මම මටත් වඩා එයාට ආදරෙයි | සිළුමිණ

මම මටත් වඩා එයාට ආදරෙයි

ඔහු කවදාවත් මාව කලාවෙන් ඈත් කරන්නේ නැහැ

ඔහු ගැන මං ගොඩක් තෘප්තිමත්

මට මං වගේ ඉන්න නිදහස ඔහු දීලා තියෙනවා

 

ධරණි ටෙලි නාට්‍යය තුළින් කාගෙත් කතාබහට ලක්වූ හේශානි ලියැදිපිටිය මේ මස 7 වන දින විවාහ ගිවිස ගැනීමත් සමඟම සැමගේ නෙත් නැවතත් ඇය වෙතට ම යොමු වුණා. ඒ නිසාම ඇගේ ආදර ගමන ගැන වගේම ඇගේ ඉදිරි ජීවිතය ගැන වැඩි විස්තර දැනගැනීමට මෙවර ඉඩහසර අප ඇයට වෙන් කළා.

 

ජීවිතයේ අලුත් පිටුවක් පෙරළීමේ සතුට සමඟ හේෂානි ගේ ජීවිතය ගලාගෙන යන්නේ කොහොමද?

විශ්වවිද්‍යාල වැඩ කටයුතු නිම කළ නිසා අප විවාහ ගිවිස ගැනීමට තීරණය කළා. ඒ වගේම ලොක්කි 2 ටෙලි නාට්‍ය පෙබරවාරි 6 වැනිදා ආරම්භ වෙනවා. එය සතියේ දින පහ තුළම විකාශය වීමට නියමිතයි. එහි රඟපෑම් කටයුතුත් සමඟ මේ දිනවල තරමක් කාර්යබහුලයි.

 

ලොක්කි 2 හි ඔබ නිරූපණය කරන චරිතය කතා කළොත්?

දුප්පත් ගැහැනු ළමයෙක් අමාරුවෙන් ගායිකාවක් වෙලා කොළඹට ආවාම ඇයට කොළඹ ප්‍රසිද්ධියට පත් වූ ගායිකාව සමඟ විවිධ ගැටුම් ඇතිවෙනවා. එහිදී මගේ චරිතය ප්‍රධාන භූමිකාව සමඟ රණ්ඩුවෙන ඉක්මනින් තරහ යන කළු චරිතයක්. ධරණි ටෙලිනාට්‍ය ලැබූ අත්දැකීම්වලට වඩා හාත්පසින් වෙනස් අද්දැකීම් ඒ ටෙලි නාට්‍ය තුළින් මං අත්විඳිනවා. ඒ වගේම දුෂ්ට චරිතයක් නිසා ප්‍රේක්ෂකයන්ගෙන් හොඳටම බැණුම් අහන්නත් සිද්ධ වෙනවා සිකුරුයි.

 

හේෂානිගෙ කලා ජීවිතයේ සුවිශාල පිම්මක් පනින්න ධරණී ටෙලිනාට්‍යය හේතුවක් වුණා නේද?

ධරණි තමයි මගේ ජීවිතයට ලැබුණු හොඳම වගේම ආදරණීයම චරිතය. ඒ චරිතයට මං අදටත් ගොඩක් ආදරය කරනවා. මම එම චරිතය මගේ ජීවිතය බොහෝ තැන්වලදීත් ජීවත් කරවනවා. ඒ ප්‍රේක්ෂක ආදරය මිල කරන්න බැහැ. ඒ තරම්ම මම එම චරිතයට ආදරෙයි.

 

ධරණි ටෙලි නාට්‍යයේ සටන් ජවනිකා නිරූපණය කිරීමට ඔබ එකී කලාව හැදෑරුවා ද?

ධරණි ටෙලි නාට්‍යය ආරම්භ කිරීමට මාස කිහිපයකට පෙරම ඔසද සමන් බන්ඩාර ගුරුතුමා යටතේ අප සටන් කලාව පිළිබඳ මූලික පුහුණුවක් ලැබුවා. ඒ වගේම ඔහු යටතේ සිටි සටන් ශිල්පීන්ගෙන් විශාල සහයෝගයක් අපට ලැබුණා. එයාලා නොමැති නම් අපගේ චරිතය ඒ තරම් දැවැන්ත ලෙස ඉස්මතු නොවීමටත් ඉඩ තිබුණා.

 

හේෂානිගෙ dancing covers සමාජ මාධ්‍ය තුළ ගොඩක් ප්‍රසිද්ධයි නර්තන කලාවට ඔබගෙ යොමුවීම ගැන කතා කළොත්...

මං නර්තනය කරන්න ආරම්භ කළේ මට වයස අවුරුදු 4 දීයි. මගේ නර්තන ගුරුතුමිය රැජිනි සේනානායකයි. ඇගෙන් ලැබූ අධ්‍යාපනය වගේම පුහුණුව මගේ නර්තන ජීවිතයට ලොකු අඩිතාලමක් දැම්මා. වසර 13 ක්ම මම නර්තනය හැදෑරුවා. ඉන්පසු සෞන්දර්ය විශ්ව විද්‍යාලයට නර්තනයෙන් තේරීපත් වීමට මට අවකාශය ලැබුණා. වසර 21 කට ආසන්න කාලයක් මං නර්තනය හැදෑරුවා. එදා මගේම අද වගේම හෙටත් නර්තනය හැදෑරීමට මම බලාපොරොත්තු වෙනවා

 

රූ රැජින තරඟ තුළින් ක්ෂේත්‍රයට පිවිසෙන බොහෝ දෙනා ටික කාලෙකින් ක්ෂේත්‍රයෙන් ගිලිහෙනවා. එකී කුලකයෙන් මිදෙන්න ඔබ ගත් ව්‍යායාම් මොනවාද?

ඒ වෙනුවෙන් මං කිසිදු සුවිශේෂ වෙහෙසක් දරන්නෙ නැහැ. මං හැමවිටම උත්සාහ කරන්නේ ප්‍රසිද්ධ වෙන්න නෙමෙයි. ජනයාට ප්‍රිය වී ජනප්‍රිය වීමටයි. හොඳ දෙයක් කළත් නරක දෙයක් ප්‍රසිද්ධ විය හැකියි. නමුත් ජනප්‍රියත්වය ලබා ගැනීම පහසු නැහැ. රැඳී සිටීම හා ගිලිහීම තීරණය කරන්නෙ ප්‍රේක්ෂකයනුයි. ඒ නිසා මිනිසුන්ගෙ ආදරය එලෙසින්ම තවමත් මට හිමිවීම ආශීර්වාදයක් කියා මම හිතනවා.

 

අපි දැන් ඔබගේ ආදර කතාව ගැන දැනගනිමු.

අපි දෙන්නගේ ආදර කතාව ආරම්භ කර ටික කාලයක් වෙනවා. ක්ෂේත්‍රයේ බොහෝ දෙනා එය දැන සිටියත් ප්‍රසිද්ධ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශ කළේ මගේ උපන් දිනේ දවසේ. එහි දී මට බොහෝ දෙනා සුබ පැතුම් එක් කළා. අධ්‍යාපනය, වයස ආදී සියලු දේ නිසා විවාහ ගිවිස ගිවිස ගැනීමට සුදුසුම කාලය මෙය යැයි අප හිතුවා. ඒ නිසා සැමගේම ආශීර්වාදය ඇතිව අප එය සිදු කළා.

 

ආදරණීය සහකරුවා ගැන කෙටි හැඳින්වීමක් කරමුද?

ඔහු ගිශාන් ශාලිත් දිසානායකයි. ඔහු මට වඩා වසරක් වැඩිමහල්. ඔහු සිය අධ්‍යාපන කටයුතු නිම කර රැකියාවක් බලාපොරොත්තුවෙන් සිටිනවා.

 

විවාහයෙන් පසුව බොහෝ රංගන ශිල්පිනියන්ට ක්ෂේත්‍රයේ රැඳී සිටීමට වාරණයන් පැනවෙනවා. ඔබත් විවාහයෙන් පසුව කලාවෙන් ඈත් වෙයිද?

නැහැ. ඔහු කවදාවත් මාව කලාවෙන් ඈත් කරන්නේ නැහැ. මම dancing cover එකක් කළත් ගිෂාන් ගොඩක් කැමැතියි. ඔහු හැමතිස්සෙම කියන්නෙ කරන දේ මොකක් වුණත් හරියට කරන්න කියලයි. ඒ වගේම මම සම්මානයක් ගන්නවා දකින්න කැමැති බව ඔහු හැමවිටම කියනවා. මට මං වගේ ඉන්න නිදහස ඔහු දීලා තියෙනවා. ඒ නිසා ඔහු ගැන මං ගොඩක් තෘප්තිමත්. ඒවගේම මම මටත් වඩා ඔහුට ආදරෙයි.

 

ඔබ දෙපළගේ අනාගත බලාපොරොත්තු මොනවාද?

අපේ එකම බලාපොරොත්තුව අපේ මවුපියන් සමඟම ජීවිතයේ කරදරයක් නැතුව අත්නොහැර එකට ජීවත් වීම. අහස උසට බලාපොරොත්තු අපි දෙන්නටම නැහැ. ඒ නිසා වර්තමානය තුළ සතුටින් ජීවත් වෙනවා.

 

විවාහයටත් නුදුරේදීම සූදානම් වෙනවාද?

විවාහය සිදු කිරීමට සැලසුම් කරන්නේ ඔහුගේ උපාධි ප්‍රදානෝත්සවයෙන් පසුවයි. අප දෙදෙනාගේම උසස් අධ්‍යාපනයෙන් පසුව එය සිදුවේවි

 

ඡායාරූප: උදාර මල්ශාන්

Comments