ලස්සන මුහුණින් පැමිණි සිනමාවේ සූකිරි කෙල්ල සුමනා නික්ම යයි | සිළුමිණ

ලස්සන මුහුණින් පැමිණි සිනමාවේ සූකිරි කෙල්ල සුමනා නික්ම යයි

සිනමා ලෝකයේ පෙම් චරිත නිරූපණය කළ ඇතැම් නළුනිළියන් සැබෑ ලෝකයේ දීත්, පෙමින් බැඳෙන අවස්ථා දක්නට තිබේ. එසේ පෙමින් බැඳෙන නළුනිළියන් සිනමා ලෝකයේ පමණක් නොව, සැබෑ ලෝකයේත්, එකසේ බැබළෙන්නේ, නිබඳවම බොහෝ දෙනෙකුගේ ආදරයත්,ගෞරවයත් හිමි කර ගනිමිනි. එසේ සිනමා ලෝකයේත් සැබෑ ලෝකයේත් එකසේ බැබළී, ආදර්ශවත්ව තම ජීවන ගමන් මඟ සාර්ථක කර ගනු ලැබූ නළුනිළියන් යුවළ අතුරින් ප්‍රවීන නළුවකු මෙන්ම චිත්‍රපට අධ්‍යක්ෂවරයකු වූ රෝයි ද සිල්වා සහ ප්‍රවීන නිළියක මෙන්ම චිත්‍රපට නිෂ්පාදිකාවක වූ සුමනා

අමරසිංහට හිමි වූයේ, සුවිශේෂී ස්ථානයක්.

එනමුදු මේ වන විට එම නළු නිළි යුවළම මෙලොවින් සමුගෙන තිබීම අප සැමට ගෙන දෙන්නේ මහත් වූ කණගාටුවක්. මීට සිවුවසරකට ඉහත දී රෝයි ද සිල්වා සිනමා ලෝකය හැරදා ගිය පසුබිම ඔහුගේ ආදරණීය සහකාරියත්, 2022 ජූනි මස 05 වැනිදා සිනමා ලෝකයට අහිමි වේ. සුමනා අමරසිංහ මෙලොවින් හැර යන විට 74 වියේ පසු විය.

සුමනා අමරසිංහට මුලින්ම සිනමාවට පැමිණෙන්නැයි ආරාධනාවක් කරනු ලබන්නේ මෙරට ප්‍රවීණ නළුනිළි කැළක් විසින්. ඒ සිංහල සිනමාවේ සක්විති ලෙස විරුධාවලිය ලත් ප්‍රවීණ රංගධර ආචාර්ය ගාමිණී ෆොන්සේකා, ප්‍රවීණ රංගනධාරිනියන් වූ විජිත මල්ලිකා, ජීවරාණී කුරුකුලසූරිය, සහ රූබී ද මෙල් විසින්. යටිසිතෙහි ඇල්මක් තිබුණත්, දෙමාපියන්ගේ ද විරෝධතා හමුවේ සුමනා අමරසිංහ එම ඉල්ලීම නිදැල්ලේ යන්නට ඉඩ හැර තිබෙනවා. එහෙත් දෛවය නැවත වරක් ඇය සිනමාවට සම්බන්ධ කරවීමට තරම් ඉඩ හසරක් සලසා දුන් බවයි සැළවෙන්නේ. ඒ ඇයගේ පාසලේ මිතුරියක විසින් එවක ලේක්හවුස් ආයතනය මගින් ප්‍රකාශ වූ ජනතා පුවත්පත සංවිධානය කළ “ලස්සන මුහුණු” තරඟයට යොමු කරවීමත් සමඟයි. චිත්‍රපටි සඳහා නවක නිළියන් තෝරන මෙම තරඟයෙන් ඇයට පළමු තිදෙනා අතරට පැමිණීමට අවස්ථාව උදා වේ. එහි ප්‍රතිඵලයක් ලෙසයි, එම තරඟයේ ද විනිශ්ච මණ්ඩලයේ නියෝජනය කළ ජ්‍යෙෂ්ඨ රංගධාරිණියක වූ රූබි ද මෙල්ගේ ඇරයුමකින් ඇයට සිනමාවට සම්බන්ධ වීමට ලැබෙන්නේ.

ඒ අනුව සුමනා අමරසිංහයන්ගේ මුල්ම චිත්‍රපටය වූයේ, වර්ෂ 1967 දී තිරගත වූ “පිපෙන කුමුදු” යි. එම චිත්‍රපටයට සම්බන්ධ වීමත් සමඟ ඇයට තවත් චිත්‍රපටි ගණනාවක රඟපෑමට අවස්ථාව හිමි වී තිබෙනවා. රෑන ගිරව්, දහසක් සිතුවිලි, හතර පෙරළිය, බිනරමලී, සුමුදු භාර්යා, දැන් මතකද, සමනල කුමරියෝ, සිංගප්පූරු චාලී, හතර වටේ මෙන්ම ලොකුම හිනාව ඉන් කිහිපයක්. කෙසේ වෙතත් ඒ. එල්. එම් පෙරේරා නිර්මාණය කළ හතර පෙරළිය චිත්‍රපටය සුමනා අමරසිංහයන්ගේ ජීවන පෙරළියක් ඇති කිරීමටත් හේතුවක් වන බවයි සැළවෙන්නේ. ඒ ඇයගේ ඇයගේ නිකැළැල් යුග දිවියේ සාර්ථකත්වයට උර දුන් ප්‍රේමණීය සහකරුවා වූ රෝයි ද සිල්වා හමුවීමෙන්.

සුමනා අමරසිංහ රෝයී ද සිල්වා සමඟ ප්‍රේමණීය ජවනිකා රඟපෑ චිත්‍රපටි අතුරෙන් මේ දෑස කුමට ද?, ශීලා, සුනේත්‍රා, ඔබයි මමයි, සූකිරි කෙල්ල මෙන්ම රන්වන් රේඛා ප්‍රධාන වේ. සූකිරි කෙල්ල චිත්‍රපටයේ දුගී පවුලක ගීතා නැමති අහිංසක යුවතියක මෙන්ම ධනවත් පවුලක සුජී නැමති සංකර යුවතියකගේ ද්විත්ව චරිත ඇයට ජනප්‍රිය නිළියක් වීමට බොහෝ සේ ඉවහල් වී තිබෙනවා. එමෙන්ම එම චිත්‍රපටයේ රඟපෑමට සිනමාලෝලීන් කෙතරම් ආකර්ෂණීය වූයේද යත්, සිනමාවේ සූකිරි කෙල්ල ලෙසින් හැඳින්වීමටත්, හේතු වීම විශේෂයක්. වර්ෂ 1975 වන විට සිංහල සිනමාවේ කැපී පෙණුනු ආදරවන්තයන් වූයේ රෝයි සහ සුමනා. මෙම පෙම් යුවළ දෙදෙනාගේම ජනප්‍රියත්වය ඉහළ යෑමට බොහෝ සේ බල පා තිබෙනවා. ඒවාගේම සුමනා අමරසිංහ එවක ප්‍රවීණ රංගධරයන් ලෙස හැඳින්වූ ජෝ අබේවික්‍රම, තිස්ස විජේසුන්දර, ඩග්ලස් රණසිංහ, රොස්මන් ජයසිංහ මෙන්ම රවීන්ද්‍ර රන්දෙණිය සමගත් අවස්ථා ගණනාවක දී රඟපෑ බවයි සිනමා ඉතිහාසයෙන් වාර්තා වන්නේ.

සුමනා අමරසිංහ සිනමා මාධ්‍යයේ තාක්ෂණය පිළිබඳව හොඳ දැනුමක් තිබූ ශිල්පිණියක්. ඇය නිෂ්පාදිකාවක් ලෙසත්, රෝද සිල්වා අධ්‍යක්ෂණය කළ චිත්‍රපට රැසකටම දායකත්වය සපයා දී තිබෙනවා. ඒ අතුරින් ප්‍රධාන ස්ථානයක් හිමි වන්නේ, ටොම් පචයා, චෙරියෝ ඩොක්ටර්, චෙරියෝ ඩාලිං, ජොන්සන් ඇන්ඩ් ගොන්සන්, හිතහොඳ කොල්ලෙක් යන චිත්‍රපටිවලටයි. මෙම චිත්‍රපටි හාස්‍යයෝත්පාදන ප්‍රභේදයට ගැනුණත්, සමාජය තුළ විවිධ ගැටලු මධ්‍යයේ ජීවත් වූ මිනිසුන්ට සිනමා මාධ්‍ය තුළින් කිසියම් සහනයක් ලබා දීමට සුමනා අමරසිංහ දැරූ වෑයම අගය කළ යුතු යි. එමෙන්ම ඇයගේ නිෂ්පාදනයෙන් නිමැවුණු තණ ගිරවී, සුදු පිරුවට වගේම ගෙදර බුදුන් අම්මා වැනි චිත්‍රපටි සෞන්දර්යාත්මක ගුණාංග වලින් යුක්ත වී තිබූ බව බොහෝ සිනමාලෝලීන්ගේ අදහසයි. It’s Matter of Love ඉංග්‍රීසි චිත්‍රපටය නිෂ්පාදනය කර තිබෙන්නේත් සුමනා අමරසිංහ විසින්.

නිෂ්පාදනය, කළමණාකරණය ගායනය, සහය අධ්‍යක්ෂණය, සහය සංස්කරණය යන අංශ කිහිපයකම නියැළුණ මෙරට සිංහල සිනමාවේ එකම නිළිය වූයෙත් සුමනා අමරසිංහ ය.

දුලීකා, මිහිදුම් සිහින, කඩවුණු පොරොන්දුව (නව නිපැයුම) ගෙදර බුදුන් අම්මා, සුමනා අමරසිංහන් සිනමාලොව ඉහළ තලයට රැගෙන ගිය චිත්‍රපට කිහිපයක්. අවස්ථා ගණනාවක දී ජනප්‍රිය නිළියක වූ ඇයට, කඩවුණු පොරොන්දුව මෙන්ම සුදු පිරුවට චිත්‍රපටවල රඟපෑම වෙනුවෙන් සම්මාන හිමි වේ. කඩවුණු පොරොන්දුව චිත්‍රපටයේ මුල් නිපැයුමේ ප්‍රවීණ නිළි රුක්මණී දේවියගේ චරිතය එහි නව නිපැයුමේ දී නිරූපණය කළේ සුමනා අමරසිංහ වීමත් විශේෂයක්. චිත්‍රපට 86 ක පමණ රංගනයෙන් දායකත්වය සැපයීමත්, චිත්‍රපට 06 පමණ නිෂ්පාදනයෙන් දායකත්වය සැපයූ ඇයට සුමති සම්මාන උළෙලක දී ජීවිතයට එක් වරක් පිදෙන යාවජීව සම්මානය ද හිමි වී තිබේ.

ඇය අවසන් වරට චිත්‍රපටි දෙකකට රංගනයෙන් දායකත්වය සපයා දී තිබෙන අතර, ඉන් “සදාදර ජෝති” චිත්‍රපටය නුදුරු දිනක දී තිරගත වීමට නියමිතව තිබේ. එමෙන්ම තම ආදරණීය සැමියා වූ රෝයි ද සිල්වා නිර්මාණය කළ තිර පිටපතක් සිනමාවට නැඟීමටත් සුමනා අමරසිංහ සූදානමින් සිට ඇත.

Comments