
ඉසුරු අයියා ඉස්සර වගේමයි. එයාගේ ගති ගුණත් එහෙමයි. මම අපේ අම්මාටත් කෝල් කරලා කිව්වා ඉසුරු අයියා ලංකාවට ආවා කියලා. කොහොම හරි පැයකට විතර පස්සේ තමයි ඉසුරු අයියා ඇහැරුණේ. ඉසුරු අයියා බත්කාලා ඉවර වෙනවත් එක්කම අපේ අම්මා ආවා.
මගේ ලෝකයේ හැමදාමත් හිටිය කෙනා තමයි මගේ අම්මා. අවුරුදු විස්ස වෙනකම් මගෙ අම්මා මා ළඟම හිටියා. මම කවදාවත් මගේ තාත්තාව දැකලා නැහැ.
අම්මයි මමයි හිටියේ කොළඹට ඉතා ආසන්නව. අපේ ගේ හරිම පුංචි ගෙයක්. මම ඉස්කෝලේ ගියේ කාන්තා පාසලකට. අම්මා කොළඹ ඔෆිස් එකක රස්සාව කළා. මම දන්න දවසේ ඉදලාම අම්මා හිටියේ තනියම. අපිට කවදාවත් නෑයෝ ඉන්නවා කියලා මම අහලා නෑ. දැකලත් නැහැ අපේ ගෙදර කවුරුවත් එනවා. කොයි කවුරු නැති වුණත් මමයි අම්මයි හරිම සතුටින් හිටියා. අපේ ගෙදරට ඉස්සරහා ගෙදර චමරි ඇන්ටිගේ පුතා ඉසුරු මට වඩා ගොඩක් ලොකුයි. ඒ කාලේ වෙනකොට ඉසුරු අයියා ඉස්කෝලේ ගිහින් ඉවරයි. ඉසුරු අයියයි, එයාගේ අම්මයි, තාත්තායි විතරයි ඒ ගෙදර හිටියේ. ගොඩක් වෙලාවට මම ඉස්කෝලේ ගිහින් ඇවිල්ලා අම්මා එනතුරු චමරි ඇන්ටිගේ ගෙදර හිටියේ. ඉසුරු අයියා මට හරි ආදරෙයි. චමරි ඇන්ටිත් හොඳයි. අපෙ අම්මාට මං ගැන කවදාවත් බයක් වෙන්න දෙයක් තිබුණේ නැහැ. අවුරුදු දෙකකට පස්සේ ඉසුරු අයියා රට ගියා. එදා තමයි මට හුඟක් දුක හිතුණ දවස.
“ඔයා අපේ අම්මා එක්ක ඉන්න නංගි. වෙනදා වගේම හොඳින් ඉන්න. ඔයා හොඳට ඉගෙන ගන්න ඕන. අපි ආයෙත් හමුවෙමු කෝ.“ ඉසුරු අයියා රට යන දවසේ මට හාද්දක් දීලා එහෙම කිව්වා. චමරි ඇන්ටි නම් දවස් ගාණක්ම හිටියේ අඬාගත්ත ගමන්මයි. මගෙ අම්මත් චමරි ඇන්ටිගේ හිත හැදෙන්න හුඟක් දේ කිව්වා.
දවස දවස ගෙවිලා ගියා. මම ඉස්කෝලෙන් අයින් වෙනකම්ම ඉසුරු අයියා ලංකාවට ආවේ නැහැ. සමහර දවස් වලට ඉසුරු අයියා එයාගේ අම්මාට දුරකථනයෙන් කතා කරනවා. සමහර දවස් වලට චමරි ඇන්ටි ඇවිත් කියනවා ඔන්න පුතේ දැන් අයියා කතා කරයි කියලා. ඒ කිව්වා වගේම ඉසුරු අයියා මට කෝල් කරනවා. අපි කාලයක් යනකම්ම යාළුවෝ වගේ ආශ්‍රය කළා.
මම සාමාන්‍ය පෙළ විභාගය කරලා අවුරුදු දෙකකට පස්සේ තමයි ඉසුුරු අයියා ලංකාවට ආවේ.
එදා සදුදා දවසක්. අම්මත් උදේම වැඩට ගියා. ඒ දවස් වල මම ගෙදර වැඩ ටික කරලා ආයෙමත් නිදා ගන්නවා. වෙලාව උදේ දහයට විතර ඇති. මට ඇහුණා කවුද හයියෙන් චමරි ඇන්ටිගේ දොරට ගහනවා. එදා උදේම චමරි ඇන්ටි එයාගේ අම්මව බලන්න ගමේ යනවා කියලා කලින් දවසේ අම්මටයි මටයි කිව්වා.
චමරි ඇන්ටිව හමුවෙන්න එයාගේ නෑයෝ නිතර ආවා ගියා .මම හිතුවා ඒ කවුරුහරි එන්න ඇති කියලා. මෙන්න ටිකකින් අපේ දොරට ගහනවා. මම හෙමින් ගිහිල්ලා දොර යන්තම් ඇරලා බැලුවා. දෙයියනේ ඉසුරු අයියා. ඒත් පුංචි කාලේ වගේ දුවං යන්න මට බැනේ. මම දොර ඇරලා එයා දිහා බලාගෙන හිටියා.
“ අප්පේ.... මේ අපේ පොඩි කෙල්ල මෙච්චර ලොකුයි ද දැන්..“ඉසුරු අයියා එහෙම කිව්වේ මාව වැළඳ ගන්න ගමන්.
කෝ නංගි අපේ අම්මයි තාත්තයි“ ඊළඟ මොහොතේ එයා මගෙන් ඇහුවා.
“ඔයා එනවා කියලා දන්නේ නැද්ද? අන්කලුයි ඇන්ටියි අද ගමේ යනවා කියලා කිව්වානේ.“
“එගොල්ලන්ව පුදුම කරන්න ඕන නිසා මම නොකියා ආවා. “
“ හොඳ වැඩේ“
මම චමරි ඇන්ටිට කෝල් එකක් දුන්නා.
“ අපි දැන් තමයි පුතේ මතුගමට ආවේ... හරි හරි අපි දැන් එනවා..අනේ මගෙ කොල්ලට තේ එකක් දෙන්න පුතේ“
චමරි ඇන්ටි එහෙම කියලා කෝල් එක තිබ්බා.
ඒ වෙනකොටත් ඉසුරු අයියා අපේ සාලේ තිබුණ පුටුවේ නිදි. එයාට හොඳටම නින්ද ගිහින්. මම ඒනිසා සද්ද නොකර ඉසුරු අයියට කන්න දෙන්න කෑම හැදුවා.
ඉසුරු අයියා ඉස්සර වගේමයි. එයාගේ ගති ගුණත් එහෙමයි. මම අපේ අම්මාටත් කෝල් කරලා කිව්වා ඉසුරු අයියා ලංකාවට ආවා කියලා. කොහොම හරි පැයකට විතර පස්සේ තමයි ඉසුරු අයියා ඇහැරුණේ. ඉසුරු අයියා බත්කාලා ඉවර වෙනවත් එක්කම අපේ අම්මා ආවා.
“ පුතා ලස්සන වෙලානේ. මමත් චමරිට කතා කළා. ඔන්න දැන් මඟ එනවා කිව්වා.“
චමරි ඇන්ටි එනතුරු අම්මයි මමයි ඉසුරු අයියා එක්ක කතා කර කර හිටියා.
කොහොම හරි ලංකාවට ඇවිල්ලා මාසෙකට විතර පස්සේ ඉසුරු අයියා ආයෙමත් ගියා.
“මම එනතුරු ඔයා පරිස්සමෙන් ඉන්න ඕන. මම ඔයාට දෙයක් කියන්නම්කෝ ගියාට පස්සේ.“
ඉසුරු අයියා දා රෑ අපෙන් සමුගත්තේ මට එහෙම කියලා. ඉසුරු අයියා කියනවා කිව්ව දේ කියනකම් මම බලාගෙන හිටියා. ඒත් අයියා ගිහිල්ලා සුමානෙකින් විතර අපිට ආරංචි වුණා එයාට කොරෝනා හැඳුණා කියලා. ඉසුරු අයියා චමරි ඇන්ටින කතාකළේ එක දවසයි. ඊට පස්සේ එයාගේ යාළුවෙක් තමයි ගෙදරට කතා කරලා තිබුණේ. තවත් සුමානෙකින් විතර පණවිඩයක් ආවා ඉසුරු අයියා මැරුණා කියලා. එ්ත් මට එයා වෙනුවෙන් දුක් වෙන්න වුනේ නැහැ. මගේ අම්මටත් කොරෝනා හැඳුණා. ඒතමයි මගේ ජීවිතේ අවාසනාවන්ත කාලය. කවුරුවත් හිතුවේ නැති විදිහට අම්මා මිය ගියා. මගේ ජීවිතේ අන්තිම අසීරු වුණේ එතැනින් පස්සේ. මටත් කොරෝනා හැඳුණා. මම රෝහලක ඉදලා ගෙදර එනකොට චමරි ඇන්ටිලත් ගමේ ගිහිල්ලා. මම එයාලගේ ගම ගැන දන්නේ නෑ. කාත් කවුරුවත් නැති මම හොදටම තනි වුණා. අම්මා නැති වුණාට පස්සේ ජීවිතේ හොදටම තනි වුණා. මේ කාලේ තමයි මට නිහාල් හමු වුණේ. එයා ඉසුරු අයියලාගේ නෑයෙක් වෙනවා. එයා හරි ආදරෙන් මට ළං වුණේ. මම ඒ මනුස්සයාට රැවටුණා. අන්තිමට එයා මාව එක එක්කෙනාට විකුණුවා. මට ඒගෙදර ඉන්න බැරි තත්වයකට ආවා. නිහාල් මට කිව්වා අපි ගේ විකුණමු කියලා. ඒත් ගේ විකුණපු සල්ලි වලින් මගෙ අතට සල්ලි ගන්න ලැබුණේ නෑහැ. ඊට කලින් මට හිරේ එන්න වුණා. මට වඩා අවුරුදු පහළොවක් විතර වැඩිමල් ඒ මිනිහ කියන හැමදේම මම විශ්වාස කළා. දැන් මම හිරේ ඇවිල්ලා අවුරුද්දකට වැඩියි.
මම දන්නේ නැහැ මොකක් වුණාද කියලා. දවසක් මම හිටිය ඇනෙක්සියට පොලිසියෙන් ආවා. සතියට දෙතුන් වතාවක් පිරිමියෙක් දෙන්නෙක් ඒ ගෙදරට ආවා මිසක් මම වෙන හොර වැඩ නම් කළේ නැහැ. ඒත් පොලිසියෙන් ගේ හැමතැනම ඇදලා ඇදලා කුඩු පැකට් දෙකක් හොයාගෙන තිබුණා. සත්තකින්ම මම ඒ ගැන මුකුත්ම කියන්න දන්නේ නෑ.
මට ලැබුණ දඩුවම අවුරුදු පහළොවක්. මේක මහ පවුකාර ජීවිතයක්. මං ගැන හොය්න බලන්න කෙනෙක් නැහැ. මට මගේ දුක කියන්න කෙනෙක් නැහැ. නිහාල් මගේ හැමදේම ගන්න ඇති. කාත් කවුරුවත් නැති මම ඒ මිනිහව විශ්වාස කළා වැඩියි.
ඉසුරු අයියා අකාලේ මැරුණේ නැත්නම් මට මෙහමෙ වෙන්නේ නැහැ. ජීවිතේ හැමදේම මට වැරදුණා. අම්මා අකාලේ මැරුණේ නැත්නම් මට මේ කිසිම දෙයක් වෙන්නේ නැහැ.
මෙහෙට වෙලා ඉන්නකොට මට හුගිය යට ගියාව එකින් එක මතක් වෙනවා. මගේ අම්මා ඇරුණම මට ආදරේ කළේ ඉසුරු අයියා විතරයි. එයා මට මොකක්දෝ දෙයක් කියන්න හැදුවා. එත් ඒක කියන්න එයාට ඉඩක් ලැබුනේ නැහැ.
මට ජීවිතේ ගොඩක් හීන තිබුණා. මම ආසාවෙන් හිටියේ ගායිකාවක් වෙන්න. ඉස්කෝලේ යන කාලෙත් මම සිංදු කිව්වා. අම්මා හිටියා නම් මගේ හීන අළු වෙන්නේ නැහැ.
අම්මට ඕන වුණේ මාව හොඳ කෙනෙක් කරන්න. එයා මට කවදාවත්ම මගෙ තාත්තා කවුද කියලා කිව්වේ නැහැ. අම්මාට මම හිටියා. මට අම්මා හිටියා. ඒත් අම්මා අකාලේ මැරුණ නිසා මම තනිවුණා. සාමාන්‍ය සමාජයේ තනි වුණා නම් මට කමක් නැහැ. මම මහ නරක ගැහැනියක් වෙලයි මේ සමාජයේ තනි වුණේ
ජීවිතේ පටන් ගන්නත් කළින් හැමදෙයක්ම අහිමි වුණ කෙනෙක් මම.