අද කැපී පේන්නේ ගායකයා පමණයි | සිළුමිණ

අද කැපී පේන්නේ ගායකයා පමණයි

ගායකයාටත්, සංගීතඥයාටත්, ගී පද රචකයාටත් සමාන ගෞරවයක් හිමි විය යුතුයි

මම හිතනවා මමත් කලාකරුවෙක් නෙමෙයි කියලා. කලාකරුවා කියන්නෙ විශිෂ්ට දැක්මක් තියෙන යථාවාදී කෙනෙක්

නිර්මාණකරුවා සාමාන්‍ය දෘෂ්ටියෙන් එහා යමක් දකිනවා සේම එකී දෘෂ්ටිය නිර්ලෝභීව සමාජගත කරයි. ඔහු ද අපූරු නිර්මාණකරුවෙක් ලෙස හැඳින්වීමට අටුවා ටීකා අවශ්‍ය නොවන්නේ ඔහුගේ දෘෂ්ටියත් සුවහසක් සිත් තුළ මුල් බැස ඇති නිසයි. මේ තරම් සියුමැලිද කළුගල් ගීතයේ පද රචක රජී වසන්ත වෙල්ගම අද සිළුමිණ රසඳුන පත්තිරුව හැඩ කරන්නේ මෙලෙසයි.

 

කොහොමද මේ දවස්වල ජීවිතේ

අනික් මිනිස්සු වගේම මමත් සාමාන්‍ය විදිහට ජීවත්වීමට උත්සාහ දරනවා.

 

ඔබ ගී පද රචනයට පිවිසෙන්නේ කෙලෙසද?

මම පුංචි කාලේ කවි ලියලා විජය පත්තරේට දැම්මා. නමුත් කලාව තේරුම් යන්නේ උසස් පෙළ අවදියේදීයි.

මම සෑම විටම විශ්වාස කරනවා කලාව තුළින් සමාජයේ පවතින තත්වයන් සුළුවෙන් හෝ වෙනස් කර ඔසවා තැබිය හැකියි කියා. එකී කාර්යය මම ඉටු කරනවා.

 

බොහෝවිට සහෘදයන් ඇලෙන්නේ ප්‍රේම ගීත වලට වඩා විප්‍රවයෝගය දැනවෙන ගීත වල ටයි ඔබ එයට යම් හේතුවක් දකිනවද

විරහව කියන්නෙත් ආදරයේ එක් කොටසක්. ලෝකයේ සෑම කෙනෙක්ම ප්‍රේම කර තිබෙනවා.

ඒ වගේම විරහව විඳ තිබෙනවා. මනුස්සයෙක් කැමති අත්පත් කරගත් දේට වඩා අහිමි වූ දෙයටයි. එසේ අහිමි වූ දේ රස විඳීමත් කලාවක්.

මිනිසුන්ට ලැබෙන දේට වඩා නොලැබුණු දේවල් වැඩියි. ඒ නිසා එවැනි නිර්මාණවලට මිනිසුන් ඇලෙනවා වැඩියි.

 

නිර්මාණකරුවා සාමාන්‍ය දෘෂ්ටියට වඩා වැඩි යමක් දකින කෙනෙක්. වත්මන් නිර්මාණ තුළ ඔබ එවැනි ඉදිරි දැක්මක් දකිනවද?

ඔව් අනිවාර්යෙන්ම. ඇතැම් පිරිසක් කලා වෙනුවෙන් නිර්මාණ කිරීමට පෙලඹෙනවා. ඒ වගේම තවත් පිරිසක් කලාව සිදු කරන්නේ සමාජ ප්‍රගමනය උදෙසායි.

මම ආදරය කරන ධාරාව, කලාව සමාජ ප්‍රගමනය කිරීමේ ධාරාවයි. එකී කලාවෙන් රටක මිනිසුන්ගේ ඇස් අරවනවා. සමාජ අසාධාරණය පෙන්නුම් කරනවා.

ඒ වගේම අසාධාරණය වෙනුවෙන් නැඟී සිටීමට පොලඹවනවා. එවැනි දැක්මක් තියෙන, කැප කිරීමක් කරන කලාකරුවන් අතීතය තුළ වගේම වර්තමානය තුළත් සිටිනවා.

 

ඔබ ව්‍යංගයෙන් කියන්නේ කලාකරුවාට සමාජ ශෝධකයෙක් විය හැකියි කියාද?

මම හිතනවා මමත් කලාකරුවෙක් නෙමෙයි කියලා. කලාකරුවා කියන්නෙ විශිෂ්ට දැක්මක් තියෙන යථාවාදී කෙනෙක්.

කියන දේ වෙනුවෙන් පෙනී සිටින ඒ වෙනුවෙන් කැපවී ජීවිතය පවා පූජා කරන්නට දෙවරක් නොසිතන විශිෂ්ට පුද්ගලයන් එකී කුලකයට අයිතියි. ඔවුන් සල්ලිවලට පවා නැමෙන්නේ නැහැ.ඔවුන් විශ්වාස කරන දහමට ඔවුන් කැප වෙනවා.

ඔවුන්ගේ ක්‍රියාකලාපය වගේම ඔවුන්ගේ නිර්මාණ රසවිඳින මිනිසුන්, එකී කලාකරුවන්ගෙ පූර්වාදර්ශ තුළ ජීවිත ගොඩනඟා ගන්නවා. එවිට සමාජය වඩා යහපත් වගේම සුන්දර තැනක් බවට පත් වෙනවා.

 

නූතනයේ ගීත නිර්මාණ වල වැඩි අවධානයක් යොමු වන්නේ රූප රචනයටයි. රූප රචනයෙන් ගී පද රචනය විකෘති වනවා යැයි ඇතැම් විට චෝදනා කරනවා. ඔබ ඒ පිළිබඳ දරන මතය කුමක්ද?

එය දෙයාකාරයකට සිතිය හැකියි. මම කැමති පරමාදර්ශී ආකාරය රූප රචනය මගේ හිතේ මවා ගැනීමයි. උදාහරණයක් ලෙස "දවසක් පැල නැති හේනේ "ගීතය තුළ එකී හේන, පුතා, අම්ම යන මගේ හිතේ මැවෙන චිත්‍රය හරිම සුන්දරයි.

එය එක් එක්කෙනාගේ අත්දැකීම් මත එකිනෙකාට අනන්‍ය යයි. ඇතැම් ගීතවලට රූප රචනය නොගැළපෙන අවස්ථා පවතිනවා. ඒ වගේම රූපරචනය සිටි යම් චරිතයක් පමණක් මතකයේ රැඳී ගීතයම අමතක වන අවස්ථාත් පවතිනවා.

එසේ රූප රචනය පමණක් කැපී පෙනෙන අවස්ථා යම් යම් විට දැකගත හැකියි. නමුත් සාම්ප්‍රදායික මාධ්‍ය තුළ මේ වෙනවිට එකී තත්ත්වය බිඳ වැටිය හමාරයි. ඒ නිසා යූටියුබ් එකෙහි වචන පමණක් රැඳී ගීතයක් සමාජගත කිරීමට අපහසුතා පැන නගිනවා. වත්මන් සමාජය ප්‍රථමයෙන් රූපයට ආකර්ෂණය වෙනවා. ඒ නිසා අලුත් නිර්මාණ සමඟ රූප රචනා නොමැති වුවහොත් අප අසාර්ථක වෙනවා.

 

ඔබ එයින් අදහස් කරන්නේ වත්මන් ගීත තුළ සංකල්ප රූප මවා ගැනීම අපහසුයි කියාද?

එය වැරදි අදහසක්. අපට හොඳම දෙය එනම් සංකල්ප රූප මඟ හැරුණත් ඉන්පසුව ඇති හොඳ ම දෙය අපට තෝරා ගැනීමට සිදු වෙනවා. සමහර නිර්මාණවල රූප රචනයේ වැරැද්දක් මම දකින්නේ නැහැ. එය මගේ සංකල්ප රූපය නොවුණත් එහි යම් අපූර්වත්වයක් මම දකිනවා.

 

ගී පද රචකයන්ට වෘත්තිය මට්ටමෙන් ස්ථාවර වීමට අපහසු ඇයි

අප ගමන් කරන්නේ ලෝකය ගමන් මාර්ගයට විරුද්ධ ගමන් මඟකයි. ලෝකය දකුණට යනවා නම් අප යන්නේ වමට‍යි. පවතින තත්ත්වය සමඟ අපේ රට, ලෝකයේ කොටසක් ද කියන ගැටලුව මට පැන නඟිනවා.

ගායකයාටත්, සංගීතඥයාටත්, ගී පද රචකයාටත් සමාන ගෞරවයක් හිමි විය යුතුයි. නමුත් පවතින තත්ත්වය තුළ කැපී පෙනෙන්නේ ගායකයා පමණයි. ඒ පිළිබඳ කිසිදු ඊර්ෂ්‍යාවක් මට නැහැ.

නමුත් සංගීතඥයන්ටත්, ගීත රචකයන් ටත් අතමිට සරු නැහැ. එසේ වන්නේ ලෝකය ගමන් කරන දිශාවට විරුද්ධ දිශානතියක ගමන් කිරීමේ ප්‍රතිඵලයක් ලෙසයි.

Comments