
“ඇය හමුවුනේ කවදා ද කොතැනද කියලා මට හරියටම මතක නැහැ. ඒත් අපේ ඇස් ආදරයෙන් බැඳුණා. මම අදටත් මතක් කරනවා අපි මුලින්ම හමුවුණ දවස. ඒ කාලේ අපි දෙන්නම ඉගෙන ගත්තේ එකම පාසලේ. ඒ නිසා ස්ථිරයෙන්ම කියන්න මතක නැහැ අපි මුලින්ම හමු වූ දවස ගැන. ඒක එහෙම වුණත් අපි අපි ගැන ආදරයෙන් හිතපු දවස නම් මට අද වගේ මතකයි. එයාගේ අම්මයි තාත්තයි අපේ සම්බන්ධයට කැමති වුණේ නැහැ.
එයාලට තිබුණේ මා ගැන එකම එක හේතුවක් විතරයි. ඒ මගේ දුප්පත්කම. ඇයගේ දෙමාපියන් මට අකමැති වෙද්දිත් මට හිතුණේ නැහැ ඇයව අතහරින්න. ඒ තරමටම අපි අපේ හිත්වලින් බැදිලා හිටියේ.
“අපි අපේ දුවව දුප්පත් කොල්ලෙක්ට දෙන්න කැමති නැහැ.“ එයාගේ අම්මා මගේ යාළුවෙක්ට එහෙමයි කියලා තිබුණේ. ඇත්ත කටුමැටි ගහපු ගෙදරක හිටිය මට ඇයට සැප සම්පත් දෙන්න හැටියක් තිබුණේ නැහැ. මම විදේශගත වුණේ මේ අතර. “ඔයා එනතුරු මං ඉන්නවා“ අවසන් සමුගැනීමේදී ඇය මට කිව්වේ එහෙමයි.
හිතේ දුක පුරවගෙන මං රට ගියා. මම අපේ අම්මට නංගිටත් බලලා හැම සතයක්ම ඉතරිකෙරුවා අපි වෙනුවෙන්. මුලදි මුලදි එයා මට ලියුම් එව්වා. ඇයව අතහරින්න මගේ කිසිම අදහසක් තිබුණේ නැහැ. ඒත් මට එයා ගැන තොරතුරු නැතිව ගියා. යාළුවන්ගේන් ඇහුවත් කිව්වේ දන්නේ නැහැ කියලා. අවුරුදු හතරකට පස්සේ මම ලංකාවට ආවා. මුලින්ම ගියේ එයාව හොයාගෙන. ඒ වෙනකොට ඒ ගෙදර වෙන කෙනෙක් මිලට අරගෙන. ඒ අය දන්නෙත් නැහැ ඔවුන් කොහෙද කියලා. මට හිත හදා ගන්න බැරි වුණා.
අදටත් මම දන්නේ නැහැ එයා කොහේ ඉන්නවද කියලා. එත් මගෙ හිත තවමත් එයා ගැන හිතනවා. අපි හමු වුණ ඒ අතීතය හරි මිහිරියි. ගහකොළ පරිසරයට පෙම්බැන්ද අපි හමු වුණෙත් එවන් පරිසරයන් වලයි. අපි හිටපු නගරයට ආසන්නයෙන් තිබුණා පුංචි වන රොදක්. දැන් නම් ඒ්ක එහෙමම තියෙනවද කියන්න දන්නෙත් නැහැ. මම තවමත් තනිකඩයි. ඇයට දුන්න ඉඩ හිතේ තවත් කෙනෙක්ට දෙන්න බැහැ.
මට හිතෙන්නේ එහෙමයි. අම්මා ඉන්නතුරු මම ඇයව බලන්න එනවා. ලොකේ කොහේ හිටියත් මගෙ හිත එයා ගැනම වද වෙනවා. සමහරු නම් මට බණිනවා මං මහ මෝඩයෙක් කියලා. මං දන්නේ නැහැ ඒක එහෙමද කියන්න. දැන් මම මේ තනිකඩකමට ආදරෙයි.“
මා මිත්‍රයා ඔහුගේ අතීත ප්‍රේමය ගැන පැවැසුවේ එලෙසිනි.
ඔහු දැන් තරුණ විය ඉක්මවමින් සිටි නමුදු සොයා ගන්න බැරි ලෙසින් සැඟව ගිය ආදරයේ නාමයෙන් ඔහු තවමත් වැලපේ. හිතමිතුරාගේ වේදනාව ඒ පෙම් සබැඳියාව ගැන අලුත් වුයේ මේ ගීතය ඇසීමේදීය.
ප්‍රේමයේ ඇතිවීම නැති වීම විරහව ගැන ඕනෑතරම් ගී පද ලියැවී ඇත. අද බිහිවන ගී අතර ඇසුන මේ ගීතය හිතට දැනුවුයේ ද එක්තරා අන්දමකින් චමත්කාරයකි.
මේ ගීතය ගයන්නේ ප්‍රවීණ ගායන ශිල්පි සෝමසිරි මැදගෙදරයන්ය. සංගීතය සපයන්නේ මධුසංඛ රත්නායකයන්ය. මෙහි ගී පද ලියන්නේ නන්දන සමන් සිරි නාපාවලය .
ගීතය පිළිබඳ අදහස් දැක්කවු ගීපද රචක නන්දන සමන් සිරි නාපාවලයන් පවසන්නේ මෙවැනි අදහසක්.
“ ප්‍රේමය ගැන බොහෝ ගීත ලියැවෙනවා. අදටත් අපි ආදරයෙන් අසන විඳින ගී නිර්මාණ තියෙනවා. ඒ අතර මා ලියු මේ ගීතයේ අත්දැකීම මගේ ම නොවුණත් එය අපේ ජීවිත වලටත් සම්බන්ධයි.
ප්‍රේමණීය හැඟුමින් පිරුණ සිතක ඇතිවන මිහිරියාව, තමයි මෙහි කියැවෙන්නේ. යෞවනයේ සැබෑ සුන්දරත්වයේ සිතිවිලි මත, හදවත් දෙකක්, සොබා සෞන්දර්යයට පෙම්බඳින ඒ හිත්වල මිහිරියාවයි මම ලියන්නට උත්සාහ දැරුවේ. මිහිරියාව අත් විඳින්න අපි අපේම වෙන්න ඕන නැහැ. ආදරණීය හිත් දෙපැත්තක තිබුණත් ආදරය ආදරයමයි.
“ඔබ ද මා බොහෝ දුර ආ
ප්‍රේමයේ ශුද්ධ වු නගරේ
හමා ආ ශීත සුළඟේ
මල් උයන් අතරේ
සිත් පහන් දැල් වුණා
සුවඳ හද කුටියේ..“
මම මෙහෙම ලියන්නේ බොහෝම ආදරයෙන්. මම ගහට කොළට පරිසරයට හැමදාමත් ආදරය කරන කෙනෙක්. කවදාවත් කාගෙවත් දේකට ඉරිසියා නොකරන කෙනෙක්. හිමි වුණත් නොවුණත් ආදරය ආදරයමයි. ඒ මිහිරියාව ගැන කියන්නයි මට ඕන වුණේ. ගීතයේ සාර්ථක ආසාර්ථක බව කියන්න අසන්නන්ට භාරයි. “
ගීපද රචක නන්දන සමන් සිරි නාපාවලයන් පවසන්නේ එහෙමයි.