මට ආදරයක් තිබුණා ඒක මගෙන් ගිලිහුණා | සිළුමිණ

මට ආදරයක් තිබුණා ඒක මගෙන් ගිලිහුණා

 

වෙ‍ෙළඳ දැන්වීම් කලාව තුළ වගේම පුංචි තිරය, රිදී තිරය ආදී ක්ෂේත්‍රයන් ක්‍රම ක්‍රමයෙන් ආක්‍රමණය කළ ඔහු මේ දිනවල වඩාත් ම ජනප්‍රිය චන්දෝලි ටෙලි නාට්‍ය හරහායි. අද අපගේ කතා නායකයා ඉමේෂාන් නෙල්ලිගහවත්තයි.

 

කොහොමද මේ දවස්වල ජීවිතේ ...

එදිනෙදා රූගත කිරීම් වගේම ව්‍යාපාර කටයුතු කරගෙන සැහැල්ලුවෙන්, සතුටින් කාලය ගත කරනවා.

 

චන්දෝලි ටෙලි නාට්‍යයෙන් ඉමේශාන්ගෙ වෙනස්ම රංගන පැතිකඩක් අපි දකිනවා. ඒ ගැනත් විග්‍රහ කළොත්...

චන්දෝලි ටෙලි නාට්‍යයෙන් මම නිරූපණය කරන්නේ රන්සිරිගේ චරිතයයි. තරුණයෙක්ගේ දඟකාරීත්වය එයින් වඩාත් ඉස්මතු වෙනවා. මිලින්ද මඩුගල්ල අයියා සමඟයි බොහෝ රූගත කිරීම් එහීදී සිදු කරන්නේ. එය අධ්‍යක්ෂණය කරන තුෂාරි අබේසේකර මහත්මිය ඒ චරිතය ගොඩනඟා ගන්න මට ගොඩක් උදවු කරනවා. ඒ වගේම හොඳ කණ්ඩායමක් සමඟ වැඩ කටයුතු කරන නිසා එහි රඟපෑම් කටයුතු කිරීම හරිම පහසුයි.

 

ප්‍රවීණයන්ගේ ඇසුර ඔබගේ රංගන ජීවිතයට ශක්තියක් වුණේ කොහොමද?

මම මුලින්ම ක්ෂේත්‍රයට පිවිසියේ වීරවර්ණ චිත්‍රපටයෙන්. එහි මුල්ම පියවර මම තැබුවේ රවීන්ද්‍ර රන්දෙණිය සර්, වීනා ජයකොඩි මිස්, සිරිල් වික්‍රමගේ මහත්මයා යන ප්‍රවීණයන් සමඟයි. ඔවුන්ගෙන් මට ලැබුණ සහයෝගය තවමත් එලෙසින්ම ලැබෙනවා. මං මුලින්ම දෙබස් කියන්න පටන් ගත්තේ රවීන්ද්‍ර රන්දෙණිය මහත්මයා සමඟයි. ඔහු කියා දුන් ශිල්පීය ක්‍රම ඔවදන් මගේ රංගන ජීවිතය මුවහත් කළා. ක්ෂේත්‍රයට පැමිණි මුල් කාලයේ එක් නිර්මාණයක් වෙනුවෙන් ප්‍රමාණවත් කාලයක් වැය කරන නිසා ප්‍රවීණයන්ට නවකයින් ගොඩනඟන්න පහසුයි. නමුත් වර්තමානයේ ඊට කාලය හරස් වෙනවා. අතීතයේ වගේම වර්තමානයේ දීත් ප්‍රවීණයන්ගෙන් ලැබෙන සහය ඉහළයි.

 

රංගනය හදාරා තිබෙනවද නැත්නම් හැදෑරීමට බලාපොරොත්තුවක් තිබෙනවා ද?

මම මුලින්ම අනෝජා වීරසිංහ මහත්මියගේ අභින ලෙස කෙටිකාලීන පාඨමාලාවක් හැදෑරුවා. ඒ වගේම පාසල් කාලයේ දී වේදිකා නාට්‍ය බොහොමයකට සම්බන්ධ වුණා. පාසල් කාලයේදී මල්කා විජිතකුමාරි ගුරුතුමිය මගෙ රංගන ජීවිතයේ මුලකුරු කියෙව්වා. ඉන්පසු මගේ රංගන ජීවිතයේ ගුරුවරයා වුණේ මමයි. මං වෙනුවෙන් පාඨමාලා මමම සිදුකරමින් ස්වයං අධ්‍යයනයන් සිදු කළා. සුරංග සෙනෙවිරත්න අධ්‍යක්ෂකවරයාත් මගේ රංගන ජීවිතයට ලොකු සහයෝගයක් ලබා දුන්නා. අපි මුලින්ම කිකි කියන ඇප් එකට පොඩි නිර්මාණයක් කළා. එහිදී රංගන කටයුතු කරන විට මගෙ වචනයෙන් කියනවා නම් මම හොඳටම නෑවා. ඒ නිසා එම අධ්‍යක්ෂවරයාගෙන් බැණුම් වරුසාවක තෙමෙමින් මං ඉගෙන ගත්තා. ඔහුවත් ඒ නිසා අමතක නොකරම බැහැ.

 

මේ දවස්වල වැඩි කාලයක් ගෙවෙන්නේ ජිම් එකේ නේද?

හරියට හරි. මගේ සමහර ප්‍රශ්න අමතක කරන්න සෑහෙන්න ජිම් එකට නැඹුරු වුණා.

 

රංගන ශිල්පියෙකු වීමට, හැකියාවට අමතරව ප්‍රතිරූපය නඩත්තු කළ යුතු යැයි ඔබ විශ්වාස කරනවද?

බොහෝ දෙනෙක් හිතන්නේ ජිම් ගිහින් ඇඟ පුම්බාගත්තම නළුකම කරන්න බැහැ කියලා. ඇතැම් ප්‍රවීණයොත් ඇඟ මහත් කරන්න එපා කියලා මට ඔවදන් දෙනවා. නමුත් මම ජිම් එකට යන්නේ රංගන ශිල්පියෙක් විදිහට අත්‍යවශ්‍ය fitness ගොඩනගන්නයි. කායවර්ධන පුහුණුවට විදේශ රටවල්වල රංගන ශිල්පීනුත් යොමු වෙනවා අප දැක තිබෙනවා. ඔවුන් එයින් බලාපොරොත්තු වෙන්නේ රංගන කාර්යයට අවශ්‍ය ශක්තිය ගොඩනඟා ගැනීමයි. මම bodybuilding කරන්නේ නැහැ. මම කරන්නේ fitness training. නළුවෙකුට fitness training තිබීම අත්‍යවශ්‍යයි.

 

කලාවෙන් පෝෂණය වීම තුළින් ආර්ථිකය ගොඩනඟා ගන්න අපහසු යැයි බොහොමයක් නවකයින් පවසනවා. ඔබ සිටින්නෙත් එවන් මතයක ද?

නැහැ කොහෙත්ම නැහැ. මම පෝෂණය වුණේ කලාවෙන්. මම ව්‍යාපාරය ආරම්භ කළෙත් කලාවෙන් ලැබුණු ආදායමෙන්. අපේ පැවැත්ම අපි ගොඩනඟා ගත්තොත් කලාව තුළින් නැඟී සිටින්න අපහසු නැහැ. මම ගොඩක් වෙ‍ෙළඳ දැන්වීම්වල පෙනී සිටිනවා. අපගේ ප්‍රතිරූපය ඒ අනුව ගොඩඟාගෙන රංගනය ස්වයංව අධ්‍යයනය කරමින් ඉදිරියට ගියොත් ආර්ථිකය යහපත් කරගන්න අසීරු නැහැ.

 

දවසක හොඳම නළුවා වෙන්න බලාපොරොත්තුවක් තියෙනවද?

ඔව් ඒක තමයි මගේ එකම අරමුණ. මම ගිය වසරේ සුමති සම්මාන උලෙළේ ජනප්‍රියම නළුවා සඳහා නිර්දේශිත නාම හය අතරට එක් වුණා. එකී ජනප්‍රියත්වයට මම කැමතියි. නමුත් මගේ සිහිනය හොඳම නළුවා සම්මානය ගන්න එකයි.

 

ආදරය ගැන මොකද හිතෙන්නේ..?

මට ආදරයක් තිබුණා. නමුත් යම් යම් හේතු නිසා එය මගෙන් ගිලිහුණා. ඒ නිසා මම දැන් ආදරේ කරන්නේ ජිම් එකටයි. මගේ සිහින කිහිපයක් තියෙනවා. ඒ අරමුණු සිහින සැබෑ කරගෙනම ආදරයක් ගැන හිතනවා.

Comments