
පිපුණු කුසුම පර වූවා
“පිපුණු කුසුම පර වූවා... බඹර කිකිණි ගොළු වුණා
මුතු කැට සුද සැඟවුණා,,,,, හසරැලි වියැළී ගියා
හසරැලි වියැළී ගියා...”
පසුගිය විසිහත්වැනි ශනිදා පෙරවරුවේ කොළඹ විශ්වවිද්‍යාලයේ ජනමාධ්‍ය ඩිප්ලෝමාව ඇරැඹීමේ සමාරම්භක උත්සවය ඉන්ද්‍රචාපගේ සමීපරූපයේ සටහන් වේ. නවක විද්‍යාර්ථීන් සියයකගේ පමණ මුහුණු පාඨමාලා සමායෝජක, ජනමාධ්‍ය අංශ ප්‍රධානී මහාචාර්ය සමන්ත හේරත් ගේ මුහුණ ට අමතරව වසර තිස් එකක අතීතයක් සතු පාඨමාලාවේ පුරෝගාමීන් වූ සම්මානිත මහාචාර්ය ජේ.බී. දිසානායකගේ හා කලාකීර්ති, ආචාර්ය එඩ්වින් ආරියදාසගේ මුහුණු ද ඉන්ද්‍රචාපට පෙනේ. ජනමාධ්‍යවේදියකු වීම සඳහා සපුරා ලිය යුතු මූලික සුදුසුකම් මොනවාද යන්න පිළිබඳ මහැදුරු දිසානායක කළ දෙසුම, ඉන්ද්‍රචාපගේ කුදු බව පසක් කළ මොහොතක් නොවීද කියා ඔහුට සිතිණ. එය එතරම් ම සාරගර්භ දෙසුමක් ලෙස සමීපරූපයේ ඇඳේ. එහෙත් මේ සටහන වෙන්වන්නේ ඒ සඳහා නොව, එතුමන් ගේ දේශනය ඇරැඹුමේදී කළ ප්‍රකාශයක් පිළිබඳව සමීපරූපාවලියකට පිවිසීමටය.
කලාකීර්ති ආරියදාස මැතිතුමා දෙස මහැදුරු දිසානායක ගේ අවධානය යොමුව තිබිණ. “අද එඩ්වින්ගේ මූණෙ සතුටක් පේන්න නෑ. අඳුරු පාටයි. තමාගෙ හොඳම මිත්‍රයාගෙ වියෝවීම නිසා එඩ්වින් දුකින් ඉන්නව වගේ... කලාකීර්ති ආරියදාස සූරීන් දුකින් සිටියේ කිම? එතුමන් ගේ මිතුරා කවුද? ඉන්ද්‍රචාප එය දනී. ගාල්ල මහින්ද විද්‍යාලයේ දී ඔවුහු එකට අකුරු කළ බව ඉන්ද්‍රචාප දනී. සරසවියේ දී ද (කොළඹ හා පේරාදෙණිය) ඔවුහු සගයෝ වූහ. මහින්දය බිහි කළ කීර්තිමත් පුරවැසියන්ගේ මුහුණු අතර උස් තැනක මොවුන් දෙදෙනාගේ ම රූ සමීප රූප ලෙස පවතින බව ඉන්ද්‍රචාප දනී. එහෙත් අද එක් රූපයක් සදාකල්හි ම බිත්තියක එල්ලී පෙනෙන ඡායාරූපයක් බවට පත්වී ඇත. මහැදුරු සිරි ගුනසිංහගේ වියෝව, තම පාසල් මිතුරාට දරාගත නොහෙන ශෝකයක් ගෙන ආ බව ඉන්ද්‍රචාපට දැනිණ. ආරියදාස සූරීන්, තම මිතුරා වෙනුවෙන් දේශනාගාරයේ පිරිස එක් මොහොතක නිහැඬියාවක් ලබා ගනිමින් ගෞරව දැක්වීය.
සමාරම්භක උත්සවය අවසානයේ ඉන්ද්‍රචාප එඩ්වින් ආරියදාස සූරීන් සමඟ මහැදුරු ගුනසිංහ පිළිබඳ සිහිපත් කළේය. ‘මට දුක මේ මනුස්සයගෙ මූණවත් අන්තිමට බලාගන්න ලැබුණෙ නෑනේ....’ සන් මිත්‍රයකු වෙනුවෙන් කියැවුණු සැබෑ දුක් වේදනාවක සේයාව එහි සටහන්ව තිබිණ. මහැදුරු සිරි ගුනසිංහ පිළිබඳ ඉන්ද්‍රචාපට මේ තීරුවෙහි ලියන්නට හැක්කේ කුමක් ද? එතුමන් පිළිබඳ මතු දිනෙක එතුමන්ගේ ශාස්ත්‍රීය කාර්ය සාධනය පිළිබඳ විමර්ශනාත්මක කෘති එකක් නොව රැසක් ම ලියැවෙනු නිසැක බව ඉන්ද්‍රචාප දනී. ඔහු සිංහල කවියේ සොඳුරු විප්ලවවාදියා ද? සිනමාවේ නව මානයක් දකින්නට තැත් කළ සිනමාකරුවා ද! විශ්වවිද්‍යාල පද්ධතියෙහි ඉතිරි වී සිටින මහා ප්‍රාඥයන් අතරින් අවසන් නාමාවලියේ, අවසන සිටි තවත් ප්‍රාඥයෙක් ද? පණහ දශකයේ දී සිංහල කවිය උඩු යටිකුරු කරමින් මස් ලේනැති ඇට (1958) කාව්‍ය සංග්‍රහය මඟින් සිංහල කවියට නව ආකෘතියක්, බුද්ධි ගෝචර අනුභූති රැගත් නව කවියක් බිහි කළෝ උහු නොවෙත් ද! අධිනික්මන, රතු කැකුල, ආලකමන්දාව වැනි කවිපොත් ද හෙවනැල්ල, මන්දාරම වැනි නවකතා ද ඔහුගේ නම ඉදිරියේ ඇඳෙනු සමීප රූපයට හසුවේ. සිරිගුනසිංහ කවියාගේ කවිය මහ ගත්කරු මාර්ටින් වික්‍රමසිංහ, තම නව පද්‍ය සිංහලය තුළින් දුටුවේ මෙලෙසය. ගුනසිංහ කවියට නැගිය යුතු අලුත් අත්දැකීමක්, හැඟීමක් හා සිතුමක් ඇත්තකු බව ඔහුගේ ‘මස් ලේ නැති ඇට’ කියවූ මට හැඟුණි. ඔහු තමාගේ අත්දැකීම්, හැඟීම් හා සිතුම් කීමට බිය නැත්තෙකි. ඒ බිය නැතිකම ලේඛකයකුට වුවමනාය. ගුනසිංහ ඒ බිය නැති කම ඇතැම් විට වහල් කොට ගන්නේ සිතුම්, හැඟීම් හා බස්වහර විසින් තමාගේ නොපැසුණු බව සංවරණයෙන් තොරව ම ප්‍රකාශ කරනු පිණිසය. (නවපද්‍ය සිංහලය 111 පිටුව) සංස්කෘත භාෂාව පිළිබඳ විශාරදයකු වූ සිරිගුනසිංහ මහැදුරුතුමා පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙහි මහාචාර්යවරයෙකු ලෙස තම ශාස්ත්‍රඥානය බෙදා දී පසුව විප්‍රවාසයට ගොස්, කැනඩාවේ වික්ටෝරියා සරසවියේ ආසියානු කලාව පිළිබඳ මහාචාර්යවරයාව සිටියේ ය. එතුමන් ගේ කවිය, නවකතාව, සිනමාව විචාරය පිළිබඳ විමසන්නට මේ තීරුවෙහි ඉඩකඩ නොවන බැවින් ඒ පිළිබඳ පසුව ලිවීමට කල් තබමි.
සිරිගුනසිංහ මහැදුරුතුමෝ සාහිත්‍යයෙහි මතු නොව, සිනමාවෙහි ද වේදිකා නාට්‍ය ආනුෂංගික කලාවන්හි ද හපනෙක් වූහ. මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර 1956 දී නිෂ්පාදනය කරන ලද මනමේ නාටකයේ කරලිය සැරසීම, නළු නිළියන් ගේ ඇඳුම් මෝස්තර නිර්මාණය හා අංගරචනය වැනි අංශ තුළ දායකත්වය සිරි ගුනසිංහ මහැදුරුගේ ය. 1969 මනමේ දෙවැනි නිෂ්පාදනය තෙක්, අප නැරැඹුයේ, එතුමන් විසින් පළමුවෙන් නිර්මාණය කළ වෙස් මෝස්තර හා අංගරචනා ශෛලීන් බව ඉන්ද්‍රචාපගේ හැඟීමයි. පිපුණු කුසුම පරවූවා ලබන සතියේ සමීප රූපයට ද ඉතිරි වී ඇතැයි සිතේ.