ගුවන් ගමන් යන්න බය ගයාන් | සිළුමිණ

ගුවන් ගමන් යන්න බය ගයාන්

දැන් ගයාන් ඉස්සර තරම් ගුවන් ගමන් යන්න බය නැහැ-බිරිය චතුරිකා කියයි

 

ගයාන් වික්‍රමතිලක සහ චතුරිකා පීරිස් කියන්නේ ප්‍රේක්ෂක හද දිනූ ආදරණීය රංගන ශිල්පීන් දෙපළක්. ගයාන් රංගනයෙන් දායක වන ටෙලිනාට්‍ය කිහිපයක් මේ දිනවල විකාශනය වෙනවා. ඒ අතරින් ‘කියාදෙන්න ආදරේ තරම්’ ටෙලි නාට්‍යයේ නාහෙට නාහන දඩබ්බර ‘වසන්ත’ කියන්නේ ප්‍රේක්ෂකයන් විසින් ආදරයෙන් වැලඳගත් චරිතයක්. තිරය ඉදිරියේ දඩබ්බරයෙක් වුණාට ගයාන් වික්‍රමතිලක කියන්නේ සැබෑ ජීවිතයේදී බොහොම ආදරණීය චරිතයක් බවයි බොහෝ දෙනා කියන්නේ. පුංචි තිරයේදී බොහෝ වාරයක් දඟකාර පෙම්වතියගේ චරිතය නිරූපණය කළ චතුරිකාත් දැන් ආදරණීය මවක්. ගයාන්ගේ සහ චතුරිකාගේ ආදරණීය කැදැල්ල ආලෝකමත් කරන්නේ ඔවුන්ගේ සිඟිති දියණිය, ආරාධනා.

 

කලකට පසුව අපි ගයාන්ගේත් චතුරිකාගේත් ආදරණීය කැදැල්ලට ගෙවැදුණේ ඔවුන්ට ආදරය කරන දයාබර ඔබ වෙනුවෙන්. චතුරිකා අපව පිළිගත්තේ බොහොම ළෙන්ගතුවයි.

 

කොහොමද මේ දවස්වල වැඩ කටයුතු?

මේ දවස්වල රටේ තියෙන තත්ත්වය එක්ක රංගන කටයුතු ගොඩක නිරත වෙන්නෙ නැහැ. මම රඟපාන එක ටෙලි නාට්‍යයක රූගත කිරීම්වලට සහභාගි වෙනවා. මාසෙකට දවස් තුන හතරක් ඒකේ ෂුටින් කෙරෙනවා. ඊට අමතරව වෙනත් රූගත කිරීම් මාසෙකට දවසක් දෙකක් වගේ කෙරෙනවා. ගයානුත් මේ දවස්වල ටෙලි නාට්‍ය කිහිපයක රූගත කිරීම්වලට සහභාගී වෙනවා. පහුගිය අප්‍රේල් මාසේ වෙනකම්ම අපි දෙන්නා ගොඩක් කාර්යබහුල වෙලා හිටියා. දැන් ඒ තත්ත්වය නැහැ. විශේෂයෙන් ඉන්ධන හිඟයත් එක්ක අත්‍යවශ්‍යම දේකට විතරයි අපි දැන් ගෙදරින් එළියට යන්නෙත්.

 

ඒ කියන්නේ කාලෙකට පස්සේ ලැබුණු නිවාඩුවක්?

එහෙම කියන්නත් පුළුවන්. විශේෂයෙන් දෝණි එක්ක වැඩිපුර කාලයක් ගතකරන්න දැන් අපිට අවස්ථාව ලැබිලා තියෙනවා. ඒ නිසා දෝණිත් එක්ක ගෙදරටම වෙලා ඉන්නවා. එයාගේ වැඩවලට තමයි මේ දවස්වල මුල් තැන දීලා තියෙන්නෙ. ඒ හැරුණාම වැඩිපුරම ඉන්නේ පෙට්ට්‍රල් පෝලිම්වල තමයි.

 

දියණිය ගැන වැඩි විස්තර කියනවා නම්?

දුව ආරාධනාට දැන් වයස අවුරුදු දෙකයි මාස 9ක් වෙනවා. එයා දැන් පෙර පාසල් යනවා. ඉතින් එයාගේ ඉස්කෝලේ වැඩවලට තමයි මේ දවස්වල වැඩිපුරම කාලය ගතවෙන්නේ. ඒක අපි දෙන්නටම ලොකු සතුටක්.

 

ළඟදි ගුවන් ගමනක් එහෙම ගියේ නැද්ද?

ළඟදිම නම් ගියේ නැහැ.

 

ඒ ඇයි? ගයාන් ගුවන් ගමන්වලට බය නිසාද?

නෑ. නෑ. ඒ නිසා නම් නෙවෙයි.

 

ඇත්තටම ගයාන් ගුවන්යානාවල යන්න බයයිද?

මුලින් නම් ගයාන් පොඩ්ඩක් විතර බය වුණා. ඒ, එයා පොඩිකලේ ඉඳලම උස තැන්වලට ගිහින් පහළ බලන්න තියෙන බයක් මිසක් ප්ලේන්වල යන්න තියෙන බයක් නෙවෙයි. ගයාන් නම් කියන්නේ සමහර විට එයා ගිය ආත්මේ උඩකින් වැටිලා මැරුණ කෙනෙක්ද දන්නෙ නැහැ කියලයි. මේ වෙද්දි අපි කීප සැරයක්ම ගුවන් ගමන්වල යෙදිලා තියෙන නිසා ගයාන් දැන් ඉස්සර තරම් බය නැහැ. ඔය බය කතාව ආවේ ගයාන්ගේ පළමු වැනි ගුවන් ගමනෙදි.

 

ඒ ගැනත් ටිකක් කියමුකො?

මේක වුණේ 2014 දි විතර වගේ. අපි දෙන්නා පළමුවැනි සැරේට ජොර්දාන් යන්න ගියා. එදා කටුනායක එයාපෝර්ට් එකෙන් ප්ලේන් එක නග්ගද්දි ගයාන් එකපාරටම නැඟිටෙන්න වගේ ගියා. මම අතින් අල්ලලා ඉන්දෙව්වා. ඒක වුණේ ඒක එයාගේ පළමු ගුවන් ගමන නිසා. දැන් නම් එහෙම බයක් නැහැ.

 

ගයාන් එහෙම බය තව දේවල් තියෙනවද?

එයා උස තැන්වලට ගිහින් බිම බලන්න බයයි. පිරටටවලට ගියාම මම හරිම ආසයි රෝලර් කෝස්ටර්වල යන්න. ගයාන් ඒ වගේ ඒවායේ යන්න එන්නෙත් නැහැ. මට තනියම යන්න කියනවා. හැබැයි සමහර වෙලාවට මට යන්නත් එපා කියනවා.

 

මේ දවස්වල ගෙදර වැඩ කෙරෙන්නේ කොහොමද?

ගෙදර වැඩ නම් අපි දෙන්නම ප්ලෑන් එකක් ඇතිව සහයෝගයෙන් කරගෙන යනවා.

 

ගෑස් ප්‍රශ්නය නිසා ඉවුම්පිහිමු කටයුතුවලට බාධා වෙලා නැද්ද?

මාසයක් විතර ගෑස් නැතිව උයන්න විදිහක් නැතිව හිටියා. ඒ දවස්වල අපිට අම්මලාගේ ගෙදරින් කෑම ලැබුණා. ඒ වගේම අම්මලාටත් මාසයක් විතර ගෑස් නැතුව තිබුණා.එතකොට අපි අම්මලාට කෑම දුන්නා. ඒ වගේ මොකක්හරි විකල්පයක් හොයාගත්තා. හැමදාම පෝලිම්වල ඉන්නත් බෑනේ. පිටිනුත් කෑම ගන්නවා. හැබැයි දැන් හැමදේම මිල අධික නිසා ඒක වැඩිපුර කරන්නත් බැහැ.

 

ඔබ දෙදෙනාගේ ඉදිරි සැලසුම් මොනවද?

ඇත්තටම දැන් රටේ තියෙන තත්ත්වයත් එක්ක ගොඩක් සැලසුම් හදන්න බැහැ. මේ වෙද්දි රටම තියෙන්නෙ අර්බුදයක. මිනිස්සුන්ගේ ආර්ථික තත්ත්වය තිබුණට වැඩිය පහළ වැටිලා. හැමදේම මිල ඉහළ ගිහින්. ඒ නිසා අනාගතය ගැන අපිටත් යම් බයක් දැනෙනවා.

Comments