එදා මෙදා ගායන ලොවේ රත්තරන් හදවත | සිළුමිණ

එදා මෙදා ගායන ලොවේ රත්තරන් හදවත

‍එච්. ආර්. ජෝතිපාලගේ ජනකාන්ත හඬ මාධූර්ය අමතක කර මෙරට ජනප්‍රිය සිනමාව ගැන කෙනෙකු කතා කරන්නේ නම් ඒ මනාලිය නොමැතිව මඟුල් කෑමක් බඳුය. ඒ එතරම් ගසට පොත්ත මෙන් අවියෝජනීය සම්බන්ධයකි. 60-70 දශකයේ සිට නවසිය අනූව අවසානයවන තෙක්ම සිංහල සිනමාවේ පෑයූ තරු බොහෝමකගේ ජනප්‍රියත්වය යට තිබූ රහස ඒ ලයාන්විත හඬ පෞර්ෂයම විය. හෙළ සිනමාව ජනකාන්ත කරවීමට පසුබිම් ගායකයකු ලෙස ඔහු දැක් වූ සමත්කම පරයා යෑම කෙසේවුව ද ඊට අලගු තබන්නටවත් ගායකයකු බිහි නොවීම ඔහුගේ කට හඬෙහි අපූර්වත්වය මොනවට කියාපාන්නකි. හෙතෙම සිය හුස්ම පොද වාතලයට මුසු කර පසුගිය ජූලි 07 වැනිදාට වසර 35ක් සපිරිණි.

 

1936 පෙබරවාරි 12 වැනි දා කොළඹ කැටවලමුල්ලේදී මෙලොව එළිය දුටු හෙට්ටිආරච්චිගේ රෙජිනොල්ඩ් ජෝතිපාල දුක් කම්කටොලුවලින් පිරි ජීවිතයකට උරුමකම් කිවේය. සිය ගමන් මඟ ඇරඹි මොහොතේ පටන් ඔහු මෙරට කලා ක්ෂේත්‍රයේ ඇතැමුන්ගේ ගැරහුම් හා නොපනත්කම්වලින් බොහෝ සෙයින් පීඩා වින්දේය. එහෙත් ඒ කිසිවක් ගණනකට නොගෙන සිනාසී අධෛර්යවත් නොවී සිටියේ පණ හා සමාන මිතුරු කැලත් නොපසුබට උත්සාහයත් නිසා ය.

ඇතැමුන් අද කොතෙක් චිත්‍රපට නිර්මාණ කළ ද ඒවා ජනකාන්ත (ජනප්‍රිය) කරවීමට හැකි සිනමා හඬ පෞරුෂයක් ගොඩනඟා ගැනීමට ඔවු‍හු මේ දක්වා අපොහොසත්ය.

ඔහු ගේ කටහඬ සිංහල සිනමාවට මහා වෘක්ෂයක් බඳුය. ඒ මහා වෘක්ෂයේ පිපුණු නොයෙක් පුෂ්පයන්ගෙන් දිස් වූයේ ඔහුගේ හඬ මාධූර්යයේ විස්මිත චමත්කාරයයි. මෙරට බොහෝ නළුවන් තම රංග ප්‍රතිභාව විසින් ඔහු යම් තරමකට හෝ ඔසවා තැබුව ද ජනකාන්ත තරුවක් වීමට බලපෑ ප්‍රධානතම සාධකය වූයේ හද නළවන ජෝතිගේ සුමධුර කට හඬයි. එහි ලාලිත්‍ය, රිද්මය, ධවනි ගුණය විශ්මය ජනකය. එය එතරම්ම හෘද සංවේදීය. ඔහු ගෙවූ ජීවිතය, ඔහු තුළ වූ මානව දයාව හා බිඳී ගිය කුලුඳුල් ප්‍රේමය ඒ හෘදයාංගම රාවයේ ස්වර වර්ණ ගෙත්තම් කර තිබුණි.

ජේමිස් අයියාගේ කඩය අසල හිඳ සවනත වැකුණ හින්දි ගීත මුමුණමින් දවස ගෙවූ ජෝතිපාලට පාසලට වඩා ප්‍රිය වූයේ ජේමිස් අයියාගේ කඩයයි. රේඩියෝවක් මිලදී ගැනීමට තරම් වත්පොහොසත් කමක් නොතිබුණු නිසා ජේමිස් අයියාගේ කඩය අරිනතෙක් රැඳී සිට සින්දුවක් මුමුණමින් පාසල් යෑම ඔහුගේ සිරිත විය. එදා තිබු මේ බොහෝමයක් ගීත හින්දි ගීතය.

“පාසල ඇරී ගෙදර පැමිණි පසු බත් ටික කාපු ගමන් මා දිව යන්නේ ජේමිස් අයියාගේ කඩයට ය. දැන් මට මේ කඩය ගෙදර මෙන් හොඳට පුරුදු ය. එහෙත් කල්යත් ම මගේ පැමිණීම ජේමිස් අයියාට රිස්සුවේ නැත.

‘‘උඹට වැඩක් නැද්ද බං! මේ කඩේ පාළු කරන්න එන්නේ’’ මුදලාලි දිනක් කෝපයෙන් යුතුව විමැසීය.

‘‘අනේ නෑ... මුදලාලි, මගෙන් කාටවත් කරදරයක් නෑ නෙ...’’

“දිනක් මා කඩය අසල පඩියෙහි වාඩි වී සුපුරුදු පරිදි ගී රස විඳිමින් සිටියෙමි. මම තිගැස්සී නැගිට්ටෙමි. මගේ ඇඟ පුරාම වතුරෙන් නැහැවී ගොස් ය. ඉඳුල් ගඳක් ඉන් වහනය විය. මුදලාලි මගේ ඇඟට ඉඳුල් වතුරු බාල්දියක් හලා ඇති බව මට වැටහුණි. මගේ දෙනෙතට කඳුළු ඉනුවේ ය. එමෙන් ම මට අධික ලජ්ජාවක් ඇති විය. අහල පහල අය මා දෙස බලා සිනාසෙමින් සිටිනු මට පෙනුණි. මම වේගයෙන් එතනින් දිව ගියෙමි. මෙවන් බාධක කිසිසේත් පුංචි කාලයේ වුව බාධක සේ මා පිළිගත්තේ නැත. ඉඳුල් වතුර බාල්දියකට මගේ ගමන නතර කළ නොහැකිය. මම තව තවත් ධෛර්යයවන්ත වූයෙමි. ’’(‘අමරණිය ජෝති’ කර්තෘ අර්නස්ට් වඩුගේ.)

ඉතා දුෂ්කර ව්‍යායාමයකින් අනතුරුව ගුවන් විදුලියේ ගීත ගැයීමට ඔහුට භාග්‍ය උදා විය. ඒ 1954 දී නාරම්බික් ලොසින්ජර සමාගමේ අනුග්‍රහය ඇතිව ගුවන් විදුලියේ ප්‍රචාරය කළ ආධුනික ගායන තරගයට ඉදිරිපත් වෙමිනි. එය මෙහෙය වූයේ ආරියදාස පීරිස්ය. ඉන් අනතුරුව වසන්තා සන්දනායක ගායනා කළ ‘මහවැලි නදියේ’ ගීතයට ‘තොටියෝ තොටියෝ’ යන පද වැල ගායනය කිරීමට එක් විය. හින්දි තනුවකට ස්ටැන්ලි ඕමාර් සංගිතය සැපයූ ‘මගේ රන් රැජින’ ජෝති ගායනා කළ පළමු ගීතය විය. පසුව සිරිසේන විමලවීර අධ්‍යක්ෂණය කළ ‘පොඩිපුතා’ සිනමා පටයට ගීතයක් ගායනා කිරීමේ මහඟු අවස්ථාව ඔහුට හිමි වුවද චිත්‍රපටය විකාශනය වන විට එහි ඒ ගීතය අඩංගු වූයේ නැත. මෙනිසා හේ මහත් වේදනාවටත්, කලකිරීමටත්, ලැජ්ජාවටත් පත් විය.

නමුත් ඔහු බලාපොරොත්තු අතහැරියේ නැත. පසුව 1956 දී සිරිල් පී. අබේරත්න අධ්‍යක්ෂණය කළ ‘සුරතලී’ චිතපටයට ඔහු විසින් ‘සිරියාමෙ සාරා‘ ගීතය ගායනා කළේයට. එය බෙහෙවින් ජනප්‍රිය විය. මෙය හින්දි තනු යොදා නිර්මාණය කළ ගීතයක් විය. මුල සිට ම හින්දි ගී තනුවලට ගායනා කළ නිසාදෝ හින්දි තනුවලට ම ගීත ගැයීමට ඔහුට සිදු විය.

ආචාර්ය ප්‍රේමසිරි කේමදාසගේ ඇසුරත් සමඟ ජෝති මෙතෙක් පැමිණි මඟ වෙනස් විය. මාස්ටර් විසින් සංගීතවත් කළ ‘ලොකුම හිනාව’ චිත්‍රපටයෙහි ස්වාධීන තනුවකට ගීත ගායනා කිරීමේ මහඟු අවස්ථාව ජෝතිපාලට හිමි විය. මින් ජෝතිපාල මහත් උද්දාමයට පත්ව සිටියේය. මේ නිසා එක් අතකින් ජෝතිව පීචං ගායකයකු ලෙස බවුතිස්ම කළ උදවියට පිළිතුරු දීමට ඔහුට හැකියාව ලැබුණි. මේ හේතුව නිසා දෝ කේමදාස මාස්ටර්ගේ හා රණසිංහ ප්‍රේමදාසගේ ඡායාරූප තම දෙණ අසල තබන ලෙස හේ ඉල්ලීමක් කර තිබුණි. නමුත් එය ඉෂ්ට නොවීය.

කිසිදු දිනක විදිමත්ව සංගීතය හදාරා නොමැති ජෝතිපාල පිළිබඳ ව වරක් ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන් ප්‍රකාශ කර සිටියේ “ලංකාවේ කෙතරම් විශාරද ගායන ශිල්පීන් ශිල්පිනියන් සිටියද ඉතා ඉක්මණින් ශ්‍රැතියක පිහිටා ගායනා කළ හැකි පුදුම හැකියාවක් ජෝතිපාල සතු තිබුණා” කියාය. මෙ නිසා අනෙකුත් ශිල්පීන් ශබ්දාගාරවල කාලය කා දමද්දී වැඩි ගීත සංඛ්‍යාවක් එකවර පටිගත කිරීමට ජෝතිට හැකි විය.

පී.එල්.ඒ සෝමපාල සංගීත අධ්‍යක්ෂණය කළ සෑම චිත්‍රපටයකට ම ජෝතිපාල දායක කර ගැනීමට ඔහු මැළි නොවීය. ඒ ජෝතිගේ රහස පිළිබඳ ව හේ ඉවෙන් දැන සිටි නිසා ය. මෙම සිනමාපට බොහෝමයක අධ්‍යක්ෂවරයා වූයේ ලෙනින් මොරායස් ය.

මෙනිසා වැඩි කලක් යන්නට මත්තෙන් ලෙනින් මොරායස් ජනප්‍රියතම චිත්‍රපට අධ්‍යක්ෂකවරයා බවට පත් වූ අතර කාර්යබහුල ම සංගීත අධ්‍යක්ෂකවරයා වූයේ පී. එල්. ඒ සෝමපාල ය. එහෙත් මේ පිටුපස සැඟ ව සිටි දැවැන්ත හෙවණැල්ල වූයේ ජෝතිගේ මන මොහනීය කට හඬයි. හින්දි තනුවෙන් මිදී ප්‍රේමසිරි කේමදාසගේ ඇසුර ලබා නව අාවේශයකින් සිටි ජෝතිට සරත් දසනායක සමඟ වැඩ කිරීමේ අවස්ථාව උදා වූයේ මේ අතර ය. පසුව සරත් දසනායක සංගීතවත් කළ චිත්‍රපට බොහෝමයක නිත්‍ය ගායන ශිල්පියා වූයේ ජෝතිපාල ය.

එසේම ජෝතිපාල නළුවකු ලෙසද චිත්‍රපට කිහිපයකම දැකගැනීමට හැකි විය. මේ අතරින් ‘සුසුදු වැල්ල රැල්ලෙ පෙරළි ගීත ගයයි යළි.. යළී’ ගීතය ගයමින් මාලනී ෆොන්සේකා සමඟ කළ රංගනය අදත් බොහෝදෙනාගේ මතකයේ රැඳී තිබේ.

‘කනත්තේ සංස්කෘතිය’ යන මැයෙන් ආචාර්ය සරත් අමුණුගම පසු කලෙක ‘විචිත්‍ර’ පුවත්පතට ලිපියක් යොමු කළේ ය. මෙය ලියැවී තිබුණේ ජනප්‍රිය රූපවාහිනී නිළියක වූ රමණි බර්තොමියුලස් සහ එච්.ආර් ජෝතිපාල ගේ අවමඟුල් උත්සවය අරභයා ය. “නූතන සිංහල සංස්කෘතිය පිළිබඳ අලුත්ම පාඩම් පන්තිය ඇරඹිය යුත්තේ කනත්තෙනි. පසුගියදා සිදු වූ අවමඟුල් දෙකකින් සිංහල සංස්කෘතිය හා එහි නුදුරු අනාගතය පිළිබඳ ව විශ්වවිද්‍යාලයකින් හෝ ලද නොහැකි පාඩමක් අප දෑස් ඉදිරියේ මැවී පෙනුණේ ය.

ජෝතිපාල හා රමණිගේ මළගම්වලට ආ දහස් සංඛ්‍යාත ජනකායට ඇතුළත් වූයේ කවුද? එයින් සියයට අනූවක් ම ළා බාල තරුණ තරුණියන් ය. වැල නොකැඩී ඔවුන් මාලිගාවත්තට හා ගම්පහටත් පසුව කනත්තටත් එක්රැස් වූයේ ඔවුන් ගේ සංස්කෘතික ජීවිතය පෝෂණය කළ තරු දෙකකට අවසාන ගෞරව දැක්වීමටයි. ඉස්සර දේශපාලනඥයන්ට, පැවිද්දන්ට, සාහිත්‍යකාරයන්ට ලැබුණු පිළිගැනීම දැන් වෙනතකට හැරී සිනමා, රූපවාහිනී නළු නිළියනට හා ගායක ගායිකාවන්ට පිදේ. මේ වෙනසෙන් අපට දැකගත හැක්කේ නූතන සිංහල සංස්කෘතියේ ප්‍රබල හර පෙරළියකි... ජෝතිපාල මේ තරුණ කල්ලියේ සංස්කෘතික වීරයෙක් වූයේය.

ඔහුගේ අවමඟුල් පෙරහැරේ දකින්නට ලැබුණේ ‘අපේ කලා රජාට නිවන් සැප ලැබේවා!’යි ලියැවුණු නාම පුවරුයි... සංස්කෘතිය යන්න වැවටත්, දාගැබටත් සීමා වූවක් නොවේ.

එය රැකෙන්නේ පන්සලේ හා පාසලේ පමණක් නොවේ. මිනිසුන්ගේ සැබෑ ලොවේ සිතුම් පැතුම් රුචි අරුචිකම් සියල්ල ම සංස්කෘතියට ගෝචර වේ. සිංහල සංස්කෘතිය අද ගොඩනැඟෙන්නේ පන්සලේ සහ කුඹුරේ නොව රූපවාහිනී සහ ගුවන්විදුලි මධ්‍යස්ථානවල ය; කැසට් රෙකෝඩ්බාර්වල ය; සිංහල චිත්‍රපට පෙන්වන සිනමා ශාලාවල ය; වේදිකා නාට්‍ය රඟ දැක්වෙන රඟහල් තුළ ය. එන්න එන්නම අප බහුතරය සොයා යන විප්ලවය ඇත්ත වශයෙන් ම නිරූපණය වන්නේ මේ බහු මාධ්‍යයෙනි. ඔවුන් දකින්නේ කාල් මාක්ස් දුටු දාඩිය මුඟුරු හෙළන අඳුරු ලෝකය නොවේ.”

එකල මේ ලිපිය සිංහල සංස්කෘතික උරුමක්කාරයන් ව සිටි පේරාදෙණිය ගුරුකුලය මූලිකකොටගෙන ගොඩනැඟී තිබුණු පොල්මක්කාර සංස්කෘතියට මරු පහරක් විය. එය ද පේරාදෙණිය ගුරුකුලයෙන් ම නැඟී ආ අමුණුගම වැන්නකු අතින් සිදු වීම විශේෂත්වයකි.

එසේම එදා අමුණුගම පළ කළ අදහස් අද යථාර්ථයක් වී ඇතත්, දැන් රෙකෝඩ්බාර්වලට, වේදිකා නාට්‍යවලට හා සිනමාවට කළ හැකි දෙයක් නැත. ඒ වෙනුවට සමාජ ජාල විසින් ඒ කාර්ය බාරගෙන තිබේ. විවිධ සුපර්ස්ටාර් ප්‍රේග්රූම්වලින් ජෝතිගේ ගී ගයා ජනප්‍රිය කර පුම්බා උඩ හැරි බැලුන් දැන් පොළොවට පතිතවී හමාරය.

ඒ අතර සමාජ මාධ්‍ය මඟින් ජෝතිගේ ගී ගයා ජනකාන්ත වූ ගායන ශිල්පියකු වන සුනෙත් උදයරත්න මේ වනවිට කිසියම් ස්ථාවරත්වයකට පත්ව සිටියි. හේ මෙවර ජෝති සැමරුම වෙනුවෙන් කුමක් කරන්නේදැයි රසඳුන කළ විමසීමේදී හෙතෙම කියා සිටියේ “ අද මම ජීවත් වන්නෙ ජෝතිපාල නම් ඒ අසාහය කලාකරුවාණන්ගේ ගීත ගායනා කරලා. මට මේ ජනප්‍රියත්වය ලැබිලා තියෙන්නේ එතුමා නිසා. මං ළඟකදි එතුමාගේ සොයුරිය හමුවෙන්න ඇගේ නිවසට ගියා.

එතුමිය තුළ වූ ගුණයහපත් කමින්ම මං ජෝතිපාල මහත්මයා කියන්නෙ මොනවගේ කෙනෙක්ද කියලා දැක්කා.

හදවත රත්තරන් ජෝති කියලා මිනිස්සු එතුමව හැඳින් වුයේ ඇයි කියලා මට ඒ මොහොතේ අවබෝධ වුණා. මෙවර එතුමගෙ තිස්පස්වන සැමරුම වෙනුවෙන් මං උපහාර ගීතයක් නිර්මාණය කළා.”

 

“හදවත රත්තරන්

ඔබ ගැයූ ගී ඉස්තරම්...

ඒ ගී මේතරම්

මට ළෙන් ගතුයි ඇති තරම්...

 

මේ විශ්වයේ ඔබගෙ ගී හඬ රැවුදෙනා

ඒ දෙව් ලොවේ දෙව් රජුන් මට ඔබ තමා

‌නොනිමෙනා සසර කතරේ

නුඹගෙ ගුණ නම් නැත නිමා...”

 

මෙම ගීතය හත්වැනිදා ගුවන්විදුලිය ඇතුළු බොහෝ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය විය. ඒ ගීතය අහපු බොහෝදෙනා සුනෙත්ට ප්‍රශංසා කර තිබුණි. මෙතෙක් කලක් ස්ක්‍රීන් වොයිස් (Screen Voice) එකක් සොයා ගැනීමට තිබූ අභියෝගය සුනෙත්ගේ මේ ආගමනයත් සමඟ කිසියම් විදයකින් යථාවත් වෙමින් තිබේ.

මෙවර ජෝති මිතුරු හවුල විසින් රටේ පවතින තත්වය තේරුම් ගෙන ජෝති උපහාර සංගීත ප්‍රසංගය නොපවත්වා අඩු ආදායම් ලාභී පවුල් තිස්පහකට වියළි ආහාර ද්‍රව්‍ය ලබාදීමට කටයුතු කළ බව එහි ලේකම් අජිත් ජෝතිය කරසිංහ රසඳුනට පැවසීය.

 

Comments