චිත්‍රපට පෙන්වීමම ‘ගේමක්’ වූ කාලයේ තිරගත වන The Game | සිළුමිණ

චිත්‍රපට පෙන්වීමම ‘ගේමක්’ වූ කාලයේ තිරගත වන The Game

 

ජනප්‍රිය චිත්‍රපට අධ්‍යක්ෂ සුරංග අල්විස්ගේ නවතම සිනමාපටය The Game ජුනි මස 17වැනිදා සිට සාර්ථකව තිරගත වනවා. The Game හි ප්‍රධාන චරිතය නිරූපණය කරන්නේ රන්ජන් රාමනායක. නමුත් රන්ජන් තවම සිටින්නේ සිරගතව. ප්‍රධාන නළුවා සිරගතව සිටියදී තිරගත වන පළමු චිත්‍රපටය මෙය විම ද විශේෂත්වයක්. චිත්‍රපටයේ අධ්‍යක්ෂක සුරංග ද අල්විස් The Game ගැන රසඳුනට කී කතාවයි මේ...

 

මේ මගේ පස්වෙනි සිනමා නිර්මාණය. රජහොරු, මයිනේම් ඉස් බන්දු, හොරා පොලිස්, කිඩ්නැප් සහ ද ගේම්. කිඩ්නැප් චිත්‍රපටය තවම ප්‍රදර්ශනය කරගන්න බැරි වුණා. ඒක ප්‍රදර්ශනය වෙන්න තිබ්බේ කොවිඩ් කාලේ. නමුත් වත්මන් රටේ පවතින තත්වය සහ ප්‍රධාන භූමිකාවට පණ පොවන රන්ජන් අයියා ඇති කරගත්තා වූ ප්‍රශ්න කන්දරාව නිසා කිඩ්නැප් එකට කලින් ගේම් එක ඉස්සර වුණා. රන්ජන් අයියම යෝජනා කළා මිනිස්සු "මේ වෙලාවේ ඉන්න පීඩනයෙන් මිදෙන්න මේක බලන්න සලස්වන්න. ඒ නිසා මල්ලි පුළුවන් තරම් ඉක්මනට මේක රිලීස් කරන්න" කියලා.

අභියෝග කියන දේ මම හැමදාම භාර ගත්ත කෙනෙක්. මගේ පළවෙනි චිත්‍රපටය ‘රජහොරු‘ රිලීස් කරද්දී මට තිබ්බ අභියෝගය දෙපැත්තේ තිබ්බ චිත්‍රපට මට ෆයිට් කරන්න පුළුවන් ද කියන එක. එක චිත්‍රපටයක් මට මතක නැහැ. අනිත් පැත්තෙන් හිටියේ ජයන්ත චන්ද්‍රසිරිගේ සමනල සංධ්වනිය. මගේ දෙවන චිත්‍රපටය එන්නෙත් ඒ වගේම අභියෝගයක් මැද.

ඒ එන්නේ ජැක්සන් ඇන්තනිගේ ඇඩ්රස් නෑ සහ ගිරිරාජ් කෞශල්‍යගේ සුහද කොකා. අවසානයේ එවක ආදායම් අතින් මයිනේම් ඉස් බන්දු දෙවැනි තැනට ආවා. තුන්වෙනි පාර හොරා පොලිස් කරද්දී ත් මට ලැබුණේ ඒ වගේ ප්‍රබල චිත්‍රපට 2ක්. එකක් ප්‍රියන්ත අයියගේ ආදරණීය කතාවක් අනික් පැත්තෙන් සුනිල් සර්ගේ පත්තිනි චිත්‍රපටය.

මේ සැරේ මට ඇවිත් තියෙන්නේ වෙනස්ම අභියෝගයක්. මගෙ වටේ චිත්‍රපට නැහැ. නමුත් සමාජය ඇතුළේ ආර්ථික සහ සමාජීය ප්‍රශ්න කිහිපයක් තියෙනවා. නමුත් මම අධ්‍යක්ෂවරයෙක්, නිෂ්පාදකවරයෙක් සහ ශාලාහිමියෙක් විදියට පසුගිය දින කිහිපයම තමයි මගේ සිනමාශාලාවේ වැඩිම ආදායම් ලැබුවේ.

ඒ කියන්නේ අවුරුදු තුනකට පස්සේ සියලුම දර්ශන හවුස් ෆුල් වුණා. කොහොම නමුත් මම හිතනවා ප්‍රශ්න වලම ඉන්න වෙලාවක මිනිසුන්ගේ මනසට සහනයක් ගන්න හරි චිත්‍රපටය බලයි කියලා. හැබැයි මේක ලොකු අවදානමක් තියෙන වෙලාවක්. මගේ පුරුද්දක් තමයි ඕනෙම අභියෝගයක් භාර ගැනීම. ඒ වගේම මගේ නිෂ්පාදකතුමා ඉන්නෙත් මේ වෙලාවේ මේ චිත්‍රපටය මුදාහරිමු කියන තැන.

ඒ වගේම එක කරුණක් මිනිසුන්ගේ මනසට සහනයක් දෙන්න අපි චිත්‍රපටය මුදාහරිනවා. අනික් කාරණාව අවස්ථාවාදී තීරණයක්. ඒ තමයි රන්ජන් අයියා ඇතුළේ ඉන්න නිසා අපි මේ වෙලාවේ චිත්‍රපටය මුදාහරිනවා. ඒකට පුර්ණ ආශිර්වාදය සහ අවසරය රන්ජන් අයියාගෙන් තියෙනවා.

ප්‍රධාන නළුවා ජිවතුන් අතර සිටියදී ප්‍රධාන නළුවා නොමැතිව ජනගත වූ මංගල දර්ශනය තමයි ගේම් චිත්‍රපටය වෙනුවෙන් අපි තිබ්බේ. රංගන ශිල්පියෙක්ගේ එකම බලාපොරොත්තුව තමන් රඟපෑ චිත්‍රපටයක් සියැසින් රිදී තිරයේ දැකීම. අපි දන්නවා ඒ මොහොතක නළුවා හෝ නිළිය කොතරම් සතුටු වෙනවද කියා. මම රන්ජන් රාමනායකව පුද්ගලිකව දන්නවා. ඔහු නිර්මාණයක් වෙනුවෙන් කැපවන විදිය, ඔහු නිර්මාණයක් කළාම ඒකට දෙන වදය මම දන්නවා.

මගේ නිර්මාණ වල තිබ්බේ සරල රසවින්දනයක්. ඒක වෙනස් වෙන චිත්‍රපටය තමයි මගේ කිඩ්නැප් චිත්‍රපටය. හැබැයි දෛවයේ සරදමට ඒ චිත්‍රපටය තිරගත කරන්න දෙන්නේ නැහැ. මම චිත්‍රපටයක් කරන්නේ මගේ ඔළුවේ අමාරුවට නෙවෙයි. මට හිතෙනවා ප්‍රේක්ෂකයා මේක වැලඳගනී කියලා. බොහෝ අධ්‍යක්ෂවරු කරන්නේ තමන්ට ඕනේ දේ ප්‍රේක්ෂකයින් බලන්න ඕනේ කියලනේ. මගේ එහෙම එකක් නැහැ. නැත්නම් මටත් පුළුවන්නේ අතිශය සම්භාව්‍ය පිටරට ෆෙස්ටිවල් වලට පෙන්වන්න වැඩක් කරන්න. එහෙම එකක් කරන්න මට හිතෙන්නේ නැහැ.

මගේ ඇඟේ තියෙන්නේ බයිස්කෝප් කියන එක. අපි පොඩි කාලේ දැකපු මමයි රජා, රජ වැඩකාරයෝ, නොම්බර 17 වගේ බොක්ස් ඔෆිස් ෆිල්ම් දැකපු, ඒවායේ මංගල දර්ශන වලට ගිහින් දැකපු ලබාගත්ත වින්දනය අපේ කන්වල තාම දෝංකාර දෙනවා. දැන් අපට එහෙම වින්දනයක් ලබන්න පුළුවන් ඒක දෙමළ සිනමාව එක්ක. ලංකාවේ සිංහල සිනමාවේ දැන් එහෙම එකක් නැහැ.

ඉතින් මම හැමවෙලාවේම හිතන්නේ රසිකයෝ වෙනුවෙන් යමක් දුන්නොත් ඒ අය එයි. බලපු අය කියයි මාරු පික්චර් එකක් කියලා. ඒක තමයි මගේ බලාපොරොත්තුව. ඒ නිසා මම හිතනවා මේ සැරේ චිත්‍රපටය නිසාත්, රන්ජන් රාමනායක නිසාත් මේ චිත්‍රපටය බහුතරයක් නරඹයි කියලා.

මේ වෙද්දී LFD මණ්ඩලය CEl මණ්ඩලය සහ Scoope සිනමා කියන කණ්ඩායම් තුනම එකතුවෙලා ද ගේම් චිත්‍රපටය බෙදා හැරීම සිද්ධ වෙනවා. සාමාන්‍යයෙන් චිත්‍රපටයක් මුදාහරින්නේ ඒ මණ්ඩල විසින් චිත්‍රපටය නරඹලා. නමුත් මගේ හොරා පොලිස් සහ ද ගේම් චිත්‍රපටය මණ්ඩල වලින් බලලා නෙවෙයි ප්‍රදර්ශනයට එකඟ වුණේ. ඒ මගේ නිර්මාණ ගැන මණ්ඩල වල ඉන්න නිලධාරීන් සතු විශ්වාසය නිසා.

ඒ හින්දා මේ මොහොතේ මම, තුෂාන් රංගන, ගලගෙදර, රන්ජිත්, දිසානායක, හරිහරන් ඇතුළු කණ්ඩායම මතක් කරන්න ඕනේ. මේ වෙද්දී සිනමා ශාලා බොහෝමයක් වැසිලා ගිහින් තියෙන්නේ. හැම නගරයකම තිරගත වෙනවා. මේ මොහොතේ ජාතික චිත්‍රපට සංස්ථාවට සහ මණ්ඩල මට ලබා දෙන සහයෝගය ගැන මම සතුටු වෙනවා.

Comments