
මං ආදරෙන් පැරදිලා නෑ
මං කවදාවත් නිළියක් වෙන්න හීන මැව්වේ නෑ
සංගීතේ‘ ටෙලිනාට්‍යයේ ‘අසෙනි‘ගේ චරිතයට පණපොවමින් අපේ ආලින්දයට පැමිණි ඈ වැඩිකල් යන්නට මත්තෙන් ප්‍රේක්ෂක ආකර්ෂණය දිනාගනිමින් ජනප්‍රියත්වයේ හිණිපෙත්තටම ගමන් කළාය. මේ දිනවල විකාශනය වන ‘ඇස්‘ ටෙලිනාට්‍යයේ ‘සංවරී‘ චරිතය නිරූපණය කරමින් ප්‍රේක්ෂක හදවත්හී මතක සිත්තම් අඳින්නට ද ඈ මේවන විටත් සමත් වී හමාරය. හුරුබුහුටි පෙනුමකින් යුතු ආකර්ෂණීය යෞවනියක වූ ඈ නමින් ගීත්මා බණ්ඩාරය.
“මගේ උපන් ගම හොරණ. පතහවත්ත ශ්‍රී ස්වර්ණජෝති විද්‍යාලයෙන් සහ හොරණ ශ්‍රීපාලී විද්‍යාලයෙන් ගණිත අංශයෙන් උසස් පෙළ හැදෑරුවා. මේ වෙනකොට ළමා මානසික විද්‍යාව පිළිබද උපාධිය සහ උසස් ඩිප්ලෝමාවක් හදාරනවා. මට සහෝදරයෙක් ඉන්නවා. එයා සූපවේදියෙක් වෙන්න ඉගෙන ගන්නවා.
මං කවදාවත් නිළියෙක් වෙන්න හීන මැව්වේ නෑ. ඒක අහම්ඹෙන් ලැබුණු වාසනාවක්. හිරු නාළිකාව විසින් පවත්වපු අවුරුදු කුමරිය තරගයේ දෙවන ස්ථානය දිනාගැනීමෙන් පසුව මුලින් ම රංගන වරම් හිමිවුණේ මට. ඒ අහස් මාළිගා ටෙලිනාට්‍යයට.
ඊට කලින් මං වෙෙළද දැන්වීමවලට පෙනී හිටියත් අධ්‍යාපන කටයුතු නිසා ටෙලිනාට්‍යවලට සම්බන්ධ වෙන්න ඉඩක් ලැබුණේ නෑ. නමුත් මේ වෙනකොට ජනප්‍රිය ටෙලි නාට්‍ය කිහිපයක ම රංගනයෙන් දායක වෙලා ප්‍රේක්ෂක ආදරය දිනා ගන්න හැකි වෙලා තියනවා.
රඟපෑ ටෙලි නාට්‍ය අතරින් මේ වෙනකොට අහස් මාළිගා, නීලපබළු, රෑනගල වලව්ව, සංගීතේ, ඇස් විකාශය වෙලා තියනවා. මේ අතරින් වඩාත් ජනතා කැමැත්ත දිනූ ටෙලිනාට්‍ය සංගීතේ ටෙලි නාට්‍ය. ඒක මගේ ජීවිතේ දෙවන හැරවුම් ලක්ෂ්‍යයයි. එහි අසෙනි කියන චරිතය තමයි මං ආසම චරිතය. ඒ චරිතය වෙනුවෙන් මට විශාල ප්‍රේක්ෂක ආදරයක් ලැබුණා. ඒ වගේ මේ දවස් වල “ඇස්“ ටෙලිනාට්‍යයේ ‘සංවරී‘ කියන චරිතයටත් ගොඩාක් ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබෙනවා.
මං කැමතියි මිනිස්සු සතුටින් ඉන්නවා දකින්න. මං අකැමතියි මිනිස්සු තරහින්, දුකින් ඉන්නවට. ආත්මාර්ථකාමීවනවට. සතුටින් ඉන්න මිනිස්සු එක්ක ජීවිතේ බෙදාගන්න ලේසියි. නමුත් තරහෙන්, දුකින් ආත්මාර්ථකාමීව ඉන්නකොට එයාල එක්ක ජීවත් වෙන්න අමාරුයි.
ආදරේ කියන්නෙ ඕනම අයකුට දැනෙන සුන්දරම හැඟීම. ඒ හැඟීම විඳදරාගන්න විදියත් බෙදා හදාගන්න විදියත් තමයි ආදරේ.
මං ආදරෙන් පැරදිලා නෑ. ආදරෙන් පැරදෙනවා කියල දෙයක් නෑ. ආදරේ ඇතුළෙ අත්හැරීම තියනවා. ඒකෙන් අදහස් වෙන්නෙ කෙනෙක් තමන්ව හැර යනවා කියල නම් ආදරෙන් යන්න දෙන්න පුළුවන් වෙන්න ඕනි. අපි හැමවෙලේම කරන්නෙ අතීතය ගැන හිත හිත දුක් වෙන එකනෙ. ඇයි අපි ලස්සන අනාගතයක් ගැන හිතන්නෙ නැත්තෙ ?
ගෑනු ළමයෙක් විදියට තව ගෑනු ළමයෙක්ට මං කියන්නෙ ආර්ථිකව ස්වාධීන වෙන්න. තව කෙනෙක්ගෙන් යැපෙන්න බලාගෙන හිරවෙච්චි පෙම්වතියක්, බිරියක් වෙන්න හීන මවන්න එපා. මේ ලෝකෙ ගොඩක් ලොකුයි. ඒක දකින්න, විඳින්න. ඒ අතරේ තමන් හොයන ජීවන සහකරු හම්බවෙයි.
මං හොයන්නේ නිහතමානී, සුන්දර හදවතක් තියන මාත් එක්ක ජීවිතේ බෙදාගන්න පුළුවන් කෙනෙක්. තාම එහෙම කෙනෙක් හමුවී නැහැ.
රංගන ජීවිතය තුළ සාර්ථක ගමනක් යන්න තමයි බලාපොරොත්තුව. හොද නිර්මාණ වලට දායකත්වය දෙන්න බලාගෙන ඉන්නවා. ඒ වගේම අධ්‍යාපන කටයුතු කරගෙන යනවා.
ඉදිරියේදී හොඳ සිනමා නිර්මාණයකින් රිදී තිරයට එන්න තමයි බලාපොරොත්තුව. ඒත් ලැබෙන ඇතැම් පිටපත්වල වැඩි සාර්ථකත්වයක් මං දකින්නෙ නෑ. සිනමා නිර්මාණවලට ආරාධනා එනවා අඩුයි. මං හිතනවා පුංචි තිරය තුළ ජනප්‍රිය වීමත් ඊට බලපානවා ඇති.
ඉදිරියේදී ටෙලිනාට්‍ය රැසක් තිරගත වීමට තියෙනවා. ඒ අතරින් ටිකිරි රත්නායක අධ්‍යක්ෂනය කළ “මම තාම නුඹ නමින්“ ටෙලිනාට්‍ය හා “විදූ, භූමි” ටෙලි නාට්‍ය හරහා මං ආසම චරිත තුළින් ඔබ හමුවට එනවා.
රංගන ශිල්පිනියක් වීම නිසා අධ්‍යාපනය ටික කාලයකට මඟ හැරුණා. නමුත් ඒකෙන් අවැඩක් වුණේ නෑ. රංගන ශිල්පිනියක් නොවුණා නම් මං අධ්‍යාපන කටයුතු වලින් ඉදිරියට ම යයි.