මම වඩාත් ඇලුම් කරන්නේ අර්ථ රසය සහිත ගීතවලට | සිළුමිණ

මම වඩාත් ඇලුම් කරන්නේ අර්ථ රසය සහිත ගීතවලට

ගීතයක් යනු කලාකරුවන් තිදෙනෙකුගේ නිර්මාණයක්. පළමුවැන්නා රචකයා, දෙවැන්නා සංගීතය සපයන්නා; තෙවැන්නා ගායකයා. මේ තිදෙනාගේ සාමූහිකත්වයෙන් තමයි ගීතයක් නිර්මාණය වෙන්නේ. ඇතැම් විට ගායකයා විසින්ම ගීතය රචනා කර ගැනීම හෝ සංගීතය සපයා ගැනීම හෝ ඒ නිර්මාණ කාර්යයන් දෙක ම කර ගනු ලබන අවස්ථාත් පවතිනවා. කෙසේ වෙතත් මෙරට ගීත ඉතිහාසයේ අපූර්වත්වයෙන් යුත් ගීත බොහෝ සේ නිර්මාණය වී තිබෙනවා. ඒ අතුරින් මා වඩාත් ඇලුම් කරන ගීත තුනක් තෝරා ගැනීම එතරම් පහසු කාර්තව්‍යක් නම් නොවෙයි.

 

ගීතයක ශබ්ද ගොඩක් නෙවෙයි තිබිය යුත්තේ. ශබ්දයත් අවශ්‍යයි. ශබ්දය මිහිරිව තිබීමත් අවශ්‍යයි. ඊටත් වඩා ගීතයක තිබිය යුත්තේ යම් අදහසක්; රස විඳීමට හැකියාවක් සහිත අදහසක්. කිසියම් අදහසක්, අර්ථයක් සහිත රස විඳීමට හැකියාවක් ඇති ගීතවලටයි මම වඩාත් ඇළුම් කරන්නේ, මම ප්‍රථමයෙන්ම තෝරා ගත්තේ එවැනි ගුණාංග සපිරි ගීතයක්. මේ ගීතයේ පද රචනා කර තිබෙන්නේ, ප්‍රවීණ ගේය පද රචකයකු වූ ඩෝල්ටන් අල්විස්. තනුව හා සංගීතය නිර්මාණය කරමින් ඉතාම සුමියුරු ලෙසින් ගායනා කළේ, ආචාර්ය පණ්ඩිත් ඩබ්ලිව්. ඩි. අමරදේවයන් විසින්.

 

සසර වසන තුරු නිවන් දකින තුරු//

පින්කෙත හෙළ රන් දෙරනේ

යළි උපදින්නට

හේතු වාසනා වේවා

හේතු වාසනා...

 

මෙම ගීතය දේශාභිමාන ගීතයක්. ලොකු කුඩා කොයි කාටත් එකසේ රසවිඳිය හැකි වීම මෙම ගීතයේ මම දකින විශේෂත්වයක්. ඒවාගේම ගීතයේ අරුතත් පහසුවෙන් අවබෝධ කර ගන්න පුළුවන්. ඉතාම සරල වූ මෙම ගීතයේ නිර්මාණකරුවා මෙරට හඳුන්වනනෙ පින්කෙතක් ලෙසින්. රන් දෙරණක් ලෙසින්. ඒවාගේම නිර්මාණකරුවාගේ ප්‍රාර්ථනය වන්නේ, නිවන් දැකීමට යම් කාලයක් ගතවන්නේ ද? එම කාර්යය ඉටු කර ගන්නා තෙක් මේ පොළෝ තලයෙහිම ඉපදීමට හේතු වාසනා වේවා ලෙසින්. ඇත්තටම මගේ ප්‍රාර්ථනයත් එසේමයි. සසර වසන තුරු නිවන් දකින තුරු මේ පින්කෙතේ හෙළ දෙරණේම ඉපදීමට හේතු වාසනා වේවා යන්නයි.

 

රත්නමාලි සෑ කිරණයි

මහ බෝ සෙවණයි

තිසා වැවයි සීගිරියයි

මගේ උරුමයයි //

 

මේ පද වැල් වලින් ගීතය නිර්මාණකරුවා අර්ථ ගන්වන්නෙත් අපේ කමයි. මේ සියල්ලම අපේ උරුම ලෙසත් ගීතයෙන් සන්නිවේදනය වෙනවා. රුවන්වැලි සෑයෙන් එන කිරණත්, සිරිමා බෝ සමිඳුන්ගේ සෙවණත්, සංකේතවත් වන මෙම ගීතයේ කෘෂිකර්මාන්තය ඇවැසි ජලය සංකේතවත් කරන්නේ, තිසා වැව තුළින්. මෙරටෙහි විශිෂ්ට කලා නිර්මාණ පවතින බව සංකේතවත් කරන්නේ, සීගිරියෙන්. මේ සියල්ලත් අපේ උරුම බවයි; නිර්මාණකරුවාගේ අදහස.

 

අනෝතත්ත විල නෙළුම නෙළාලා

පීරා වරලස මල් ගවසාලා

නාග ලොවින් බැස නාලිය ගමනින්

වරඟන පිරිවරිනා ..

එරන්දතිය එනවා ...

 

ගීතය මා තෝරාගත් දෙවන ගීතයයි. මිනිස් සිත තුළ රූ සපුවෙන් අගතැන්, කල්පනික ලෝකයේ ලියක් පිළිබඳවයි මේ ගීතයෙන් විවරණය වෙන්නේ. ආදරය, ප්‍රේමය, රාගය ඒවගේම ශුංගාරය ජනනය කරන ගීතයක් ලෙසත්, මේ ගීතය හඳුන්වන්න පුළුවන්.

 

සිතක උපන් දොල සංසිදුවාලා

මතක සිනාවෙන් මුව සරසාලා

ඉරට මුවාවෙන් සඳට මුවාවෙන්

සිතට තුරු වෙනවා ..

එරන්දතිය එනවා ...

කෝමල ගමනින් කෝල හැඟුම් හල

කාලගිරෙන් සිතුවිලි සේනා ගෙන

වරඟන පිරිවරිනා

එරන්දතිය එනවා ...

නළලත කුංකුම තිලක තියාලා

නීල වර්ණයෙන් කැලුම් හෙලාලා

පාද කිකිණි සොලවා

එරන්දතිය එනවා ...

 

කවුද? මේ එරන්දතී කියන්නේ, මෙතරම් වර්ණනාවකට පාත්‍ර වන මේ අංඟනාව කොහේ සිට පැමිණෙන්නේ ද ?

මේ රූමත් එරන්දතිය අපට හමුවෙන්නේ විධුර ජාතකයෙන්. එරන්දතිය වූ කලී විධුර පණ්ඩිතයන් නා ලොවට රැඟෙන ඒමේ කටයුත්ත බාර ගත් තැනැත්තියයි. නා රජ දියණිය තමයි " එරන්දතිය " කියන්නෙ. ඇය නා ලොව සිට විධුර පණ්ඩිතයන් රැඟෙන යාමට මනු ලොවට පැමිණෙන ගමන් විලාසය තමයි ප්‍රවීන ගේය පද රචක සුනිල් සරත් පෙරේරා විසින් මේ ගීතයෙන් විවරණය කරන්නේ. ප්‍රවීන සංගීතඥ වික්ටර් දළුගමගේ සංගීතයට මේ ගීතය ගායනා කළේ ආචාර්ය පණ්ඩිත් ඩබ්ලිව්. ඩී අමදේව සූරීන් සහ ප්‍රවීණ ගායන ශිල්පිණී අමිතා වැදිසිංහයි.

නළලත කුංකුම තිලක තියාලා

නීල වර්ණයෙන් කැලුම් හෙළාලා

පාද කිකිණි සොලවා

එරන්දතිය එනවා ...

මා තෝරාගත් තුන් වන ගීතයත් ඉතාම අපූර්වත්වයෙන් යුක්තයි. අග්‍රගණ්‍ය සංගීතඥයකු මෙන්ම කිවිවරයකු වූ රවීන්ද්‍රනාථ ඨාකූර්ගේ සම්මානනීය ගීතාංජලී කෘතියේත් මේ ගීතය අන්තර්ගත වී තිබුණා. මේ ගීතය පරිවර්තනය කළේ ප්‍රේමදාස ශ්‍රී අලවත්තයන්. ඔහු දේශීයත්වයට ගැළපෙන පරිදි මේ ගීතය ප්‍රතිනිර්මාණය කළා. ගීතයේ පද රචනට උචිත ලෙස තනුව නිර්මාණය කර සංගීතවත් කළේ, ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන්. ගීතයේ පද රචනයෙන් මෙන්ම සංගීතයෙන් ලබා දුන් සුමියුරු බව තවත් තීව්‍ර කළේ ටී. එම් ජයරත්න ප්‍රවීණ ගායන ශිල්පියා විසින්.

 

අඳුරු කුටිය තුළ

දොරගුළු ලාගෙන

ගයන ගීතිකා

යදින යාතිකා

දෙවියන් හට නෑසේ ඒ... //

පොළව කොටන තැන

පාර තනන තැන

ගිනියම් අව්වේ මහ වරුසාවේ

දෙවියෝ වැඩ ඉන්නේ //

බලන් කඩතුරා හැර දෑසේ //

 

දෙවියන් වැඩ ඉන්නේ අඳුරු කුටිය තුළ නොවෙයි. දෙවියෝ වැඩ ඉන්නේ දේවාලවල නොවෙයි. දෙවියෝ වැඩ ඉන්නේ, කම්කරුවෝ, ගොවියෝ, ශ්‍රමිකයෝ නැතිනම් වැඩකරන ජනතාව සමඟයි. පොළව කොට තැන, පාර තනන තැන, ගිනියම් අව්වේ, මහ වරුසාවේ තමයි දෙවියෝ වැඩ ඉන්නේ. ඒ නිසා දෑස් ඇර බලන්න. ගීය වදන් පෙළ සරල වූවත්, සමස්තයෙන් ප්‍රකාශ වන පණිවිඩය ඉතාම ප්‍රබලයි. මෙවැනි ගීත නිර්මාණ නිසා ගීතය, හොඳ සන්නිවේදන මාධ්‍යක් ලෙසත් හඳුන්වන්නත් පුළුවන්.

 

සිනිඳු සුවැති සළු සිරසින් හැරදා

දූවිලි මඩ වැකි පිළිගත පළඳා

දෙවියන් රුව දක්නට හැක්කේ

කුසුම් සඳුන් දුම් සුවඳින් වැළකී

ගත නැඟි ඩාදිය සුවඳින් සැරසී

දෙවියන් හා එක්විය හැක්කේ

Comments