
ශාන් අරෝෂ මධුසංඛ (සිකා)
ලකා සහ සිකා ගැන නොදන්නා කෙනෙක් අද මේ සමාජයේ නොමැති තරම්ය. සමාජ මාධ්‍ය ජාලාවන් හරහා පෙනී සිටිමින් විශාල රසික පිරිසක් සමඟ අත්වැල් බැඳ සිටින “ලකා හා සිකා" සමඟය අද මේ කතාබහ. ලකා ලෙසින් පෙනී සිටින්නේ ලක්මාල් ධනුෂ්ක වීරසිංහ ය. සිකා ලෙසින් පෙනී සිටින්නේ ශාන් අරෝෂ මධුසංඛ ය. මේ ඔවුන්ගේ කතාවයි.
ශාන් අරෝෂ මධුසංඛ ‘සිකා‘ වෙන්නෙ කොහොමද ?
මම ලක්මාල් අයියත් එක්ක ගොඩක් කල් වැඩ කළා. එයාගෙ වෙෙළඳ ප්‍රචාරක ආයතනයට සම්බන්ධ වෙලා ගොඩක් වැඩ කටයුතු කරන කාලේ තමයි මේ රංගන වැඩේ පටන් ගත්තේ. වෙළෙඳ දැන්වීම් කටයුතු කරන විට කවුරු හරි අවශ්‍ය වුණොත් මම ඒවට රංගනයෙනුත් එකතුවෙලා තියනවා. වෙෙළඳ දැන්වීම් කලාවට එකතු වුණු ආභාසයෙන් තමයි මට මේ වැඩේ කරගෙන යන්න පුළුවන් වුණේ කියලා හිතනවා. අද මම මෙතැන ඉන්නේ ලක්මාල් අයියා නිසා.
දෙන්නම දකුණු පළාතේ ද ?
ඔව්. අපි දෙන්නම දකුණු පළාතේ. ඥාති සම්බන්ධතාවයකුත් තියෙනවා. මම ගාල්ලේ ගින්තොට. ගිංතොට මහා විදුහලෙන් අධ්‍යාපනය හැදෑරුවා. ඊට පස්සේ මම යුද හමුදාවේ සන්නාහ සන්නද්ධ බළකායට බැඳෙනවා. ඒ ක්‍රීඩා අංශයේ පාපන්දු කණ්ඩායමේ ක්‍රීඩකයකු ලෙස වසර හතක් මම කටයුතු කරනවා. නමුත් පෞද්ගලික හේතුවක් මත මම හමුදාවෙන් ඉල්ලා අස්වෙනවා. ලක්මාල් අයියා සමඟ එක් වෙන්නේ ඉන් පසුවයි.
බදුල්ලේදී සිදු වෙච්ච අකරතැබ්බය මොකක්ද ?
ලක්මල් අයියාගේ වෙෙළඳ ප්‍රචාරක ආයතනයෙන් වෙෙළඳ දැන්වීම් ප්‍රචාරණ කටයුත්තක රූප ගත කිරීමක් සිදු කළා. මම ඔහුගේ නිෂ්පාදන කටයුතුවලට ගොඩක් සහයෝගය දක්වමින් ඒ දවස් ටිකේ හිටියේ. ආපු නළු නිළියන් දිහා බලනවා ඔවුන් සමඟ තොරතුරු බෙදා ගන්නවා. ඒ අතර මගේ සිත තුළ, අනේ මටත් නළුවෙක් වෙන්න පුළුවන් නම් කියලා හිතුණා. ඔහොම හිත හිතා ඉන්නකොට එකපාරම ලකා මට ඇඳුමක් දිලා මෙන්න මේක ඇදගෙන වරෙන් කියලා කිව්වා. මට එදා තරු විසි වුණා. කොහොම හරි මගේ හීනෙ සැබෑ වුණා. බයත් නැති වුණා.
මෙතන ඉන්න කාලය තුළ ඔබට වෙනත් රැකියාවක් කරන්න අවස්ථාවක් තියෙනවද?
මම ගාල්ල අමාරි හෝටලයේ රැකියාවක් සඳහා යනවා. ටික කාලයක් මං එහි සේවය කරනවා. දවසක් ලක්මාල් අයියාගේ මට දුරකථන ඇමතුම් එනවා. ඒ 2020 දවසක.“ඉක්මනට ඇවිල්ල මාව මුණගැහෙන්න“ ඔහු මට කියනවා. මම ඔහු හමුවෙන්න ගියා.
“දෙන්නත් එකතුවෙලා යූ ටියුබ් වැඩේ කරමු.“ ඔහු මට යෝජනා කළා. මුලදි නම් මගෙ කැමැත්තක් තිබුණෙ නෑ. හේතුව වැඩේ ඇදගෙන යන්න පුළුවන් වෙයිද කියලා මට විශ්වාසයක් තිබුණේ නැති නිසා. ලක්මාල් අයියා මගේ හිතේ විශ්වාසය ඇති කරලා මේ වැඩේට අත ගැහුවා. මුලින් නම්, ටිකක් බය හිතුණා. නමුත් විෂුවල් තුන, හතර කරන කොට ඒක ඇරිලා ගියා. අද මම මෙතැන ඉන්නේ ලකා නිසයි
මුල් කාලයේදී ඔබ සමාජයෙන් ගොඩක් බැණුම් ඇහුවා කියන්නේ ඇත්ත ද ?
මාස ගණනාවක් යනකම් සමාජයට යන්න විදිහක් නැහැ. සමහර අය දැකපුවාම හොඳටම බණිනවා. අයියයි, මායි දෙන්නා ඇහුන්නෑ වගේ යන වෙලාවලුත් තියෙනවා. හැබැයි, ඉතින් ඒකත් ජොලි. මොකද අපේ නිර්මාණ වැලඳ ගන්නවා කියන එක.
ලකා ගෙන් ඔබට ලැබෙන සහාය කොහොම එකක්ද?
ඇත්තටම ඔහු මට හොඳ ගුරුවරයෙක්. ඒ ගුරුවරයාගේ මඟපෙන්වීම යටතේ හොඳ නිර්මාණ බිහි කරීම මගේ අරමුණයි. ඒ වගේම මගේ බිරිඳත්, දරුවාත් සතුටින් තියන්න මම මේ ගමන යනවා. අපිට උදව් කරන එකී, නොකී සියලු දෙනාටම ස්තූතියි.
ලක්මාල් ධනුෂ්ක වීරසිංහ (ලකා)
ඔබ වැඩිපුරම හඳුන්වන්නේ ලකා කියලද? ලක්මාල් කියලද?
දැන් කවුරුත් මම හඳුනන්නේ ‘ලකා‘ කියලයි. මගේ නම ලක්මාල් ධනුෂ්ක විරසිංහ. ජීවිතයේදි එක නමයි ලැබෙන්නේ. සමහරවිට ඕනම කෙනෙකුට තමන්ගේ නම වෙනස් කරගන්න පුළුවන්. එහෙම වුණොත් එක නම දෙක, තුන වෙනවා. තමන්ගේ අරමුණක් වෙනුවෙන් නම වෙනස් කර ගැනීමක් නිසා දැම්ම ලකා නම දැන් ප්‍රසිද්ධ වෙලා ඉවරයි. දැන් ඉතින් ලකාම තමයි.
ඔබ හැදුණෙ, වැඩුණෙ, පාසල් ගියේ කොහේද ?
මම මුලින්ම ඉගෙන ගන්නේ හම්බන්තොට ප්‍රාථමික විදුහලේන්. මගේ වාසනාවකට ශිෂ්‍යත්වය පාස්වෙලා කොළඹ ආනන්ද විදුහලට එන්න ලැබෙනවා. ඒ ආපු ගමනේදී පාසලේ සියලු සමිති සමාගම්වල කැපී පෙනෙන ශිෂ්‍යයකු බවට පත් වුණා. ඒ අතර නාට්‍යය අංශයේ, ප්‍රවෘත්ති එකකයේ, මාධ්‍ය කවයේ ගුරුවරුන් අතර සහ සියලුම ශිෂ්‍යයන් අතර නැතුව බැරි ශිෂ්‍යයෙක් බවට පත්වන්නට මට පුළුවන් වුණා.
පාසල් ජීවිතයෙන් පසු ඔබේ ගමන ආරම්භ කරන්නේ කොහොමද ?
පාසල් ජීවිතයෙන් පසුව මම අලෙවි ප්‍රවර්ධක නිලධාරියකු ලෙස කටයුතු කරනවා. ඉන්පසු මට මැක්ස් රූපවාහිනි නාළිකාවත් සමඟ සම්බන්ධ වීමට අවස්ථාව හිමි වෙනවා. පාසලේ මාධ්‍ය ඒකක වල කරල ලැබූ කුසලතාවයත්, මැක්ස් රූපවාහිනි නාළිකාවේ ටික කාලයක් වැඩ කරන විට අලුතෙන් පටන් ගත්ත හිරු නාළිකාවේ නියෝජ්‍ය වැඩසටහන් කළමනාකරුවකු ලෙසට යළි සේවයට එන්න ලැබෙනවා. ඒ ආපු ගමන තමයි අද සමාජ මාධ්‍ය ජාලයක් තුළ ලකයි, සිකයි ගොඩ නඟන්නට හැකි වුණේ.
යූ ටියුබ් නාළිකාවක් ආරම්භ කරන්න හිතුවේ ඇයි ?
2017 වර්ෂයේ පොඩි වීඩියෝ ක්ලිප් හතරක් කළා. මේ වීඩියෝ ක්ලිප් හතර කරලා ඉවර වෙලා, අපි මුහුණු පොතේ විකාශය කළා. එයට හොඳ ප්‍රතිචාර ලැබුණා. මුහුණු පොතේ කරගෙන ගිය විදිහටම කරගෙන ගියා. අවුරුද්දකට පස්සේ තමයි යූ ටියුබ් නාළිකාවක් හැදුවේ. අපි කළ සියලු වීඩියෝ මුහුණු පොතේ ප්‍රමෝෂන් කළා. යු ටියුබ් නාළිකාවේ විකාශනය කළා. මුලින්ම 10,000 ක් විතර අපේ වීඩියෝ බලන්න පටන් ගත්තා. මගේ අරමුණ මට හොඳයි කියල හිතුණා. ලකයි සිකයි කියන නම් දෙක වැලඳ ගත්ත පිරිසක් බිහි වුණා. නරඔන්නෝ වැඩිවෙන්න, වැඩිවෙන්න ඔවුන්ව දාලා යන්න බැරි තැනට අපි ඔවුන්ව පත් කළා. මේ වෙනවිට 851,000 ක් අපිව ජීවත් කරවනවා.
මේ නිර්මාණවලට තිර තිරපිටපත් රචකයා කවුද ?
වෙන කවුද ඉතින් මම තමයි. පිටපත ලියලා ඉවර වෙලා අපි දෙන්නා සාකච්ඡා කරනවා. සිකාගේන් මට හොඳ සහයෝගයක් ලැබෙනවා.