පරිපූර්ණ දරුවකු වෙනුවෙන් දෙමවුපියන් වග විය යුතුයි | සිළුමිණ

පරිපූර්ණ දරුවකු වෙනුවෙන් දෙමවුපියන් වග විය යුතුයි

අරුත්බර විවාහයකට පෙරමඟ ලකුණු ලිපි මාලාවෙහි මෙතෙක් පළ වූ ලිපි මගින් විවාහය පිළිබඳව අරුත් සම්පන්න තොරතුරු රැසක් පාඨක ඔබ වෙත ලබා දීමට හැකි වූ බව අපි විශ්වාස කරමු. අප මෙවර ලිපියෙහි පාඨක ඔබගේ අවධානය යොමු කිරීමට බලාපොරොත්තු වන්නේ පවුල තුළ දරුවන්ගේ සුරක්ෂිතභාවය තහවුරු කිරීම හා ඔවුන් තුළ යහපත් ආකල්ප ගොඩනැංවීම සඳහා මවට සහ පියාට පැවරී ඇති කාර්යභාරය පිළිබඳවයි. මේ වෙනුවෙන් අප මෙවර සාකච්ඡා කළේ වත්තල ශාන්ත ආනා බාලිකා විදුහලේ විදුහල්පතිනී දොමිනිකානු නිකායේ, කාන්ති පෙරේරා කන්‍යා සොයුරිය සමඟ ය. දරුවන් දහස් ගණනකට මවක් ලෙසින් අනුශාසනා ලබා දෙන ඇය සමාජයට යහපත් දරුවකු දායාද කිරීමට දෙමාපියන්ට ඇති වගකීම පිළිබඳව අප හා අදහස් දැක්වූයේ මේ අයුරිනි.

 

" දෙවියන්වහන්සේ විසින් එක් කරනු ලැබූ දෙය, මිනිසා විසින් වෙන් නොකෙරේවා" යන ශුද්ධ වූ වාක්‍ය පදනම් කරගෙන කතෝලික විවාහය සිදු කෙරෙයි. සාධාරණ හේතුවක් නොමැතිව දික්කසාද වීමට කතෝලික සමාජය තුළ ඉඩ ලබා නොදෙන අතර, විවාපත් වන දෙදෙනකු තුළ ඇති වන බැඳීම සදාකාලික බැඳීමක් බව කතෝලික දහම තුළ අරුත් ගන්වයි.

"වාසනාවත් කල්හි ද, අවාසනාවත් කල්හි ද, ලෙඩ දුකේ දී හා සුව සැපේ දී, මම ඔබට විශ්වාසවන්ත වෙමි, ගෞරව කරමි." යනු කතෝලික විවාහයක දී විවාපත් වන යුවළ එකිනෙකාට ලබාදෙන ප්‍රතිඥාවයි. එමෙන් ම එහි දී විවාහ පොරොන්දුව ලබා දෙන්නේ විවාපත් වන යුවළ විසින් ම වීම විශේෂත්වයකි.

පවුල යනු සමාජයේ මුල් ම පුරුකයි. සමාජයේ මූලික ඒකකයයි. යහපත් හෝ අයහපත් සමාජයක් ගොඩනැඟෙන්නේ පවුල තුළ පවතින යහපත් හෝ අයහපත් බව මතය. යහපත් දරුවකු නිර්මාණය කිරීමට පාසල කොතරම් වැදගත් වුව ද, දරුවකු මූලික වශයෙන් ගොඩනැඟෙන්නේ පවුලෙන් බව පැවසුවහොත් එය නිවැරදිය. පවුලෙන් ලැබෙන ආකල්ප, ගුණධර්ම අප ජීවත් කරවයි. එය තවදුරටත් පැහැදිලි කළහොත් අප අපගේ ජීවිත කාලය තුළ පවත්වාගෙන යන්නේ අපගේ මවගෙන් හා පියාගෙන් ලැබෙන ගුණධර්ම හා ආකල්ප වේ. දරුවන් යනු පවුලක වැදගත් ම අංගයයි. එමෙන් ම මවගේ සහ පියාගේ ආදරයේ සංකේතය වන්නේ ද දරුවන්ය. මේ නිසා ම දරුවකු ගොඩනැගීම ඉතා භාරදූර මෙන් ම වගකීම් සහගත ක්‍රියාවක් බව පැවසිය යුතුමය. අතීතයේ සහ වර්තමානයේ දෙමාපියන් පිළිබඳව සැසදීමේ දී පැහැදිලි වෙනසක් දක්නට ලැබෙන බව පෙනේ. අතීතයේ දෙමාපියන් මනෝ විද්‍යා සංකල්පයන් පිළිබඳව කිසිත් නොදැන සිටිය ද, තම දරුවන් වෙත දායාද කළ ගුණධර්ම හා සාරධර්ම අතිමහත්ය. වර්තමානයේ අප විෂයයන් ලෙස හදාරන මනෝ විද්‍යා සංකල්ප බොහොමයක් අතීත දෙමාපියන් තුළ නිරායාසයෙන්ම ම ගොඩනැඟී තිබුණි. එහෙත්, වර්තමානය වන විට ඇතැම් දෙමාපියන් මනෝවිද්‍යාව, උපදේශනය ආදී විෂයයන් හැදෑරුව ද, ඔවුන් ඉගෙන ගන්නා සංකල්පයන් පවා ප්‍රායෝගිකව තම දරුවන් වෙනුවෙන් භාවිත කිරීමට අපොහොසත් වීම ඛේදවාචකයකි.

දරුවන් මුහුණ දෙන ගැටලුවලින් 90% කට වැඩි ප්‍රමාණයකට දෙමාපියන් වගකිව යුතු බව පැවසුවොත් එය අතිශයෝක්තියක් නොවේ. වර්තමානයේ දී බොහෝ දෙමාපියන් දරුවන් ගොඩනඟන ආකාරය තුළ ගැටලු රාශියක් දක්නට ලැබේ. දරුවන්ට අවශ්‍ය පහසුකම් හා ඉහළ අධ්‍යාපනයක් ලබාදීම පමණක් ම දරුවකු ගොඩනැගීමේ දී ප්‍රමාණවත් නොවේ. අද දරුවන්ට භෞතිකමය වශයෙන් වටිනා බොහෝ දේ ලැබුණ ද, ඔවුන්ට අවශ්‍ය වන දෙමාපියන්ගේ ආදරය, කරුණාව සහ උණුසුම නිසි අයුරින් නොලැබීම ඔවුන්ගේ පෞරුෂය බිඳ වැටීමට ප්‍රධානතම හේතුවක් බවට පත් වී ඇත.

බොහෝවිට දරුවන් දෙමාපියන් වෙත විවෘත නොවීම ද අද දක්නට ලැබෙන ප්‍රබලතම ගැටලුවකි. මව සහ පියා දරුවකුගේ යහළුවකු මෙන් ඔහුගේ හෝ ඇයගේ ජීවිතයට ළං වීම ඉතා වැදගත්ය. එවිට දරුවෝ ඔවුන්ට සියලු දේ පැවසීමට පෙලඹෙති. එසේ නොමැති වූ විට ඇතැම් අය ආදරය උණුසුම බාහිර සමාජයෙන් සොයති. මෙය ඇතැම් විට එම දරුවාගේ ජීවිතය ම අඳුරු වීමට පවා දැඩි ලෙස බලපෑ හැකි බව පැවසුවොත් එය නිවැරදිය. වර්තමානයේ දරුවන්ට පවුල තුළ දෙමාපියන්ගේ ආදරණීය සබඳතාවක් දක්නට ලැබෙන්නේ ඉතා කලාතුරකින් වීමද ඉතා කනගාටුදායක තත්ත්වයකි. ආදරණීය මවකගේ හා පියකුගේ අන්‍යෝන්‍ය ආදරය දැකීමෙන් දරුවෝ ප්‍රබෝධවත් වෙති. ඔවුන් තුළ ඇති වන මෙම සතුට හා හෘදයාංගම බව නිසා ම එම දරුවෝ කිසිලෙසකත් වරදට නොපෙලඹෙති. කනගාටුවට කරුණ වන්නේ අඹු සැමියන් බොහෝ දෙනෙක් සිතා සිටින්නේ එකිනෙකාට ආදරය දැක්විය යුත්තේ විවාහයට පෙර පමණක් බව වීමයි.

ඉතා සුළු කරුණකට පවා දික්කසාද වීම වර්තමාන සමාජය තුළ බහුලව දක්නට ලැබෙන තවත් ගැටලුකාරී තත්ත්වයකි. අතීතයේ පවුල් තුළ කුමන ගැටලු තිබුණ ද ඔවුන් දික්කසාද වීමේ ප්‍රවණතාව ඉතා අවම මට්ටමක පැවතිණි. නමුත් අද වන විට පවුලක ඇතිවන පළමු ගැටුම සඳහා ගනු ලබන පළමු පියවර දික්කසාදය බවට පත්වී තිබීම ඛේදවාචකයකි. මෙසේ සිය මව පියා වෙන්වීම ද දරුවන්ට දරාගත නොහැකි පීඩාවක් බව පැවසිය යුතුමය. එමෙන් ම අද සමාජයේ බොහෝ දෙනා තුළ වරද පිළිගැනීම, සමාව දීම වැනි ගුණාංගයන් දක්නට නොලැබීම ද පවුල් අවුල් වීමට මෙන් ම දික්කසාද වීමේ ප්‍රවණතාව වර්ධනය වීමට හේතු වී තිබේ.

දරුවන් නිසි පරිදි ගොඩනංවා සමාජ ගත කිරීමට නම් විශාල කැපකිරීමක් සිදු කළ යුතුමය. එමෙන් ම දරුවකුගේ පිළිවෙළ හා විනය ගොඩනැංවීම දෙමාපියන්ගේ වගකීමකි. එහි දී දරුවාට උපදෙස් ලබා දීමට වඩා තමා ආදර්ශවත් වී පෙන්වීම ඉතා වැදගත්ය. එසේ වුවහොත් ගුණයෙන් සපිරි, ආදර්ශවත්, පිරිපුන් දරුවකු සමාජයට දායාද කිරීමේ හැකියාව ඔබට ලැබෙනු ඇත.

Comments