ලේබල් ගහන සංස්කෘතියක් ඇතුළෙ රැඳිලා ඉන්නවා කියන එකත් වටිනවා සිනමා කැමරා අධ්‍යක්ෂවරිය | සිළුමිණ

ලේබල් ගහන සංස්කෘතියක් ඇතුළෙ රැඳිලා ඉන්නවා කියන එකත් වටිනවා සිනමා කැමරා අධ්‍යක්ෂවරිය

අභියෝග එන තරමට ජීවිතය ශක්තිමත් කර ගන්නා ස්ත්‍රීන් කිසිවිටෙක කිසිවකගෙන් පරාජය නොවේ. ඔවුහු ජයග්‍රහණය අභිමුවට යති. මැය මාතලේ සුන්දර ගම් පියසක ඉපිද, මාතලේ විජය විදුහලෙන් මූලික අධ්‍යාපනය හදෑරුවාය. ඉන් අනතුරුව ගම්පහ යසෝධරා බාලිකාව හා රත්නාවලි බාලිකාවෙනුත් කලා විෂය ධාරාවෙන් උසස් පෙළ හැදෑරුවාය. උසස් පෙළ සමත් වූ ඇය කොළඹ විශ්වවිද්‍යාලයේ හොරණ ශ්‍රී පාලි මණ්ඩපයෙන් ප්‍රසංග කලාව පිළිබඳ විශේෂවේදී උපාධිය ලබා ගන්නීය.

 

මේ වන විට ඇය ජාත්‍යන්තරව කතාබහට ලක්වූ චරිතයකි. ඒ, ශ්‍රී ලංකාවෙන් බිහි වූ පළමු කැමරා අධ්‍යක්ෂකවරිය ලෙසයි. ඇය මධුනි අලහකෝන්ය. මේ ඈ සමඟ කළ කතාබහයි.

 

මේ දිනවල යාපනයේ රූගත කෙරෙන නවතම දමිළ Bombei doll දර්ශන තලයේ අලුත් තොරතුරු කොහොමද?

ගොඩක්ම හොඳයි. මගේ වාසනාව හැමවිටම මගේ ළඟ ඉන්නවා කියලා මම හිතනවා. ඒ නිසා මට අද සිනමා කැමරා අධ්‍යෂකවරියක් වෙන්න පුළුවන් වුණා. ගොඩක් අත්දැකීම් මේ දර්ශන තලයේදී මට ලැබෙනවා. ඒ සියලු දේම මගේ ගමන වෙනුවෙන් බොහොම‍ පරිස්සමට ගබඩා කරගන්නවා. මේ සිනමාපටයේ රූපගත කිරීම් 18 වැනිදා අවසන් කරනවා.

 

කැමරාකරණය පිළිබඳ සොයන්න ගන්නේ කොයි කාලේ ද?

මගේ අම්මගෙන් සහ අප්පච්චිගෙන් ලැබුණු ආභාසය මට ගොඩක් පිටිවහලක් වුණා. ඔවුන් දෙපොළ පොත්පත් කියවන්න හරිම රුචියි. ඒ නිසා ඒ පොත්පත්වල තියෙන රූප රාමු පින්තූර මගේ ඇසේ නිතර ගැටෙන්න ගත්තා. මම එහි තිබෙන වර්ණයන් සොයන්න ගත්තා. පොත්පත්වල තියෙන එකිනෙකට වෙනස් රූප රාමු වෙනස් වෙන්නේ ඇයි කියලා මම හිතුවා. වයස අවුරුදු පහළොවේදී විතර තමයි මේ දේවල් සිදුවෙන්න පටන් ගත්තෙ. මගේ සීයා නිතර ජාත්‍යන්තර වාර්තා චිත්‍රපට බලනවා. Discover චැනල්වල යන වාර්තා චිත්‍රපට බලලා මටත් කියන්න ගත්තා. මම වගේ වාර්තා චිත්‍රපට බලන්න කියලා. මමත් ඉන්පසු නිතර නිතර වාර්තා චිත්‍රපට බලන්න පටන් ගත්තා. ඒ ආසාව එන්න එන්නම වැඩි වුණා. ඉන්පස්සෙ මගේ අප්පච්චි මට කැමරාවක් අරන් දුන්නා. මම ඒ කැමරාවෙන් විවිධ දේවල් කළා. ගොඩක් අය මට හිනා වුණා ගෑනුන්ට පුළුවන්ද ඔය වැඩේ කියලා. ඒත් මම උත්සාහය අතෑරියෙ නැ. මගේ අප්පච්චි පස්සෙන් ඉඳලා මාව මෙතනට තල්ලු කළා.

 

සිනමා කැමරා අධ්‍යක්ෂණය ඉගනගන්නේ කොතැනින්ද?

මුලින්ම ශ්‍රී ලංකා රූපවාහිනී අභ්‍යාස ආයතනයේ රංජන් ගුරුසිංහ යටතේ කැමරා අධ්‍යක්ෂණය සහතික පත්‍ර පාඨමාලාව හැදෑරුවා. ඉන්පසු ඩිප්ලෝමා පාඨමාලාව ප්‍රවීණ කැමරා අධ්‍යක්ෂක දෙපළක් වන ඩොනල්ඩ් කරුණාරත්න සහ චන්ද්‍රලාල් මනමේන්ද්‍ර යටතේද ඩිජිටල් ෆිල්ම් ඇකඩමියේ වසර තුනහමාරක් වෘත්තිමය කැමරා ශිල්පි පාඨමාලාව හැදෑරුවා. ඒ ප්‍රවීණ කැමරා අධ්‍යක්ෂකවරුන් වන එම්. ඩී. මහින්දපාල සහ ධනුෂ්ක ගුණතිලක යටතේයි. ඒ වසර තුනහමාරක් තුළ ඉගෙන ගත්ත තැනින් තමයි මම වෘත්තීයමය කැමරා ශිල්පිනියක් ලෙස ක්ෂේත්‍රයට එන්නේ.

 

ඔබට ක්ෂේත්‍රයේ ප්‍රායෝගික පුහුණුව ලැබුණේ කෙසේද ?

ඇඳුම් නිර්මාණ ශිල්පිණියක් වන පූර්ණිමා මුහන්දිරම්ගේ සහය ඇඳුම් නිර්මාණ ශිල්පිනිය ලෙස කටයුතු කළා. නිෂ්පාදිකා ඉරන්ති අබේසිංහගේ internationa වැඩ කිහිපයක්ම කළා. මේ හැමදෙනාත් එක්කම වැඩ කළේ මගේ අරමුණ වෙනුවෙන් කටයුතු කිරිමටයි. සෙට් එකකට ගිය හැම වෙලේම මම බල බලා හිටියේ කැමරාවක ලෙන්ස් මාරු කරන විදියයි. කැමරා ඈන්ගල්, ආලෝකකරණය කරන්⁣නේ කොහොමද, කැමරා අධ්‍යක්ෂකවරයා කැමරාව හසුරුවන අයුරු , එහි ක්‍රියාකාරීත්වය මොන ආකාරයෙන් සිදු වනවාද, කැමරා දෙපාර්තමේන්තුවේ එක එක්කෙනාගෙන් එක්කෙනාට පැවරෙන වගකීම මොනවාද, සහාය කැමරා අධ්‍යක්ෂකවරයාගේ වගකීම මොකක්ද, අධ්‍යක්ෂවරයා සමඟ කැමරා අධ්‍යක්ෂකවරයාගේ ගනුදෙනුව මොන ආකාරයෙන්ද සිදුවෙන්නේ මේ දේවල් පිළිබඳ මට පූර්ණ අවබෝධයක් අවශ්‍ය වුණා. ඒ නිසා මම ඒවා හොයාගෙන ගියා. Beirut වලත් සහය කැමරා අධ්‍යක්ෂවරියක ලෙස මම වැඩ කළා.

 

ඔබේ පළමු කැමරා අධ්‍යක්ෂණය මොකක්ද ?

නයනී චන්ද්‍රසිංහ අධ්‍යක්ෂණය කළ රූප රචනයක් පුද්ගලික ආයතනයකට කළේ.

 

කාන්තාවක් හැටියට ඔබ මේ ක්ෂේත්‍රය තුළ ඉන්න තැන ගැන සෑහීමට පත් වෙනවාද ?

පිරිමි සහ ගැහැනු කියලා භේදයක් මේ ක්ෂේත්‍රයේ නැහැ කියලා මම හිතනවා. සමහර අය කියනවා පිරිමින්ට පමණයි මේ වෘත්තිය කරන්න පුළුවන් කියලා. ලෝකෙ කිසිම තැනක එහෙම දෙයක් ලියලත් නෑ. කවුරුත් කියලත් නෑ. ඕනම කෙනෙකුට ජීවිතයට ජය ගන්න ඕන දෙයක් ආශාවෙන් ගන්න ඕනෑ නම් ඒ දේ ලබා ගත යුතුයි. තමන්ගෙ කැපකිරීම හා තමන්ගේ ක්ෂේත්‍රය පිළිබඳව හොඳ ඉගෙන ගැනීමක් අත්‍යවශ්‍යයි. ගැහැනු සහ පිරිමි ලෙස වර්ගීකරණය කරන්න මම නම් කොහෙත්ම කැමැති නෑ. මම හරි සතුටින් ඉන්නේ මම අද ඉන්න තැන ගැන.

 

මේ වන විට පාවිච්චි කළ කැමරා වර්ග මොනවාද ?

ඇරි ඇලෙක්ස්, රේඩ්, සහ සෝනි යන වර්ග තුනේම මේතාක් අාපු සියලුම කැමරාවලින් රුපගත කරලා තියෙනවා.

 

ක්ෂේත්‍රයේ ඉන්න කාන්තා නියෝජනය ගැන මොකද කියන්න තියෙන්නේ?

ඇත්තටම ඔවුන් සියලු දෙනාටම මං ගරු කරනවා. මොකද ඔවුන් නිසා තමයි අද මටත් මෙතැනට එන්න ලැබිලා තියෙන්නෙ. ආචාර්ය සුමිත්‍රා පීරිස් මහත්මියගේ සිට අධ්‍යක්ෂකවරියන් නිෂ්පාදකවරියන්, ශබ්ද පරිපාලකවරියන්, හා වේෂ නිරූපණ. ඇඳුම් නිර්මාණ, කලා අධ්‍යක්ෂකවරියන් ඇතුළු විශාල පිරිසක් විවිධ අංශ යටතේ මේ ක්ෂේත්‍රය තුළ රැඳී ඉන්නවා. ඒ ගමන් මඟ මේ සියලු දෙනාගේම යහපත් ගමන් මාර්ගයක් ලෙසටයි මම දකින්නේ. ලේබල් ගහන සංස්කෘතියක් ඇතුළෙ රැඳිලා ඉන්නවා කියන එකත් වටිනවා.

 

මේ සිනමාපටයට ඔබව දායක කරගන්නේ කොහොමද ?

මම මේ තාක් කරපු වැඩවලින් වැඩියෙන්ම මට ලැබිලා තියෙන්නෙ දෙමළ වැඩයි. මම හිතන විදියට එයට හේතුව වෙන්න ඇත්තෙ මගේ ආලෝකකරණය පිළිබඳ ඔවුන්ට හොඳ පැහැදීමක් ඇතිවෙලා තියෙනවා. මේ නවයුගා කුගරාජා අධ්‍යක්ෂකවරිය සමඟ මම 2019 වෙළඳ දැන්වීමක් රූපගත කළා. ඒකත් එක් හේතුවක් වෙනවා කියල මම හිතනවා. අනික මේ බොම්බෙයි ඩොල් සිනමාපටයෙ වැඩි පිරිසක් ඉන්නෙ කාන්තාවන්.

Comments