
මේ වන විට මුළු ලෝකයේම ක්‍රිකට් ක්‍රීඩා ලෝලීන් උන්මාදයට පත් වෙලා තියෙන්නේ ඕස්ට්‍රේලියාවේදී පැවැත්වෙන විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය නිසා. අපේ රටේ ක්‍රීඩා ලෝලී ප්‍රේක්ෂක ජනතාවත් දිවා රෑ නැතිව කැපවෙලා ඉන්නේ මේ එක තරගයක්වත්ම මඟහැර ගන්නැතිවෙන්න. ඉතින් එහෙම ක්‍රිකට් තරග නරඹන්න කැමැත්තක් දක්වන ක්‍රීඩා ලෝලීන්ට මහත් සතුටක් ලබා දීපු තරගයක් තමයි පසුගිය ඉරිදා පැවැත්වුණු ඉන්දියා පකිස්තාන් තරගය. එහිදී ශ්‍රී ලංකාව ක්‍රීඩා නොකළත් අපේ රටේ ප්‍රේක්ෂකයන් පවා මේ තරගය නැරඹීමෙන් මහත් සතුටක් අත්වින්දේ ක්‍රිකට් ක්‍රීඩාවේ උපරිම ජීව ගුණය එම තරගයෙන් විද්‍යමාන වූ නිසා.
තරගය ගැන එහෙම කිව්වත්, ඇත්තටම ඒ තරගයේ උපරිම ක්‍රීඩා කෞශල්‍යය පෙන්වුවේ එකම ක්‍රීඩකයෙක් පමණයි. ඒ ඉන්දියාවේ විරාත් කෝලි. විරාත් කෝලිගේ උපරිම පිතිකරණය එම තරගයෙන් ඉන්දියාවට ජය ලබා දුන්නා. තරගය ආරම්භයේදී ඉන්දීය කණ්ඩායම දුර්වල බවක් පෙන්නුම් කළත් තනිවම සටනක නිරත වූ විරාත් කෝලි ලකුණු 82 ක් ලබා ගනිමින් කණ්ඩායම ජයග්‍රහණය වෙත ගෙන ගියා.
මේ තරගය අවසානයේ කෝලිට හතරවටින් සුබ පැතුම් ගලා එන විට බොලිවුඩ් සිනමා ක්ෂේත්‍රයත් මේ ජයග්‍රහණයෙන් උන්මාදයට පත් වෙලා තිබුණා. බොලිවුඩ් සිනමාවට සම්බන්ධ බොහෝ දෙනා මේ ජයග්‍රහණය ඔවුන්ගේ ජයග්‍රහණයක් විදිහට සලකලා තිබුණා. ඒකට හේතුව තමයි අපූරු ක්‍රීඩා කෞශල්‍යයක් පෙන්වූ විරාත් කෝලි විවාහ වෙලා ඉන්නේ ඔවුන්ගේ සහෝදර සිනමා නිළියක් සමඟ නිසා.
ඇය අනුෂ්කා ෂර්මා. තරගය ජයග්‍රහණය කළ සැණින්ම අනුෂ්කා තම ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුමට පණිවිඩයක් යොමු කරමින් තම සැමියාට සුභ පැතුවා. එහිදී ඇය වැඩි දුරටත් සඳහන් කර තිබුණේ කාමරය වටා උමතුවෙන් මෙන් දුවමින් තම මව සතුටුවන හේතුව ඔබගේ දියණිය මේ මොහොතේ නොදැන සිටියත්, අනාගතයේදී ඇය ඔබගේ හැකියාවන් ගැන අනිවාර්යයෙන් සතුටු වනු ඇති බවයි. එමෙන්ම තමා ඔහු පිළිබඳව බෙහෙවින් ආඩම්බර වන බව ද අනුෂ්කා තම සැමියාට යොමු කළ පණිවිඩයේ සඳහන් කර තිබුණා.
අනුෂ්කාගේ මේ පණිවිඩයට සාපේක්ෂව බොහෝ බොලිවුඩ් සාමාජිකයන් සමාජ මාධ්‍ය වෙත පණිවිඩ යොමු කරමින් විරාත් කෝලිට සුබ පතා තිබුණා.
බොලිවුඩයේ ජනප්‍රිය තරු වන නටාෂා ස්ටැන්කොවික්, ධනාෂ්‍රී වෙර්මා සහ ආතියා ෂෙට්ටි එසේ විශේෂ පණිවිඩ යොමු කළ පිරිස අතර වූවා. විශේෂයෙන් ධානෂ්‍රී තමා යොමු කළ පණිවිඩයේදී විරාට් කෝලිට ‘අයියාං යනුවෙන් ආමන්ත්‍රණය කර තිබුණා. එපමණක් නොවෙයි කෝලිට සහාය වෙමින් ඉන්දීය කණ්ඩායමට කිසියම් ස්ථාවර ස්ථානයක් කරා ඒමට කටයුතු කළ හර්දික් පාණ්ඩ්‍යටද ඔවුන් සුභ පැතුම් එක් කර තිබුණා. මේ ජයග්‍රහණයෙන් උද්දාමයට පාත්‍ර වූ ඉන්දියානුවන් නොයෙක් මීම්ස් වර්ගයේ පණිවිඩ හදමින් ඒවා සමාජ මාධ්‍ය ගත කර තිබුණේ ජයග්‍රහණයේ සතුට උපරිමයෙන් භුක්ති විඳිමින්.
කෙසේ වෙතත් මේ සමාජ මාධ්‍යවලට සුබ පැතුම් පණිවිඩ එක් කිරීම සම්බන්ධව ජනප්‍රිය බොලිවුඩ් නළු ෂාරුක් ඛාන් පසුගියදා ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කර තිබුණා. ඒ තම පුත්‍රයාට උපන්දින සුභ පැතුම් පණිවිඩයක් යොමු නොකළේ මන්දැයි මාධ්‍යවේදියෙක් ඇසූ පැනයකට පිළිතුරු දෙමින් ෂාරුක් පවසා තිබුෙණ් තමා දරුවන්ට සුභ පතන්නේ ලෝකයට පෙනෙන්නට නොවන බවයි.