මාව එයාගෙ මුළු ලෝකය කර ගත්ත කෙනෙක් තමයි මම බලාපොරොත්තු වෙන්නේ | සිළුමිණ

මාව එයාගෙ මුළු ලෝකය කර ගත්ත කෙනෙක් තමයි මම බලාපොරොත්තු වෙන්නේ

පොඩි කාලේ ඉඳන් නිළියක් වෙන්නයි මම ආස කළේ

මගේ වැරැද්දක් තමයි මම ආදරේ කරනවාට වඩා ආදරයක් එයාගෙන් බලාපොරොත්තු වෙන එක

ජයප්‍රකාශ් ශිවගුරුනාදන් අධ්‍යක්ෂණය කරන සද්ධා මංගල සූරියබණ්ඩාර තිර රචනා කරන “පාර දිගේ“ නාට්‍යය මේ දවස්‌වල හරි ජනප්‍රිය ටෙලිනාට්‍යයක්. එහි එන රුක්ෂාණාගේ චරිතයට නම් ඔබේ ප්‍රතිචාරය ටිකක් වෙනස් ඇති. නමුත් රුක්ෂාණා කියන්නෙ බොහෝ දෙනෙක්ගේ කතාබහට ලක් වෙන චරිතයක්. රුක්ෂාණා ලෙසින් ප්‍රේක්ෂකයන් අතරට එන්නෙ පියුමි ශ්‍රීනායක. ඒ නිසා රුක්ෂාණා නිසා පියුමිට ලැබෙන ප්‍රතිචාර ගැන වගේම ඉදිරි කළා නිර්මාණ ගැන රසඳුන සමඟ කළ කතාබහයි මේ..

 

කොහොමද ජීවිතේ?

මේ දවස්වල ජීවිතේ හොඳයි. මම හිතනවා 2022ට වඩා 2023 මට හොඳ වෙයි කියලා. මොකද ජනවාරි පළමු වෙනිදා සිට මම වැඩ. ඒ වගේම මගේ හිතත් සතුටින් තියෙනවා. ඒ නිසා ඔක්කොම සමබරව කරගෙන හොඳින් ඉන්නවා.

 

මේ දවස්වල ඉන්න නිර්මාණ ගැන කිව්වොත්?

පාර දිගේ ටෙලිනාට්‍යය තමයි විකාශය වෙන්නෙ. ඊට අමතරව තව ටෙලිනාට්‍යය කිහිපයක ශූටින් යනවා. ඉදිරියට ඒ නිර්මාණ දකින්න ලැබෙයි.

 

පාර දිගේ රුක්ෂාණාගෙ චරිතයට ලැබෙන ප්‍රතිචාර කොහොමද?

පාර දිගේ මම කරන්නෙ නපුරු චරිතයක් නිසා හැමෝම වගේ බණිනවා. ඉතින් ඒ අය ආයේ අනිත් පැත්තට කියන්නෙ මම ඒ චරිතය හරියටම කරන නිසාලු ඒ අයට තරහක් ඇති වෙන්නෙ. ඒ නිසා ලැබෙන හැම ප්‍රතිචාරයක්ම සතුටින් භාර ගන්නවා.

 

චරිතයක් තෝරා ගන්නෙ කොහොමද?

මුලින්ම පිටපත කියවලා බලනවා. ඒ මට ලැබෙන චරිතය මොන වගේද සහ මට ඒ තුළ දෙයක් කරන්න තියෙනවාද කියලා. එකම විදියේ චරිත නම් භාර ගන්නෙ නැහැ. සමහර නිර්මාණවලට ඇරයුම් ලැබෙනවා නාට්‍යයේ නම විතරයි වෙනස් ඇඳුම පැලඳුමේ ඉඳන් එකම විදියේ චරිත. එවැනි නිර්මාණ නම් භාර ගන්නෙ නැහැ. වෙනස් විදියේ චරිතවලට ලැබෙන ඇරයුම් භාර ගන්නවා.

 

සිනමාවට ඇරයුම් නැද්ද?

සනත් ගුණතිලක මහතාගේ චිත්‍රපට දෙකක මේ වෙද්දි වැඩ කරලා තියෙනවා. එකක් නම් ඔස්ට්‍රේලියාවට කරපු එකක්. ඒක වැඩිපුරම සනත් අයියා කළේ සම්මාන උලෙළවල් සඳහා. එහි ප්‍රිමියර් එක මේ වෙද්දි තියලා තියෙන්නේ. ඉතින් ඒ නිසා ඒ ගැන මම පොඩි බලාපොරොත්තුවක් තියාගෙන ඉන්නවා.

 

රංගන ශිල්පිනියක් නොවුණා නම් කවුරු වෙන්න තිබ්බද?

එහෙමනම් මම හිතන්නෙ මම හොඳ ගෘහණියක් වෙයි කියලා. මොකද මම වෙන කෙනෙක් යටතේ ආයතනගත වෙලා වැඩ කරන්න කැමැත්තක් තිබුණේ නැහැ. පොඩි කාලේ ඉදන් නිළියක් වෙන්නයි මම ආස කළේ.

 

ජීවිතේ ලැබීම් නොලැබීම් ගැන මොකද හිතෙන්නෙ

ජීවිතේදී අටලෝදහමට කම්පා නොවී ඉන්න පුළුවන් වෙන්න ඕනේ. හැම ජීවිතයකම දුක සතුට ලාභ අලාභ හැමදේම තියෙන නිසා ලැබීම් නොලැබීම් ගැන මම වැඩිය හිතන්නෙ නැහැ. ලැබෙන දේවල් සතුටින් භාර ගෙන යම් දෙයක් නොලැබුණා කියලා ගොඩක් දුක් වෙන්නෙත් නැහැ. මධ්‍යම ප්‍රතිපදාවේ ජීවිතේ ගෙනියනවා.

 

පියුමි ආදරේ ගැන හිතන්නෙ කොහොමද?

ආදරේ කියන දේට මම ගොඩක් ලෝභයි. මගේ වැරැද්දක් තමයි මම ආදරේ කරනවාට වඩා ආදරයක් එයාගෙන් බලාපොරොත්තු වෙන එක. ඒක මම දන්නවා වැරැදියි කියලා. මොකද ආදරේ කියන දේ දීලා ආපස්සට ලබාගන්න බලාපොරොත්තු වෙන්න ඕනේ දෙයක් නෙවෙයි. නමුත් මගේ ගැන අවධානයෙන් ඉන්න ඕනේ. මාව ආදරෙන් බලාගන්න ඕනේ. මම දෙන ආදරේ දෙකයි නම් එයාගෙන් මට තුනක් ලැබෙන්න ඕනේ. මම දෙන ආදරේට වඩා ආදරයක් මට දෙන්න ඕනේ.

 

මේ වෙද්දි ආදර වන්තියක්ද?

ආදරේ නිසා මම ගොඩක් බැටකාපු කෙනෙක්. ඒ නිසා ආදරේ ට මම ගොඩක් බයයි. ආදරය හොයන ගමන් ඉන්නවා කියන්නත් බෑ. ඒක මම පස්සෙ කියන්නම්.

 

මොන වගේ කෙනෙක් ද හොයන්නෙ?

මම හොයන්නෙ කලින් කිව්වා වගේ මම දෙන ආදරේට වඩා මට ආදරේ කරන මාව වටින මා ගැන ආඩම්බර වෙන, මාව එයාගෙ මුළු ලෝකය කර ගත්ත කෙනෙක් තමයි මම බලාපොරොත්තු වෙන්නේ.

 

ජීවිතේ මෙතෙක් ආ මඟ ගැන තෘප්තිමත්ද?

ජීවිතේ ආව මඟ ගැන මම තෘප්තිමත්. මොකද මම ආපස්සට හැරිලා මගේ ජීවිතේ දිහා බලද්දී මමම ද මේ මෙච්චර දුරක් ආවේ කියලා මටම පුදුමයි. දෙවියන්ට, නොපෙනෙන බලවේගවලට සොබාදහමට මගේ අම්මා තාත්තාට මගේ ගුරුවරුන්ට ස්තූති වෙනවා මාව මේ තැනට ඔසවා තැබුවට. ඒ එක්කම මම මට ම ස්තූතිවන්ත වෙනවා මාව ධෛර්යයමත්ව මෙතෙක් දුරක් ගෙනාවට.

 

වරමක් ලැබුණොත් අහිමි වුණු දෙයක් නැවත ඉල්ලන්න, මොනවාද ඉල්ලන්නෙ?

මට වරම දෙන කෙනාගෙන් මම මුලින්ම අහන්නෙ මගේ මල්ලි මේ වෙද්දි හොඳ තැනක ඉපදිලා ඉන්නවද?. හිටියට වඩා හොඳට ඉන්නවද? නැත්නම් දුක් විඳින තැනක ඉපදිලා ද කියලා. එයා හොඳ තැනක ඉපදිලා නම් මම ඒ ගැන සතුටු වෙනවා. නමුත් එයා දුක් සහිත තැනක නම් ඉන්නෙ මම මගේ මල්ලිව ඉල්ලනවා. මල්ලි හොඳ තැනක නම් මම ඉල්ලන්නෙ මම ඇස් පියාගෙන ප්‍රාර්ථනා කරන දේ ලැබෙන්න පුළුවන් විදියට බලයක් ලැබෙන්න කියලා. එතකොට මට පුළුවන් සත්තුන්ට අසරණ මිනිසුන්ට හැමකෙනෙක්ටම උදව් කරන්න.

 

ප්‍රේක්ෂක ආදරේ දැනෙන්නෙ කොහොමද?

ඒ ආදරේ ගොඩක් වටිනවා. ඒ අය මගේ නිර්මාණ ආදරෙන් වැලඳ ගන්න නිසා තමා අද මම මෙතන ඉන්නෙ. ඒ නිසා ප්‍රේක්ෂකයන්ට මම ගොඩක් ස්තුතිවන්ත වෙනවා.

 

 

Comments