මතක සිත්තම් තුළින් යළිත් ප්‍රේක්ෂකයන් අතරට එන චංගු මී | සිළුමිණ

මතක සිත්තම් තුළින් යළිත් ප්‍රේක්ෂකයන් අතරට එන චංගු මී

“මම රඟපාන්නෙ වසර ගණනාවකට පස්සේ.  දැන් මගේ මුහුණ රැලිත් වැටිලා. වයසට යන එක ගැන මට පසුතැවීමක් නැහැ. මං හිතුවේ මගේ ප්‍රේක්ෂකයන්ගේ හදවතට දැනෙන, හදවත උණුසුම් වෙන, රංගනයක යෙදෙන්නයි. ඇත්තටම වයසට යනකොට ලැබෙන ජීවිත අත්දැකීම් එක්ක රඟපාන්න පහසුයි.“

 

සංසාර ගත ආදරයක් ගැන කියවෙන "සයම්ඩෑං ලයිට්ස් ඩයරි (saimdang ligh's Diary) නම් කොරියානු ටෙලි වෘත්තාන්තය මේ දිනවල ජාතික රූපවාහිනිය ඔස්සේ විකාශය වෙයි.

 

“මතක සිත්තම්“ ලෙස සිංහලෙන් හඬ කවා අපේ රූපවාහිනී ප්‍රේක්ෂකයින් අතරට එන මෙම ටෙලි වෘත්තාන්තය 2017දී කොරියාවේ විකාශය වූවකි.

කොරියාවේ පමණක් නොව රටවල් ගණනාවක ප්‍රේක්ෂක ආකර්ෂණය දිනා ගත් ජුවෙල් ඉන් ද පැලස්, (Jewel in th Palace) ලංකාවේ සුජාත දියණිය ලෙස ප්‍රචාරය වූ ටෙලි වෘතාන්තයේ 'චංගුමී' ගේ (JangGeum) චරිතය රඟපෑ කොරියානු නිළියක වන ලී යංග් ඒ (Lee Young Ae) මෙහි ප්‍රධාන චරිතයට පණ පොවයි.

ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයින්ගේ අතිමහත් ප්‍රසාදයට සහ ආකර්ෂණයට පත් වූ 'චංගුමී' චරිතය ගැන ඔබට අමුතුවෙන් සිහිපත් කළ යුතු නැත.

චංගුමීගේ ආකර්ෂණීය රංගනයෙන් පසු ලී යන්ග් රඟපාන අලුත් ටෙලි නාට්‍යයක් දැක බලා ගැනීමේ අවස්ථාව මේ වන විට ඔබට උදාවී ඇත.

ලී යන්ග් තම කලා දිවිය ඇරඹුවේ 1990 මෝස්තර නිරූපිකාවක් ලෙසය.

1971 ජනවාරි 31 වැනි දින සෝල් හී උපත ලැබූ ඇය වැඩිමහල් සහෝදරයන් දෙදෙනෙකුගේ පවුලේ බාලයායි.

ඉංග්‍රීසි භාෂාව මෙන්ම ජර්මානු භාෂාව චතුර ලෙස කතා කිරීමට හැකි ඇය, ජර්මානු භාෂාව සහ රංගනය පුළුල් ලෙස හදාරා ඇත. ඇය උපාධිධාරිනියකි.

අප කවුරුත් දන්නා 'චංගුමී' ගේ චරිතය 2003 රඟපෑමෙන් පසු ඇය නැවතත් ප්‍රධාන භූමිකාවකින් ප්‍රේක්ෂකයා අතරට පැමිණෙන්නේ මෙම ටෙලි නාට්‍යයෙනි.

“මම රඟපාන්නෙ වසර ගණනාවකට පස්සේ. දැන් මගේ මුහුණ රැලිත් වැටිලා. වයසට යන එක ගැන මට පසුතැවීමක් නැහැ. මං හිතුවේ මගේ ප්‍රේක්ෂකයින්ගේ හදවතට දැනෙන, හදවත උණුසුම් වෙන, රංගනයක යෙදෙන්නයි. ඇත්තටම වයසට යනකොට ලැබෙන ජීවිත අත්දැකීම් එක්ක රඟපාන්න පහසුයි." වසර ගණනාවකට පසු කළ රංගනය ගැන ඇගේ අදහස එයයි.

2009 අගෝස්තුවේ එක්සත් ජනපදයේත්, කොරියාවේත් ව්‍යවසායකයෙකු වන "පියොන්ග් හෝ යන්ග්" සමඟ ආදරයෙන් බැඳී විවාහ වන ලී යන්ග් 2011 දී පුතෙකු සහ දියණියක් (නිවුන් දරුවන්) බිහි කළාය.

ඇගේ සැමියා ඇයට වඩා වසර 17 ක් වැඩිමහල් පුද්ගලයෙකි.

මේ වන විට ඇය ඇගේම රූපලාවණය සන්නාමය වන Lyanture හී ප්‍රධානියා බවට පත්ව ඇත. 100% කල් තබා ගැනීමේ ද්‍රව්‍යයන් වලින් තොර මෙම රූපලාවණය නිෂ්පාදන, වඩාත් ජනප්‍රිය වගේම ඒවා පාවිච්චි කරන අය අතර වැඩි විශ්වාසයක් දිනාගෙන ඇති බවයි ඇය පවසන්නේ.

ලී යන්ග්, සමාජ සේවා ක්‍රියාකාරිනියක් ලෙස ද එරට තුළ මෙන්ම, ලොව පුරා ද ප්‍රසිද්ධියක් උසුලයි.

වරක් ශ්‍රී ලංකාවේ පැවති ගංවතුර තත්වයක් හමුවේ සහන කටයුතු සඳහා ඇමරිකානු ඩොලර් 50,000 (රුපියල් මිලියන 7.6) මුදලක් ඇය විසින් පරිත්‍යාග කළ බව වාර්තා වෙයි.

ශ්‍රී ලංකාවේ ගංවතුර තත්වය හමුවේ එයින් පීඩාවට පත්වූ ජනතාවගේ දුක දැක, ඇය දැඩි සේ ශෝකයට පත් වූ බවද සඳහන් වෙයි.

ආබාධ සහිත පුද්ගලයන් සඳහා වන කොරියානු පදනමේ උපදේශක සභාපතිනිය ලෙස කටයුතු කරන ඇය වරප්‍රසාද අඩු පුද්ගලයන් වෙනුවෙන් විශේෂ කාර්ය භාරයක් ඉටු කරන තැනැත්තියක් ලෙස ද ප්‍රචලිතය.

මේ වසරේ මාර්තු 01 දින ඇය එරට යුක්රේන තානාපති වෙත මිලියන සියයක (ආසන්න වශයෙන් ඩොලර් 83,331) චෙක්පතක් ලබා දුන් බවයි විදෙස් තොරතුරු පවසන්නේ.

ඇය එම මුදල් පරිත්‍යාගය, රුසියානු, යුක්රේන් යුද්ධයෙන්, යුක්රේනයේ අසරණ වූ ජනතාව වෙනුවෙන් ලබා දුන් බවත්, ඇයට ඒ සඳහා විශේෂ ස්තූතියක් පුද කරන බවත් යුක්රේන් තානාපති ට්විටර් පණිවුඩයක් මඟින් දන්වා ඇත.

සයිම්ඩෑං ලයිට්ස් ඩයරි නාට්‍යයෙන් පසු මේ වන විට inspector Koo නමින් නවතම ටෙලි වෘත්තාන්තයකට ඇය දායක වී සිටිනවා.

Comments