
ජීවිතේ මහ පුුමාකාරයි. හමුවීම්, වෙන්වීම්, බැඳිම්, දරා ගැනිම් එක්ක එක්තැන්වූ ජීවිතයක් තමයි කාටත් තියෙන්නේ. අපි කොයිතරම් දියුණු සමාජයක හිටියත් මාත් ඔබත් අපේ යට ගියාවට පෙම්බදිනවා. කවුරු කොහොම කිව්වත් අපි හිතෙන් ඉන්නේ ඒ යට ගියාවන් සමඟ. කිසිවෙකුට නොකිව්වත් ඇතැම් විට අපට දැනෙනවා අපේ ජීවිත වල අපි ඉන්න තැන. බොහෝ විට අපි ඉන්නේ අපිට අත්හරින්න බැරි මතකයන් සමඟ.
එවන් මතකයක් ඇසුරින් ලියූ ගීතයකි මේ. ගීතය ලියන්නේ ප්‍රභාත් චන්ද්‍රකීර්ති. ඔහු වර්තමානයේ කම්කරු කොමසාරිස් ජෙනරාල්වරයා වශයෙන් සේවය කරයි. ගීතයේ සංගීත නිර්මාණය කරන්නේද, ගීතය ගයන්නේද ප්‍රවීණ ගායන ශිල්පී ලක්ෂ්මන් හේවාවිතාරණයන් විසිනි.
මේ ගීතයේ අත්දැකීම කුමක්දැයි කියා විමසූ විට ගී පද රචක ප්‍රභාත් චන්ද්‍රකීර්ති පැවැසුවේ මෙවන් අදහසක්.
“ අද අපට බොහෝ විට දකින්න ලැබෙන දෙයක් තමයි දෙන්නෙක් ප්‍රේමයෙන් බැඳිලා ඉදලා එ් දෙන්නා විරසක වෙලා හෝ මොනයම් හෝ හේතුවක් නිසා දෙපසකට වුණාට පස්සේ එක්කෝ පෙම්වතා විසින් පෙම්වතිය මරණවා, පිහියෙන් අනිනවා, එහෙමත් නැත්නම් අර ගැනූ ළමයාට හැකි තරම් නින්දා අපහාස කරනවා. ඉස්සර වගේ නෙමෙයි දැන් එහෙම අපහාස කරනත් විවිධ ලෙස පුළුවන්. එක්කෝ ඇගේ පින්තූර මුහුණු පොතට දානවා. එහෙත් නැත්නම් අන්තර්ජාලයට මුදා හරිනවා.... ආදි වශයෙන් නොයෙක් දේ කරනවා. මේ තත්වය අද නගරයේත් ගම්බදවත් බහුලව දකින් පුළුවන් දෙයක්.
නමුත් මේ ආගිය ගමන් වලදි අපට හමු වූ පෙම්වතුන් ඉන්නවා. අදටත් ඔවුන් වෙන් වුණත් හමුවන, හමුවී කතාබහ කරන, ඔවුන්ගේ ජීවිත වල සතුට සැනසීම නැති නොකර ගත් අය. ඒත එදාට වඩා අද ලෝකය බොහෝම වෙනස්. ඒ වෙනස්කම් එක්ක තමයි අද මේ හැමදේම සිදුවෙන්නේ. මගේ මිත්‍රයෙක් ඔහුගේ අත්දැකීම දවසක් මා සමඟ කිව්වා. ඒ අදහස තමයි කාලයක් තිස්සේ මගෙ හිතේ තිබිලා තිබිලා ගීතයක් ලෙස ලියැවෙන්නේ. මෙන්න මේකයි මගෙ මිත්‍රයාගේ කතාව. ඔහු විවාහකයෙක්. ඔහුට ඇය අහම්බයෙන් මෙන් හමුවුණා. ඇයත් විවාහක කාන්තාවක්. කෙසේ නමුත් මේ දෙන්නා ප්‍රේමයෙන් බැඳෙනවා. ඒ ප්‍රේමය වසර ගණනක් තියෙනවා. නමුත් ඒ දෙන්නා අතර ආදරය... බැඳිම තියෙනවා වගේම යම් යම් නොගැලපීම් ද තියෙනවා. මේ නිසා ඒ දෙන්නා අතර ගැටළු ඇතිවෙනවා. ඒත් ඔවුන් අතර පුදුමාකාර ආදර බැඳිමක් තියෙන්නේ. විවිධ බාධක මැද්දේ, ඒ දෙන්නාගේ ප්‍රේමය වසර ගණනක් තිස්සේ තියෙනවා. නමුත් එක් අවස්ථාවක ඇය ඔහුගෙන් සමුගන්නවා. ඔහු ඒ ගැන සොයනවා. නමුත් ඇය ඔහුගෙන් වෙන් වෙන්නේ කිසිම හේතුවක් නොකියා. ඔහු ඇගෙන් හිස්වෙන හිතේ වේදනාව හරි අමාරුවෙන් දරා ගන්නේ.
අදටත් ඔහු බලාපොරොත්තු වෙනවා ඇය කොයි මොහොතක දී හෝ ඔහු හමුවන්නට ඒවී කියා.
“මොන ප්‍රශ්න, ජීවිතේ මොනතරම් ගැටළු තිබුණ් මම ඇයට හරි ආදරෙයි. මගෙ හිත කියනවා කොයි මොහොතක හෝ ඇය මාව සොයා ගෙන ඒවී කියලා. ඒ ආව දවසටත් මම එයාව පෙර සේම ආදරෙන් භාර ගන්නවා“ මගෙ මිත්‍රයා මා සමඟ කිව්වේ එහෙම.
ඔය කතන්දරය මගෙ හිතේ තිබුණා. කාලයකට පස්සේ මගෙ අතින් මේ පද ටික ලියැවුණා. දවසක් ලක්ෂ්මන්ට මා මෙය දුන්නා. ඔහු මට කිව්වා වචන ටික ලස්සනයි... තේරුමත් අගෙයි කියලා. ඉන් පස්සේ තමයි මෙය ගීතයක් ලෙස බිහිවෙන්නේ.
“කොපුලකට හාදුවක් දි මුදුව
අපි අපේම බව සෙමෙන් පවසන්න
අප අපට මඟ හැරෙන යම් දිනෙක
සොඳුරු මතකය ඔබම ගෙන යන්න…
ආයෙමත් ඉක්මනින් හමුවන්න
ආයෙමත් ආදරෙන් හමුවන්න....“.