මේක අපේ රටට ලැබුණු සම්මානයක් | සිළුමිණ

මේක අපේ රටට ලැබුණු සම්මානයක්

රේන්බෝ චිත්‍රපට උලෙළේ හොඳම අධ්‍යක්ෂණය වෙනුවෙන් "ද නිවුස්පේපර්" චිත්‍රපටය වෙනුවෙන් සරත් කොතලාවල හා කුමාර තිරිමාදුර සමත් වෙයි. වෘත්තාන්ත, කෙටි, වාර්තා, සජීවකරණ සහ පර්යේෂණාත්මක චිත්‍රපට ඇතුළත් ලන්ඩනයේ 23 වැනි රේන්බෝ චිත්‍රපට උලෙළේ මැයි 29 ඉරිදා ආරම්භ වූ අතර 2022 ජුනි 05 වැනිදා දක්වා පැවැත්වුණා.

 

"ද නිවුස්පේපර්" ඇතුළුව චිත්‍රපට 17 ක් මෙවර දීර්ඝ වෘත්තාන්ත තරග අංශය යටතේ උළෙලේ තිරගත වූ අතර, එයින් හොඳම චිත්‍රපටය ලෙස බංගලාදේශ- ඉන්දියා සම නිෂ්පාදනයක් වූ "Mayar Jongal" සම්මානයට පාත්‍රව ඇති අතර රේන්බෝ සිනමා උළෙලේ "හොඳම අධ්‍යක්ෂණය" උදෙසා පිදෙන සම්මානයෙන් පිදුම් ලැබීමට "ද නිවුස්පේපර්" චිත්‍රපටය වෙනුවෙන් සරත් කොතලාවල හා කුමාර තිරිමාදුර සමත්ව සමත් විය.

රේන්බෝ සිනමා උළෙල ආරම්භ වන්නේ 2000 වසරේ දී. එතැන් පටන් ශ්‍රී ලාංකේය චිත්‍රපටයක් දීර්ඝ වෘත්තාන්ත තරග අංශය නියෝජනය කළ 05 වන අවස්ථාව මෙයයි. මීට පෙර 2008 දී සංකාරා (ප්‍රසන්න ජයකොඩි), 2010 දී බින්දු (සෝමරත්න දිසානායක), 2014 දී සිරි පැරකුම් (සෝමරත්න දිසානායක) හා 2020 දී සුනාමි (සෝමරත්න දිසානායක) යන නිර්මාණ තරගකාරී අංශය යටතේ තිරගත කළ අතර , ඒ අතුරින් සුනාමි චිත්‍රපටය "ජූරියේ විශේෂ සඳහනකින්" (Special Jury Mention) පිදුම් ලැබුවා.

"ද නිවුස්පේපර්" සරසවිය සම්මාන දිනූ චිත්‍රපට නිෂ්පාදක ආචාර්ය බන්දුල ගුණවර්ධන නිෂ්පාදනය කළ 'ද නිවුස්පේපර්' සිනමාපටය සඳහා රවීන්ද්‍ර ගුරුගේ සහ එච්. ඩී. ප්‍රේමසිරි සම නිෂ්පාදනයෙන් දායක වූවක්. මීට පෙර, The IndieFEST Film Awards- USA - 2020 හි කුසලතා සම්මානය උදෙසා වූ විශේෂ සඳහනකින් සහ 13 වැනි බෙංගලූරු අන්තර්ජාතික සිනමා උළෙලේ ප්‍රධානතම තරඟකාරී අංශයක් වන ආසියානු සිනමා තරගය (Asian Cinema Competition) හිදී ආසියානු කලාපයේ දෙවන හොඳම චිත්‍රපටයට හිමි සම්මානයෙන් පිදුම් ලැබීමට "ද නිව්ස්පේපර්" චිත්‍රපටය සමත් විය.

"ද නිවුස්පේපර්" චිත්‍රපටය අධ්‍යක්ෂණය වෙනුවෙන් රේන්බෝ සිනමා උළෙලේ (Rainbow Film Festival London) "හොඳම අධ්‍යක්ෂණය" උදෙසා පිදෙන සම්මානයෙන් පිදුම් ලැබීම ගැන සරත් කොතලාවල හා කුමාර තිරිමාදුර සිළුමිණ රසඳුන සමඟ බෙදා ගත් අදහසයි මේ.

 

මේ මොහොතේ නම් අපිට සම්මානවලට වඩා අවශ්‍ය නිෂ්පාදකවරුන් කුමාර තිරිමාදුර

"ද නිවුස්පේපර්" චිත්‍රපටයට මීට පෙරත් මෙරට සහ ජාත්‍යන්තර සම්මාන උළෙලවල්වලදී සම්මාන ලැබිලා තියෙනවා. නැවත වතාවක් ජාත්‍යන්තර සම්මානයක් ලැබීම ගැන සතුටු වෙනවා. මෙවර අපි දෙන්නට මේ සම්මානය ලැබුණේ හොඳම අධ්‍යක්ෂණය වෙනුවෙන්. ඉතින් සතුටක් තියෙනවා ලංකාව මේ මොහොතේ පවතින අර්බුද මැද අපිට අපේ රටට ගෞරවයක් අරන් දීමට හැකිවීම ගැන. සම්මාන කියන්නේ අපිට ලැබෙන උත්තේජනයක්, නමුත් ඉන් එහාට ගිහින් තව නිර්මාණ කරන්නයි අපි දෙන්නටම ඕනේ. ඒ වෙනුවෙන් අවශ්‍ය කරන පිටපත් පවා අපි සකස් කරගෙන ඉන්නවා. නමුත් ඒ සියල්ල නිර්මාණය නොවෙන්නේ නිෂ්පාදකවරුන් නැති නිසා. රටේ පවතින අර්බුද නිසා චිත්‍රපට නිෂ්පාදනයට පෙලඹෙන්නේ නැහැ. ඒ නිසා මේ මොහොතේ නම් අපිට සම්මානවලට වඩා අවශ්‍ය නිෂ්පාදකවරුන්.

 

අභියෝග මැද මේ මොහොතේ ලැබුණු සම්මානය වටිනවා සරත් කොතලාවල

"ද නිවුස්පේපර්" චිත්‍රපටය ජාත්‍යන්තර වශයෙන් ඇඟයීම් තුන්වෙනි අවස්ථාව. මෙහි විශේෂත්වය තමයි කුමාරට සහ මට මේ සම්මාන ලැබෙන්නේ අධ්‍යක්ෂණය වෙනුවෙන් වීම. මේ සම්මානයේ විශේෂ දේ තමයි ලංකාව තුළ සම්මානිත වීම අපිට පෞද්ගලිකව ලැබෙන දෙයක් වුණත් ජාත්‍යන්තර සම්මාන උළෙලකදී මෙලෙස සම්මාන ලැබීම කියන්නේ අපේ රටට ලැබුණු සම්මානයක්.

මේ සම්මාන ලැබීම තුළ පිටුපස ඉන්නේ මේ නිර්මාණයට සම්බන්ධ වූ සියලුම දෙනා. විශේෂයෙන්ම නිෂ්පාදනයට උරදුන් ආචාර්ය බන්දුල ගුණවර්ධන, එච්. ඩී. ප්‍රේමසිරි සහ රවීන්ද්‍ර ගුරුගේ. ඒ එක්කම සිහිපත් කරන්න ඕනේ අතරින් වෙන්වුණු මෙහි රේඛීය නිෂ්පාදන කටයුතු කළ සරත් චන්ද්‍රසිරි ආදරණීය අපේ සහෘදයාව. ඊට අමතරව සම්බන්ධ වූ රංගන ශිල්පීන් සහ කාර්මික ශිල්පීන්, කැමරාකරණය චන්දන ජයසිංහ, සංස්කරණය රුක්මල් නිරෝෂ්, කලා අධ්‍යක්ෂණය අජන්ත අලහකෝන්, සංගීතය ගයත්‍රී කේමදාස වගේ නිර්මාණයට දායක වූ සියල්ල මේ වෙනුවෙන් ගොඩක් උදව් කළා. ඒ සියල්ලේ ප්‍රතිඵලය තමයි මේ අපි ලබන්නේ. මේ සාර්ථක එකතුව නිසා තමයි මටයි කුමාරටයි හොඳ නිර්මාණයක් කරන්න පුළුවන් වුණේ. ඒ නිසා දායක වූ හැමෝටම ස්තුතිවන්ත වෙන්න මෙය අවස්ථාවක් කර ගන්නවා.

මුලින්ම අපි සිනමාවට තිර රචනා කළේ නිලේන්ද්‍ර දේශප්‍රිය අධ්‍යක්ෂණය කළ තණ්හා රති රඟා. ඊට පස්සේ තමයි මෙම "ද නිවුස්පේපර්" චිත්‍රපටය තිර රචනා කරලා අධ්‍යක්ෂණය කළේ. තව චිත්‍රපට තුනක් විතර ලියලා තියෙනවා. නමුත් මේ කාලයේ චිත්‍රපටය වෙනුවෙන් අර්ථපතිවරයෙක් හොයාගන්න බැරි එක තමයි තියෙන්නේ. ඒ වෙනුවෙන් නිෂ්පාදකවරයෙක් හම්බුණොත් චිත්‍රපටියක් කරන්න තමා බලාපොරොත්තුවෙන් ඉන්නේ.

ඡායාරූප - නිශ්ශංක විජේරත්න

 

Comments