කවි කල්පනා | සිළුමිණ

කවි කල්පනා

ඉටු වූ ප්‍රාර්ථ­නාව

ඇ‍ඟේ ලේ කිරි පෙරා සෙනෙ­හ­සින් පොව­න්නට
යහ­නාවෙ තොටිල්ලේ නැළ­විල්ලෙ තිය­න්නට
පුංචි මල් ගවුම් පොඩි හැඩ දමා අන්දන්ට
සිහින මැව්වා දුවේ පැතුම් කන්දක් වෙන්ට

කිරි මවු­ව­රුන් ලෙස ළමැද ලේ කිරි දරා
සිල් සුවඳ කිරි සුවඳ මගේ සිත මත් කරා
වියළි මා ළමැද දෙස කඳුළු දෑසින් දරා
සිතින් මම ඇවිද යමි කිරි­ම­වුන් පිරි­වරා

දෙතන මගෙ හිස් නමුත් හද­වතේ කිරි­වැස්ස
ගලා­විත් මගෙ ළමැද තෙත් කළ වැහි බිස්ස
සන­සවා සිත මගේ කඳුළු හොරැ­හින් පිස්ස
දුවේ නුඹ වුණා මට සිනා සිරි පොද වැස්ස

කිරි­ම­වුන් ලෙස එදා යන්න අව­සර නැතිව
කවු­ළු­වෙන් නෙත් යොමා හොරෙන් ඒ දෙස බැලුව
දුවේ නුඹ මෙදා මට දස වස­ර­කට පසුව
සුර­ලි­යක් මෙන් පැමිණ තෙත් කළා මගෙ පපුව

පෙර දිනෙක මා වෙතට වප­රැ­සින් නෙත් හෙළුව
කිරි­ම­වුන් පෙරරේ අද මම ද ගරු­ස­රුව
මවු පදවි මට දුන්න දුවේ නුඹ පින් සරුව
පතිනි මවු දෙපා මුල නුඹ තබමි බැති­බ­රව

ජානකී අම­ර­සිංහ


ඇප­ක­රය

දස මාස­යක් තනි­යම
ඇප කරේ ජීවි­තය නිත­රම
මගෙ කුසේ වැඩෙන උඹ­ටම
තාත්තාගේ හයි­යත් අර­ගෙන
මගෙ පුතේ උඹට මත­කද...

එකතු කරලා රුපි­යල දෙක
මැටි කැටේ කඩලා තනි­යම
කොහොම ගන්නේ බඩු ටික
ඒවත් ගත්තා ණය­ටම
ඉස්සර උඹ පුංචි දව­ස්වල...

අත හිඟ වෙවී කාලෙක
මගෙ සැප උගස් කර­ගෙන
දව­සින් දවස ඔත­නට
උඹව එව්වා මත­කද
ඒ ණය උඹෙන් ගත්තද...

ඒ කාලෙ අපේ දෛවය
ළිප උඩ පත්තු කර­ගෙන
ගිනි අව් පොලේ කර­වෙලා
මේ හිත තාම තෙත් වග
මගෙ පුතේ උඹ දන්න­වද...

කප්ප­රක කඳුළු දුක් ගොඩ
ලේ වල ණයට දීගෙන
ඉල්ලුවේ උඹෙන් මම
මාස දහ­යක ඇප­කර
මගෙ පුතේ අම්මා වැර­දිද...


අතුල දිසා­නා­යක


මිරි­ඟුව

ඔබ ගැනම හිත හිතා
හීන­වල ඇවි­දලා
උගස් කළ යෞව­නය
‍නොදැනීම වියැ­කිලා

කාල­යට සින්න වූ
තුරුණු විය තටු සලා
පලා­ගිය මඟ බලමි
ජීවි­තය නැව­තිලා

ඔය හිනා ඔය කතා
මගේ සිත මත් කළා
නෙතු පියා නිදි­බ­රව
දැහැන් ගත වී බලා‍

හිරු සඳු තරු නිවා
කල්ප­යක් ගත වෙලා
මං තාම මිරි­ඟු­වක
දිය පොදක් සොය­නවා

නන්දි අලුත්ගේ රත්න­වීර


නුඹ පෙම

අව­න්හල කොන දෑස් යා කර‍
නුඹේ ඇස් තුළ මා නිදන් කොට
ධන­ව­තුන්ගේ මහා මන්දිර
පෙන්න පෙන්වා කතා එක් කළ

මගේ පන්තිය නුඹේ පන්තිය
නොවන බව නොහැ­ඟුණේ කිම මට
සිතින් එක් කළ සිනා සඳ රැස්
නොනැ­ඟුණේ කිම පුදු­ම­යක් එය!

රිදී මන්දිර ගොඩ­න­ඟ­න්නට
ඈත සිති­ජය වර්ණ­වත් කළ
එවන් වුන් තර­ණය කර­න්නට
පාළු සොහො­නක් කළා නුඹ පෙම

ඉරේෂා දුලාං­ජලී


මගෙ අහ­සට කවු­රුත් ඒවිඳ

පාළු හිත ළඟ මැවෙන සිහි­නය
සිගි­රිය ළඳකි ළඳු­නගෙ හැඬ­රුව ඇන්දම
ඒත් ඉතින් මගෙ අහ­සට කවු­රුන් ඒවිද
කියන්න සකි­සඳ කළු­වර ඇයි අහ­සම...

කැට­පත් පවු­ර­ටම වෙලා සිටි­යත් ඉඳ­ගෙන
මා බලන්න ආ කුම­රුන් දැක්කේ නැද්ද මම
මා ලියූ කවි කිය­ව­න­වද මා බලන්න පෙර
එත් ඉතින් මගෙ අහ­සට කවු­රුන් ඒවිද..

ගල් පඩිය ළඟට වෙලා නෙළු­මක් වී සිත
සිත පාගා යන කුම­රුන් දුටුවේ නැද්ද හැඩ­රුව
නෙතු කැම­රා­වට හසු නොවු­ණත් මා පෙම්බර
ඒත් ඉතින් මගෙ අහ­සට කවු­රුත් ඒවිඳ

මංජුල සෙනෙ­වි­රත්න


දැන්වත් නිමා කරමු

ට්‍රැක්ටර් ඇවිත් වෙල මැද්දේ හාන­කොට
කොළ­පත කොහෙද බැඳි බත් මුල ඒ රසට
පොලි­තින් කඩ­දාසි සිව් අත සරණ විට
කෙහෙල් කොළේ අඬ­නව පිළි­කන්නෙ සිට

පොලි­තින් කොළේ උණු උණු බත දමා ගෙන
පොලි­තින් බෝතලේ වතු­රත් පු‍රෝගන
පිළිකා මල්ල හංගා­ගෙන අරන් එන
දෙවි­යනි මගේ ගොවි පුතු රැක­දෙන් ‍තෙදින

අයි­රින් පති­රණ


සිහි­න­යයි ආද­රය

හිත­න්නට යමක් දුන්
සොඳු­රු­තම සිහි­න­යයි
ආද­රය
පුද­න්නට මිස ලබ­න්නට
නොසි­තිය යුතුයි ආද­රය
සිහි­නෙන් ගෑ මල් සුව­ඳක් මෙන්
වෙළා­ගත් කල හද­ව­තින්
නුහුරු නුපු­රුදු හැඟුම් අත­රින්
සොයා යන්නයි හිත නිර­න්ත­රෙන්
හිමි­වීම මෙන් අහි­මි­වී­මෙන්
ලියා නිම නැති කවි­යක් ම
සෙව­ණැ­ල්ලක් ම ළඟම රැදෙ­මින්
කියා දෙයි ඉර­ණම ජීවි­තයේ


සඳ­රු­වන් කරු­ණා­ති­ලක


කිවි­ඳිය

විවාහ වී වස­රක් ගත ­විය
එදා
මගෙ කවිය පුරා
ඇවිද ඇවිද
එයා හිටියෙ
හිනා ­වෙවී...

අද
මගෙ කවියෙ
කොන­කට හේත්තු­වෙලා
එයා ඉන්නවා‍
විලි­ස්ස­ගෙන...

තක්ෂිලා ස්වර්ණ­මාලී


කුණු කන්ද දුක් කන්ද

නග­රයේ තැනින් තැන
ගොඩ ගැසුණ කුණු
මහා කන්දක් වුණේ
බලා සිටි­යදී අප..

ටින් කබල් ප්ලාස්ටික්
ගඳ ගසන අප­ද්‍රව්‍ය
එකතු වී කුණු කන්ද
මහා කන්දක් වුණේ...

(කුණු කන්ද පෙන්ව­මින්
පෙන්ව­මින් ලෝක­යක්
සුදු පැහැ හැඳි උතු­මන්
ලොකු ගම­නක් ගියේ)

දරා ගන්නට බැරිව
මහ­පො­ළොව
බිම හෙළද්දී කුණු කන්ද
ජීවිත ද යට කරන්...

පුංචි මිනි­සුන් වු පවින්
බලා­සි­ටි­න්නෙමි අදත්
කඩා වැටුණ කුනු කන්ද දෙස...

සුජීව ඉලං­ග­කෝන්


ඉතිං නුඹ යන්නම ගියා

හිත් අහස කැල­ඹුණා
මල් මතක ඇහැ­රුණා
කවි වුණත් මැල­වුණා
අකුරු එකි­නෙක ගැල­වුණා...

පෙමක් මහ­මෙර සේ වුණා
දියත් විත් දිය ඇලි වුණා
වැස්ස ටික ටික වැඩි වුණා
මහ­මෙ­රත් අද හෙල වුණා..

හැඟුම් දහ­සක් පිබිදුණා
වචන නෑ දිව ගොළු වුණා
ඇඟිලි පැට­ලුම් ගැල­වුණා
ජීවි­තය යළි පැට­ලුණා


මලිඳු කාවින්ද කුමා­ර­සිංහ
 


ඇහෙ­න­වාද

නාය ගිය කඳු පාමුල
සිහින් ජල රේඛා­වක්
තව­මත් ගලා යන හඬ..

මැයි ගස අහිමි වුව
තව­මත් කුරු­ල්ලන් ගී ගයන හඬ..

තේ දළු සුවඳ පිස
හමා ගිය මද පවන
තව­මත් සුවඳ දී හමා යන හඩ...

අපට ‍ෙළන්ගතු වු
කන්ද පාමුල ගල්ත­ලාව
තව­මත් අපේ කතා මුමුනන හඬ..

හිතෙ­න­වද
ඒ හඬ නැවත අස­න්නට ...ඔබට

කුසුමා වර්ණ­සූ­රිය


ඇය

සුව­ඳැති මලකි
ඉමි­හිරි සුවඳ කාම­රය පුරාම
ඉඩ නොදෙන්නේ ද මට
විඳ­ග­න්නට එහි අපූ­ර්ව­ත්වය
මන බඳී, විහි­දා­ලයි සුවඳ දස අත
මුළු භූමිය පුරා­ව­ටම
අකැ­මැ­ත්තක් නොඅ­ඟ­වන
යම් දෙයක පිය­කරු සේයා­වක් දිස් වේ
ඒ මන­රම් සුපුෂ්ප­යකි
මා වෙනු­වෙන් ම පිපි, සුවඳ දෙන එය
ඉදි­රි­යට පහත් වී පිළි­ග­නිමි, ගරු කරමි
ඒ ප්‍රභා­වට හා සුව­ඳට
එහි දිස්නය, සුවඳ සුපො­හො­සත්ය,
සෙනෙ‍හෙ­බ­රය
එසේ සියලු ක්‍රියා­කා­ර­කම්
වසඟ කර­න්නට දම­නය කර­න්නට‍
නතු කර­න්නට මා
කන­ගාටු නොවන්න, ඒ ඇය‍
ඔබ සතු පුෂ්ප­යක් නොව‍
මගේ ම වූ
මටම වූ
පුෂ්ප­යයි ඇය

Casey Jarrell ගේ පැදි පෙළක පරි­ව­ර්ත­න­යකි

සමන් හෙරත්


වඩු­කු­රුලු ගීතය

එල්ල­ගෙන මගේ ගෙදර
ලස්ස­නට ඔබේ ගෙදර..

වඩු කරුල්ලා යැයි
මට කියන්නේ ඇයි
කූඩු තැනු­මට ගෙයි
ගේ කුරුල්ලා එයි..

අමුතු හැඩ­යට මා
කූඩූ තැනුවේ ඇයි
ඇසිය යුත්තේ ඔබ
සර්ප­ය­න්ගෙන්මැ යි..

සුමින්ද කිත්සිරි ගුණ­රත්න


නාය ගිය ජීවිත...

වෙසක් සඳ
නිවී යද්දී
පොසොන් සඳ­ටත්
‍කලින්...

අනෝරා වැසි‍
බිමට ඇද දමා
අස­රණ අපට
ඇයි මෙලෙස
සර­දම් කළේ...

ගස්... ගල්
වැලි... මැටි... බොරලු
උලා කෑවේ
අප නොවෙයි
පරි­ස­රය උලා කෑ
අම­න­යන්

සුර­සැප විඳී
ඒසී මැඳු­රු­වල
උන් කරපු
පව්ව­ලට
වැළ­ලුණේ
අප නොවෙද?

විය­රු­වෙන්
ඇද වැටුණ
මහ කන්ද...

සැණෙ­කින්
සම­තලා කළ හැටි
අහිං­සක අපේ
දුක පිරුණු ජීවිත...

ගලා යන
බොර ම බොර
මඩ වතු­රට මුහු වෙලා
අපේ උණු කඳුළු කැට...


රත්න­සිරි පති­රණ


ආද­ර­යට එක දව­සක්

සඳ මන­රම් ගෙතූ කවි­කම්
තාල කිය­න්නට
අද වෙන­කම් මඟ බැලුවේ
ආල කර­න්නට..

රන් රස සේ එක් වීලා
සිහින මව­න්නට
එන­වද ලව් කෝච්චියේ
නුවර දුව­න්නට..

ඉල්ලා­ගෙන අම්මාගේ
තෝඩු අරු­ංගල්
එල්ලා­ගෙන එන්නම් මං
පාට සරුං­ගල්...

එක හීනෙන් එළි­වෙ­න්නට
රැයක් නොදී­යන්
වෙනදා මෙන් නොවේ හිතට
බියක් දැනේ දැන්..

බැලුවේ උඩ එක­පා­රයි
අනේ සඳේ මං
කළු­වර වී නිල් දෑසේ
මැකී සිනා කැන්

ධම්මි අනු­ර­පුර


මිහි­ඳු­කුල

හෙළ සින­මාවේ ඉති­හාසේ‍
කැටි කොට ඔබ ලියු පිටු අතරේ
සුනිල් මිහි­ඳු­කුල ජීවත් වේ
හෙට දව‍සෙත් මට ඔබ හමුවේ

දෙන­ගම සිරි­ව­ර්ධන


එතෙර කවිය

සාපය

ඔබේ දෙනෙත
සිහි වන විට,
කඳුළු පිරෙයි
මා දෙනෙ­තට
කණා­මැ­දිරි හිමි­දි­රි­යට
සරති ඔබේ වර­ලස වට...

දවස් ගෙවෙයි ඔය විදි­හට
රැයත් ගෙවෙයි ඔය විදි­හට
එහෙත් කිසිම කිසි විල­සට
මගෙ ඔද­තෙද බල­කො­ටු­වට
නපු­රක් වී නැත එහෙ­මට...

මගේ කවුළු දොර කිසි විට
ඇද වැටුණේ නැත පහ­ළට
මෙය වෙන්නැති සම­හ­ර­විට
නපු­රුම සාපය මිහි­පිට
පව්කම් උප­තින් ලැබු­ණට
නොහැ­කිය මට පව් කර­නට.

(සම­කා­ලීන මරාති කවි­යකු වන වින්දා කර­න්දි­කාර් විසින් රචිත කාව්‍ය නිර්මා­ණ­යක් ඇසු­රෙනි)

වින්දා කර­න්දි­කාර්

මරාති සාහි­ත්‍යයේ ප්‍රමුඛ පෙළේ කවි­යකු වූ ගෝවින්ද් වින­යාක් කර­න්දි­කාර් වඩාත් ප්‍රක­ටව සිටියේ වින්දා කර­න්දි­කාර් යන නමිනි. වර්ෂ 1918 දී මහා­රා­ෂ්ට්‍රයේ කොන්කාන් වෙරළ අස­බඩ කුඩා ගම්මා­න­යක උපත ලැබූ ඔහු කොල්හා­පූර් ප්‍රාන්තයේ පාසල් සහ උසස් අධ්‍යා­පන ආය­තන වෙතින් අධ්‍යා­ප­නය ලබා බොම්බේ විශ්ව­වි­ද්‍යා­ල­යෙන් පශ්චාත් උපා­ධි­යක්ද ලබා­ගත්තේ ය. ඉන්ප­සුව ඉංග්‍රීසි සාහි­ත්‍යය පිළි­බඳ මහා­චා­ර්ය­ව­ර­යකු ලෙස කට­යුතු කළ ඔහු ෆුල්බ්‍ර­යිට් සම්මා­න­ය­කින් පිදුම් ලබා ඇමෙ­රිකා එක්සත් රාජ්‍ය­යට ගියේය. එහිදී වසර දෙකක් චිකාගෝ විශ්ව­වි­ද්‍යා­ලයේ කාලය ගත කළ ඔහු මරාති බසින් ලියූ සිය කාව්‍ය නිර්මාණ රැසක් ඉංග්‍රීසි බසට පරි­ව­ර්ත­නය කෙළේය. ඉංග්‍රීසි බසින් පළව තිබූ සම්භාව්‍ය කෘති ගණ­නා­වක් මරාති බස­ටද පරි­ව­ර්ත­නය කළ ඔහු සාහිත්‍ය විචා­ර­ක­යකු ලෙසද කට­යුතු කෙළේය.



  

Comments