
එයාලට මම පිටස්තර කෙනෙක් රොෂාන් තමයි එයාලගේ පුතා
දැන් අපිට රණ්ඩු කරන්නවත් වෙලාවක් නැහැ
එයා මට ආදරෙයි කියන්න කලින් විවාහ වෙන්න කැමතියි කියලා තමයි කිව්වේ
අපේ ජීවිත අසම්පූර්ණ කර ගන්නේ ඇයි කියලා හිතලා තමයි රංගනය පැත්තකින් තිබ්බේ
මම ගෙදර අයට කිව්වා මම මැරෙනවා එයා නැත්තම් කියලා
ධර්මසේන පතිරාජයන් පුංචි තිරයට ගෙන ආ කම්පිත විල නිර්මාණයේ ප්‍රධාන චරිතයකට පණ දුන් රොෂාන් පිලපිටියගේ විශිෂ්ට රංගනය නිසා සම්මානයෙන් පිදුම් ලැබීමට පවා ඔහු එදා වාසනාවන්ත වුණා. එදත් අදත් පුංචි තිරයෙන් නිතර දෙවේලේ දැකගන්න ලැබෙන චරිතයක් බවට පත් වෙලා ඉන්න ඔහු මොන රූපවාහිනී නාළිකාව දැම්මත් දැකගන්න පුළුවන්. එදා වගේම අදත් ඔහු ලබන ප්‍රතිචාර ද එක වගෙයි. එනිසා ඔහුගේ ලස්සන කැදැල්ලේ තොරතුරු මේ විදිහට රසඳුනට ගෙන එන්න හිතුවා. මේ කතාබහ රොෂාන් හා ඔහුගේ ප්‍රිය බිරිය රිද්මා ගැනයි.
රොෂාන් පිලපිටිය කියන රංගන ශිල්පියාව කුමන නාළිකාව දැම්මත් දැකගන්න ලැබෙන තරම් ඔබ වාසනාවන්ත වෙලා..?
මාණික්කාවත නාට්‍ය හා බොනිකර තරු නාට්‍ය දෙකම අවසන් වුණා. දැන් පාර දිගේ, නීල පබළු හා රේස් කියන නාට්‍ය තුනෙන් මාව දැකගන්න පුළුවන්. අලුත් නාට්‍ය කිහිපයකට ආරාධනා ලැබිලා තියෙනවා. ඒවාටත් සම්බන්ධ වෙන්න ඕන. මොන චැනල් එක දැම්මත් මම ඉන්න නාට්‍ය යනවා. ඒ ගැන සතුටුයි. ලැබෙන වැඩ කරන්න තමයි උත්සාහ කරන්නේ. ඒ නිසා දකින්න ලැබෙනවා.
කාලයක් පුංචි තිරයේ අහිංසක පෙම්වතා වූ ඔබ දැන් වැඩිපුර දකින්නේ පියාගේ චරිතයෙන් ..?
මට නම් එහෙම කොටු වීමක් දැනෙන්නේ නැහැ. මම දෙවැනියට රඟපෑ නාට්‍ය කළේ ධර්මසේන පතිරාජ මහත්මයා. ‘කම්පිත විල‘ ඒ නාට්‍යයේ අවුරුදු 18 ඉඳලා අවුරුදු 80 දක්වා වයස් කාලයේ චරිතයක් රඟපෑවේ. ඊට පස්සෙත් විවිධ චරිත රඟපෑවා. මම රඟපාන හැම නාට්‍යයකටම හොඳ ප්‍රතිචාර ලැබෙනවා .
පුංචි තිරයට ඇවිත් යන නළු නිළියන් බොහෝ දෙනෙක් හිටියත් ඔබට රැදෙන්න අවස්ථාව ලැබිලා තියෙනවා ..?
සමහර ප්‍රවීණ නළු නිළියෝ ඉන්නවා දින දීගන්න බැරුව කාර්යබහුල වෙන. ඒ තරම් මට චරිත නොලැබුණත් එක දිගට වැඩ කරගෙන යන්න අවස්ථාව ලැබිලා තියෙනවා. මම චරිතවලට කරන සාධාරණය හේතුවක් වෙන්න ඇති මට ආරාධනා ලැබෙන්න
ඔබේ රංගනයට ඔබ අය කරන මිල අධිකද..?
එහෙම කියන්න බැහැ. මම සාධාරණ මිලක් අය කරනවා. ඒ හම්බ කරන මුදල්වලින් තමයි මම කාලා බීලා ජීවිතේ මේ විදිහට ගෙවන්නේ. අසාධාරණ මුදලක් ලැබෙන්නේ කියලා කම්පා වෙවී ඉඳලා වැඩක් නැහැ. අනිත් එක ලැබෙන රුපියල හරි හරියට කළමනාකරණය කරගෙන ජීවත් වෙන්න ඕන. එහෙම නැත්තම් සමහර කලාකරුවෝ වගේ වයසට ගියත් ඉන්න තැනක් නැහැ, ඉතුරුවක් කර ගත්තේ නැහැ, කියලා දුක් වෙන්න වෙයි. ලැබෙන මුදල් කොහොම හරි කළමනාකරණය කර ගන්නවා. ඒ වගේම අපි නළුවෝ කියලා ජීවත් වෙන්නේ නැහැ. පොළොවේ පය ගහලා ජීවත් වෙනවා. ඒ නිසා ජීවිතේ බැලන්ස් වෙලා තියෙනවා
කොහොමද රාහුල් පුතා එක්ක ගෙවන ජීවිතේ, දරුවෙක් කියන්නේ වගකීමක් ..?
රාහුල් පුතා මම ගෙදර ඉන්නවා නම් මාත් එක්ක නිතරම ගැවසෙනවා. ලැබෙන පොඩි විවේකය හරි අපි තුන් දෙනා එකට කාලය ගත කරන්න තමයි උත්සාහ කරන්නේ. දරුවෝ කියන්නේ වගකීමක් තමයි. එයාව පරිස්සමින් හදනවා. එයත් එක්ක ගෙවන ජීවිතේ හරි සුන්දරයි . ජීවත් වෙනවා කියලා දැනෙනවා.
යුරෝපා රටකට පදිංචි වෙන්න අවස්ථාව ලැබිලත් එය මඟ හැරපු චරිතයක් ඔබ, නළුකම අත අරින්න බැරි නිසාද ඒ වාසනාව අත හැරියේ..?
අපේ ජීවිතේ මේ රටට මුල් ඇදලා ඉවරයි. දන්න රස්සාව කරගෙන මේ ජීවත් වෙන විදිහ හොඳටම ඇති කියලා හිතුණා. ඒ නිසා ග්‍රීන් කාඩ් චාන්ස් එක අත හැරියා. දැන් තීරණය කරලා අවසන් මැරෙනතුරු ජීවත් වෙන්නේ ලංකාවේ කියලා. නළුකමට වඩා හුරු වෙච්ච ජීවිතේ අත අරින්න බැරි කමට නොයන්නේ කිව්වොත් හරි.
බිරිය රිද්මා දොස් කිව්වේ නැද්ද,
කොහෙත්ම නැහැ එයත් දන්නවා මට පුළුවන් දේ රඟපෑම. ඒ නිසා නුහුරු ජීවිතයක් අස්සට රිංගනවට වඩා මෙහෙම හොඳයි කියලා.
අද ගත්ත තීරණය වැරදියි කියලා දවසක හිතුණොත්..?
දැනට එහෙම හිතිලා නැහැ. එහෙම පසුතැවීමක් ඇති වෙන එකක් නැහැ. මේ තියෙන අවුල තුළ වුණත් සතුටින් ඉන්නේ කොහොමද කියලා අපි දැන ගන්න ඕන .
අලුත් අවුරුද්දේ අලුත් ප්ලෑන් මොනවද..?
ලොකු ප්ලෑන් එකක් නැහැ. පළවෙනිදට කිරි උතුරන්නේ කොහොමද කියලා හිතන මිනිස්සු ඉන්න රටක ජීවත් වෙන්නේ. මේ අසරණකම සියලු හිත්වලින් දුරස් වෙලා ජීවත් වෙන්න පුළුවන් වසරක් වේවා! කියලා ප්‍රාර්ථනා කරනවා. කොහොම හරි ආර්ථික අවපාතයෙන් ගොඩ එන්න ලැබුණොත් ඇති. මගේ ආදරණීය රසිකයින්ට සුබ නව වසරක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
රිද්මා කියන්නේ ඔබට වඩා අවුරුදු 20ක් බාල බිරිඳක් , ඇය වගකිම් ඉටු කරන බිරිඳක් ද..?
අනිවාර්යයෙන්ම ඔව්. මගේ නාට්‍ය ශෙඩියුල් එක පවා මට මතක් කරන්නේ ඇය. සූටිං යද්දි පාන්දර නැගිටලා හැමදේම ලෑස්ති කරලා දරුවගේ වැඩත් බලලා ගෙදර වැඩත් බලන බිරිඳ ක්. ගෙදර මල්, එළවළු පලතුරු හදනවා. ගෙදර ලස්සන කරන්නේ ඇය තමයි .
රොෂාන් කියන කතාව ඇත්ත ද රිද්මා..?
රොෂාන්ගේ කතාබහෙන් අනතුරුව ඒ ප්‍රශ්න යොමු කරමින් අපේ කතාබහ ට රිද්මා පිලපිටිය ව එකතු කර ගත්තා..?
රොෂාන්ට නිදහස දීලා තියෙන්නේ නිදහසේ රංගන කටයුතු කරන්න කියලා. එයාට ගෙදර වැඩ හෝ කිසිම ප්‍රශ්නයක් කියන්නේ නැහැ හැමදේම මම බලා ගන්නවා. ගෙදර වගකීම. එයා කාර්යබහුල කෙනෙක්. එයාගේ රැකියාව රංගනය. ඉතිං ඒක නිදහසේ කරන්න ඕන දෙයක් නේ. මම හිතන්නේ එයා තනිකඩ කාලේ හිටියටත් වඩා නිදහසින් දැන් ජීවත් වෙනවා.
රිද්මා දැන් රඟපාන එක අත ඇරලද..?
රොෂාන් එක්ක විවාහ වුණාට පස්සේ රොෂාන් නිසා ගොඩක් ආරාධනා ලැබිලා තියෙනවා. රොෂාන්ගෙනුත් අහලා තියෙනවා මාව රඟපාන්න යවන්න කියලා එයා අඳුරන අධ්යක්ෂවරු. නමුත් මම හිතන්නේ දෙන්නම කාර්යබහුල වෙන්න ඕන නැහැ කියලා. එහෙම වුණොත් පවුල ඇතුළේ ප්‍රශ්න මතු වෙන්න පුළුවන්. අපේ ජීවිත අසම්පූර්ණ කර ගන්නේ ඇයි කියලා හිතලා තමයි රංගනය පැත්තකින් තිබ්බේ. අනිත් එක අපේ පුතා රාහුල් පෘතුවි පිලපිටිය එයාගේ වයස අවුරුදු තුනයි. එයාට අම්මව මිස් වෙන්න ඉඩ දෙන්න හොඳ නැහැ. මේ ඉන්න විදිහ හොඳයි.
එහෙම නැත්තම් රොෂාන් තහනම් තහංචි දාලද..?
කොහොමත්ම නැහැ. එයා එහෙම හිර කරලා ජීවත් වෙන්න ඉඩ දෙන කෙනෙක් නෙමෙයි. එයා කැමතියි. මම කැමති නැහැ. මම අකමැති වෙන්න හේතුව පවුල මඟඇරෙයි කියන බයට තමයි.
කොහොමද රාහුල් වැඩිපුර එකතු ඔබටද එහෙම නැත්තම් රොෂාන්ටද..?
අපි දෙන්නා ඉන්නේ යාළුවෝ වගේ. සෙල්ලම් කරනවා. නිතරම කතාබහ කරනවා. වැඩි වෙලාවක් අපි දෙන්නා එකට ඉන්නවා. ඒ වුණාට තාත්තා ආව ගමන් එයාගේ ආදරේ අස්සට තමයි දුවන්නේ. සමහර දවස්වලට රොෂාන් එනකල් රෑට ඇහැරිලා බලාගෙන ඉන්නවා. ඒ නිසා එක්කෙනෙක්ට කියන්න බැහැ. දෙන්නටම ආදරේයි. එකතුයි.
බොහෝ නළු නිළියන්ගේ පවුල් ජීවීත අවුල් වෙලා තියෙනවා රඟපාන නාට්‍යයේ නළු නිළියන් එක්ක සම්බන්ධතා පවත්වාගෙන ඒවා විවාහය දක්වා දුර දිග ගිය නිසා, ඔබට බයක් හිතිලා නැද්ද රොෂාන්ගෙනුත් එහෙම වරදක් වෙයි කියලා ..?
එහෙම මට කවදාවත් හිතිලා නැහැ. මොකද මම විතරක් නෙමෙයි සෙට් එකේ ඉන්න හැමෝමත් දන්නවා රොෂාන්ට ඕන සෙට් එකට ගිය ගමන්ම වැඩේ කරලා ඉවර කරලා එතනින් ඉක්මනින් ඉවත් වෙන්න කියලා. පොඩි විවෙකයකදි වුණත් එයා ඕප දූප කතා කරගෙන ඉන්නේ නැහැ. ගෙදර දුවගෙන එන්න තමයි බලන්නේ. එයා ඉන්න ක්‍රමය වෙනස් නිසා එයා ඒ වගේ වරදක් කරයි කියලා හිතන්නේ නැහැ.
පුංචි තිරයේ දකින අහිංසක ගතිගුණ ද ඔහුගේ සෑබෑ ජීවීතයෙත් දකින්න ලැබෙන්නේ..?
එයා කෑකෝ ගහන රණ්ඩු කරන හස්බන්ඩ් කෙනෙක් නෙමෙයි. ගෙදර හිටියත් එයාගේ වැඩක් කරගෙන පාඩුවේ ඉන්නවා. ටීවී එකේ දකිනවා වගේ අහිංසකයි. එයාට වෙලාවට වැඩ කරන්න ඕන. කොහේ හරි යනවා නම් අදාළ තැනට පැය භාගයකට කලින් හරි යන්න ඕන. මුල් කාලේ මම ඒක දන්නේ නැහැ. මම ලෑස්ති වෙන්න පරක්කු වෙනවා. පස්සේ මම ඒකට පුරුදු වුණා.
විවාහ වුණු අලුත ඔහුගේ ආදරේ දැනුණු අවස්ථා ගැන ඔබ නිතරම සමාජ මාධ්‍යයේ හුවමාරු කරගත්තා, ?
එයාගේ ආදරේ නම් අඩු වෙලා නැහැ. පුතා ලැබුණට පස්සේ ඒ ආදරේ වැඩි වෙලා. පුතාගේ අම්මා මම නිසා ගරු කරනවා. දැන් අපිට රණ්ඩු කරන්නවත් වෙලාවක් නැහැ. ඉස්සර වගේම ආදරේන් ඉන්නවා. රොෂාන් ගේ අම්මව මතක් කරන්න ඕන, අම්මාත් රොෂාන් වගේම මට ආදරේයි. ඇගේ ආදරේ දැන් මඟ ඇරිලා ජීවතුන් අතර ඉන්නකල් මට සැලකුවේ දුවෙකුට වගේ. මම හිතන්නේ ඒ වගේ නැන්දම්මා කෙනෙක් ලබන්න පිං කරන්න ඕන.
රොෂාන් වගේ අතිශය ජනප්‍රිය තරුවක් ඔබෙන් ආදරේ ඉල්ලද්දී විවාහ වෙන්න යෝජනා කරද්දී බයක් හිතුණේ නැද්ද , ඔබ දෙදෙනාගේ හමුවීමත් අහම්බයක් නේද ..?
මම උසස් පෙළ අවසන් කරලා අවුරුද්දක් දෙකක් ඇති, රොෂාන් ව මුණ ගැහෙද්දි. එයා අපි අඳුරන කෙනෙක් එක්ක අපේ ගෙදර ඇවිත් රොෂාන් වාහනේට වෙලා හිටියා. ඒ මොහොතේ තමයි එයා මාව දැකලා තියෙන්නේ. එතකොට මගේ කොණ්ඩය හරි දිගයි. මේකප් නැති සරල පෙනුමක් තිබ්බ නිසා ඔහුට ඒ මොහොතේ හිත ගිහිං. අපේ ගෙදර ආව අයියාගෙන් අහලා මම කවුද කියලා. ඊට පස්සේ තමයි රොෂාන් මගේ නම අහගෙන ෆේස්බුක් රික්වෙස්ට් එකක් එවලා මැසෙජ් කළේ. මම මුලින්ම කතාබහ කළේ නැහැ මැසේජ් කරේ නැහැ. එයාව හරියට දන්නේ නැති නිසා, සමාජයේ මතයනේ නළු නිළියන්ගේ චරිත එතරම් හොඳ නැහැ කියන එක. ඒ කාලේ මාත් හිටියේ එහෙම වෙන්න ඇති කියලා . මාස කිහිපයක් ගියාම හිතුණා මොකටද මම එච්චර හිතන්නේ කියලා මාත් රිප්ලයි කළා. ඊට පස්සේ අපි කතාබහ කළා. එයා මට ආදරෙයි කියන්න කලින් විවාහ වෙන්න කැමතියි කියලා තමයි කිව්වේ. මම කිව්වා ගෙදරින් අහන්න කියලා. ඊට කලින් මගේ කැමැත්ත දෙන්න කිව්වා.. කෝල් කරද්දී දවසකට දෙතුන් වතාව අහනවා අදවත් මට උත්තරයක් දෙන්න කියලා නමුත් ටික කාලයක් ගත්තා එයාගේ ගතිගුණ තේරුම් ගන්න. කෝල් කරද්දී මම වැඩිය කතාකරන්නේ නැහැ එයාට කතා කරන්න ඉඩ දුන්නා. අඩු තරමින් එයා මට යෝජනා කරලා නැහැ පාක් එකකටවත් ගිහිං නිදහසේ කතා කරමු කියලා. ඒ හේතු නිසා කැමති වුණා. මුණ ගැහෙන්න ගෙදරින් අවසර නැති නිසා ඉක්මනින් විවාහ වෙන එක තමයි හොඳ කියලා එයා හිතුවා.. ඊට පස්සේ ඉතිං විවාහ වුණා. අවුරුදු 23යි මට විවාහ වෙනකොට.
ගෙදරින් විරුද්ධ වුණා කියලා ආරංචියි ..?
අපේ ගෙදර අය අර සමාජ සම්මතයේ හිටපු අය. එයාලා බය වුණා. මම දික්කසාද වෙයි. මාව අත අරියි. කියලා ඒ නිසා තමයි එපා කිව්වේ. නමුත් මම එක තීරණයක හිටියා බඳින්නේ රොෂාන් ව කියලා. මම ගෙදර අයට කිව්වා මම මැරෙනවා එයා නැත්තම් කියලා. ඒ වගේම එයා හැර වෙන කෙනෙක් බඳින්නේ නැහැ කිව්වා. ඒ නිසා අවසර දුන්නා ඕනම නම් කර ගන්න කියලා. දැන් එයාලට මම පිටස්තර කෙනෙක්. රොෂාන් තමයි එයාලගේ පුතා. ඒ තරම් ආදරේයි.
බොහෝ ජනප්‍රිය තරු විවාහ වුණු අය කියන කතාවක් තමයි යාළු වෙන්න අහනකොට ඔවුන් ජනප්‍රිය තරුවක් කියලා දැනගෙන හිටියේ නැහැ කියලා, ඔබත් එහෙම ද..?
නැහැ. රොෂාන් පිලපිටිය කිව්වම ඒ කාලෙත් කවුද නොදන්නේ. මම දන්නවා එයා ජනප්‍රිය නළුවෙක් කියලා. නමුත් නාට්‍ය වැඩිය බලලා තිබ්බේ නැහැ. අධ්‍යාපන කටයුතු එක්ක හිටපු නිසා. එයා එක්ක යාළු වුණාට පස්සේ නාට්‍ය හොය හොයා බැලුවා.
දැන් මොකද හිතෙන්නේ කියලා කතාව අවසන් කරන්න කලින් කියමු..?
වෙන කෙනෙක් එක්ක ගෙදර ට ඇවිත් වාහනේට වෙලා ඉද්දි මාව අහම්බෙන් දැකලා ආදරේ හිතෙන්න ඇත්තේ පතාගෙන ආපු කෙනා මම නිසා වෙන්න ඇති. ඉතිං එහෙම හරි හොඳම තෝරා ගැනිම මම කරලා තියෙනවා. රොෂාන් වගේම මමත් පොළොවේ පය ගහලා ජීවත් වෙන දෙන්නෙක්. අපේ ජීවිත හරි සරලයි. සතුටින් ජීවත් වෙන්න එයා දන්නවා. ගෙදර ගැන හිතන කෙනෙක් ජනප්‍රියයි කියලා පවුල මඟ අරින කෙනෙක් නෙමෙයි. එහෙම කෙනෙක් ලැබීම වාසනාවක් හා සතුටක් කියලා තමයි කියන්න තියෙන්නේ.