරන්න. ඒ නිසා රෝගීන්ට ප්‍රතිකාර කිරීම් පැත්තට යොමු නොවී ආයුර්වේද කොස්මැටික් ව්‍යාපාරයක් කරනවා. පංචකර්ම මධ්‍යස්ථානයක් පටන් ගන්නත් අදහසක් තියෙනවා.
පංචකර්ම ගැන හොඳින් දන්න ඉෂාරා වැඩි කැමැත්තක් දක්වන්නේ මේකප් නොකර ස්වාභාවික රූපයෙන් ඉන්නද..?
ඔව්. මම උත්සව අවස්ථාවලට විතරයි මේකප් කරන්නේ. අනිත් හැම ගමනක් බිමනක්ම යන්නේ මේකප් නොදා. මාස්ක් එක දානවා අඳුරගන්න බැරි වෙන්න. ඒ වුණාට මාව හුඟක් අය අඳුරගන්නවා මේකප් නැතුව.
ඊළඟ පිම්ම යුරෝපා රටකට යන්න කියලා ආරංචියි ..?
සීයට පනහක අදහසක් තියෙනවා නැතුවම නෙමෙයි. අපේ රට දාලා තව කෙනෙක් යටතේ වැඩ කරන්න බැරි අපහසුතාවක් විතරයි තියෙන්නේ. බලමු යයිද නොයයිද කියලා හිතන්න අමාරුයි.
කැමරාවට ඔබ දක්ෂ නිළියක් හා නිවේදිකාවක්, අනුරට ඔබ හොඳ බිරියක්ද..?
ඒක අහන්න ඕන අනුරගෙන් තමයි. අපි අතරත් අනිත් පවුල් වගේම ආරවුල් බහින් බස්වීම් ඇති වෙනවා. ඒ වුණාට ඒවා විනාඩි දෙක තුනෙන් සමථයකට පත් වෙන අවුල්. දවස් ගණන් ඇදගෙන යන්නේ නැහැ. පොඩ්ඩක් රණ්ඩු කරලා කෑගහලා ඉවර කරන වලි තියෙන්නේ. සමස්තයක් විදිහට ගත්තොත් අපි දෙන්නා සතුටින් ජීවත් වෙනවා. මම හිතනවා මම එයාට හොඳ බිරියක් වෙන්න ඇති කියලා.