පරිස්සමෙන් පඩි නගිනා සිදංගනා | සිළුමිණ

පරිස්සමෙන් පඩි නගිනා සිදංගනා

දිය මානෙල් මල් අරගෙන

පිදුරංගල විහාරයට

පරිස්සමෙන් පඩි නගිනා

සිදංගනා

අලි වැට ළඟ තරු ගණිනා

සිදංගනා

 

සළු වියනා ෆැක්ටරියට

පෝය නිවාඩුව ලැබිලා

මල් කඩයේ ගනුු දෙනුුවට

එන සිදංගනා

පිඳුරංගල විහාරයට

යමු සිදංගනා

 

කුවේර පුර හැමතැනකම

නළියන ඇස් උඹ වටේට

වහං වෙලා මැඳුරු දොරෙන්

එන සිදංගනා

පිදුරංගල විහාරයට

යමු සිදංගනා

 

ගායනය -

විශාරද සමන්ත පෙරේරා

ගේය පද -

සුසන්ත ජයනාල් පෙරේරා

තනුව සහ සංගීත්‍ය -

විශාරද තරංග සමරවික්‍රම

 

‘ජීවිතය සුන්දරය‘. අපි එහෙම කිව්වත් මේ සමාජයේ ජීවත් වන බොහෝම දෙනෙකුගේ ජීවිත සුන්දර නැත. එදිනෙදා ජීවිතයේ දහසකුත් එකක් ප්‍රශ්න අභියෝග හමුවේ ජීවත් වන ගැහැනුන් පිරිමින්ගේ ජීවිත කොහොම ද සුන්දර වන්නේ. එහෙම හිතුවත්, ඒ හිතෙන දේ කිව්වත් නොකිව්වත් මේ සමාජය තුළ දහසක් බාධක මැද්දේ ජීවිතය සොයන්නන් ද සිටී.

 

නගරයේ සිට වන්දනාවේ යන හෝ සංචාරයේ යෙදෙන ඔබට මට සීගිරිය හා ඒ අවට සිද්ධස්ථාන ගැන ඇත්තේ අප්‍රමාණ ගෞරවයකි.... ආදරයකි. නමුදු නිරන්තරවම ඒ ප්‍රදේශවල ජීවත් වන්නන්ට ඇත්තේ කටුක බව හා බැඳුණු දිළිඳු ආර්ථිකයකි. ජීවත් වන්නට නම් ඔවුන් ඒ සමාජය හා ගැටෙමින් කුමක් හෝ කළ යුතුය.

පාසල් දරුවනුත් පාසල් කාලයෙන් පසු මේ මඟ දිගට කුමක් හෝ විකුණනු දැකිය හැකිය. දිළිඳුකමත් සමඟ දිවි ගෙවන ඒ ජීවිත වල ඇත්තේ වෙනමම කතාවකි.

නිර්මාණකරුවකුට මේ ජීවිත දකින විට විවිධ දේ පරිකල්පනය කළ හැකිය. මේ එවන් නිර්මාණකරුවන්ගේ නැවුම් නිර්මාණයකි. වෘත්තියේ විදුහල්පතිවරයකු ලෙස කටයුතු කරන සුසන්ත ජයනාල් පෙරේරා මින් පෙරද ගීත බොහෝමයක් ලියා ඇත. ඔහුගේ ගී අතරින් මෑතකදි ලියැවුණ “දිය මානෙල් මල් අරගෙන“ ගීතය අපට බොහෝ දේ ගැන සිතන්නට පොලඹවන්නකි.

ඇඟලුම් ක්ෂේත්‍රයේ රැකියාව කරන ඇය දිවිගෙවන්නේ සීගිරියත් පිදුරංගල ග්‍රාමයත් ආසන්නයේය. කර්මාන්තශාලාවේ සේවය කරන ඇය නිවාඩු දිනයන් වල පිදුරංගල වෙහෙර වඳින්න එන අයට මල් විකුණයි. වැවේ පිපෙන දිය මානෙල් මල් කඩා ගෙනන ඇයට ඒ මල්වල සුන්දරත්වය දකින්නට වෙලාවත් නැත. ඒ ඔවුන්ගේ ජීවිතය එදිනෙදා ප්‍රශ්න වලට විසඳුම් සොයන බැවිනි. හැඩකාර චිත්‍ර වල සිටින රජදවස කාන්තාවන් ද ඒ තැන පැමිණ ඇත්තේ කැමැත්තෙන් නොවන්නට ඇත. එකල මෙකල කියා වෙනසක් නැත. එදවස සේම අදද යෞවනියන් පරිස්සම් වියයුතුමය. ජීවිත් වෙන්නට වෙන වෙහෙසත්, තම ආත්මගරුත්වය ආරක්ෂා කර ගැනීමත් ආදි වූ දහසක් ප්‍රශ්න පිංදුරංග වෙහෙර සමීපයේ මල් විකුණන තරුණියට ඇත.

ගීපද රචක සුසන්ත ජයනාල් කියන්නේ මෙවන් කතාවක්.

“ සිදංගනා ගීතය ගයන්නේ සමන්ත පෙරේරා. ඔහුගෙන් මගේ පද වලට සාධාරණයක් වුණා කියලා මම විශ්වාස කරනවා.මේ ගීතයේ තනු නිර්මාණය සංගීතය විශාරද තරංග සමරවික්‍රමයන්ගේ. තනු නිර්මාණයත්, සංගීතයත් මගේ පද වලට සාධාරණයක් ඉටු කළා.

ජීවත් වීමේ අරගලයක යෙදෙන ගැමි යුවතියකගෙ ජීවිත අත්දැකීම, සමාජ පරිසරය විග්‍රහ කිරීම තමයි අරමුණ වුණේ.

විශේෂයෙන් ඔවුන් හමුවේ ඇති අනාරක්ෂිත බව සීගිරි ආලකමන්දාව හා සම්බන්ධ ඓතිහාසික පුරාවෘත්ත සමඟ සමපාත කිරීමත් මෙහි එක් අරමුණක් වුණා. අලි වැට ළඟ තරු ගණිනා කියලා ලිව්වෙ අනාගත අවිනිශ්චිත බව කීමටයි. මට කියන්නට අවශ්‍ය වුණේ, ඒ පරිසරයේ දරිද්‍රතාවයෙන්, අගහිඟකම් මැද්දේ ජීවත් වන චරිත ගැන. ‘සිදංගනා‘ ඇය වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ජීවිතයේ අනේක දුක් වේදනාවන් වලට මුහුණ දෙන ගැහැනියක්“

Comments