ලප කැළල් නැති සඳවන් මුහුණක් උරුම කර ගන්නේ මෙහෙමයි | සිළුමිණ

ලප කැළල් නැති සඳවන් මුහුණක් උරුම කර ගන්නේ මෙහෙමයි

ස්වාභාවිකවම ලැබුණු හම ලස්සන කරගන්න සහ ආරක්ෂා කරගන්න වතුර පානය කිරීම ඉතාම වැදගත්

උපත් පාලන ක්‍රම නිසාත් සමේ වෙනස්කම් ඇති වෙන්න පුළුවන්

පිග්මන්ටේෂන් ජාන මඟින් ඇති වෙන්නත් පුළුවන්

 

කාන්තා පිරිමි කොයි කාගෙ වුණත් සුන්දරත්වය ගැන සිතීමේදී මුහුණ විශේෂයි. පැහැපත් නීරෝගී සමක් කියන්නේ අපි හැමෝගෙම හීනයක්. ඒ වෙනුවෙන් අපි නොකරන දෙයක් නැහැ. අද අපි කතා කරන්නේ සමේ ඇතිවෙන කැලැල් සහ ලප පිළිබඳවයි. මේ සම්බන්ධයෙන් අද සිය දැනුම බෙදාගන්න රූ රහස් හා එක්වන්නේ සිංගප්පූරුව,මාලදිවයින, නෙදර්ලන්තය සහ ශ්‍රී ලංකාවේ රූපලාවණ්‍යය පිළිබඳව පුහුණුව ලැබූ ප්‍රවීණ රූපලාවණ්‍යය ශිල්පිනී අරෝෂි කෞෂල්‍යා හේරත් ය.

 

මල්වලට කොළවලට පාට ලැබුණෙ ස්වාභාවධර්මයෙන්. අපිට කොහෙන්ද සමේ පාට ලැබුණෙ. අපේ ජාන මඟින් තමයි ඒක තීරණය වෙන්නෙ. අපේ දෙමව්පියන්ගෙන් ලැබෙන ජාන මඟින් අපේ සමට යම් වර්ණයක් ලැබෙනවා. අපි ඉපදෙනකොට තීරණය වෙලා ඉවරයි අපේ හම මොන පාට ද කියලා. හැබැයි අපි ඉපදුණාට පස්සේ විවිධ ක්‍රම භාවිතා කරල ඒ ස්වරූපය සම්පූර්ණයෙන්ම වෙනස් කරනවා නම් ඒක සුදුසු දෙයක් නෙවෙයි. ඒ නිසා අපිට ස්වාභාවිකව උරුම වුණ සම නිරෝගීව තබා ගන්නේ කොහොමද කියලා අපි දැනගන්න ඕන. පුංචි දරුවන්ගේ සම අපිට වඩා කොච්චර වෙනස්ද. ඔවුන්ගේ ශරීරයේ හැම තැනකම තියෙන්නෙ එකම පාටක්. ඒ වගේම කුරුලෑ, දුඹුරු ලප ඔවුන්ගේ සමෙහි නැහැ. නමුත් අපේ සමෙහි වයසට යෑමත් එක්ක කොයිතරම් වෙනස්කම් සිදු වෙනවද?

සම සම්බන්ධයෙන් අප මුහුණ දෙන ප්‍රධානම ගැටලුවක් තමයි අපේ සම දුර්වර්ණ වීම. එයට මූලික හේතුව තමයි ලංකාව වගේ රටවල තියෙන අධික හිරු රශ්මිය. ඒ වගේම වයසට යාමත් සමඟ සමේ කුඩා ලප ඇතිවෙනවා. සමේ දිලිසෙන බව අඩු වෙලා රැලි ඇති වෙනවා.

අවුරුදු තිහ පහු උණාට පස්සේ අපේ ඇඟේ කොලජන් නිෂ්පාදනය අඩු වෙනවා. එයත් මේ සමේ ආසාදනවලට හේතුවක්. ඒ වගේම තමයි අව් රශ්මියට නිරාවරණය උණාම මුහුණ දෙපැත්තෙ ලප හටගන්නවා. අපි මේවට කියන්නෙ පිග්මන්ටේෂන් කියලා. සමහර අයට පිග්මන්ටේෂන් ජාන මඟින් ඇති වෙන්නත් පුළුවන්. අපේ හෝර්මෝන ක්‍රියාකාරීත්වයත් ඒකට බලපානවා. ගොඩක් වෙලාවට මේ පිග්මන්ටේෂන් අපි දකින්නෙ ගැහැනු ළමයින්ගෙ මුහුණේ. ඒකට හේතුව තමයි කාන්තාවන්ගේ හෝමෝන හැමතිස්සෙම වෙනස් වීම. ඒ වගේම තමයි මානසික ආතතිය, හොඳ නින්දක් නැති කමත් පිග්මන්ටේෂන් ඇතිවීමට බලපානවා. සමහර අයගේ කට වටේ සහ ඇස් වටේ අඳුරුයි. ඇස් වටා එක පාටක් මුහුණ එක පාටක්. විවාහක කාන්තාවන්ට නම් උපත් පාලන ක්‍රම නිසා මේ වගේ දේවල් ඇති වෙන්න පුළුවන්.

ගොඩක් වෙලාවට පිග්මන්ටේෂන් නැති කරගන්න අපි කරන්නේ බ්ලීචින් ක්‍රීම් ගාලා තාවකාලික විසඳුමක් බලාපොරොත්තු වෙන එක. හැබැයි ක්‍රීම් ආලේප කිරීම නැවැත්තුවට පස්සේ නැවතත් අර කැළැල් එළියට එනවා.පිග්මන්ටේෂන් නැති කරගන්න නිවසේ දී කරන්න පුළුවන් සත්කාරයක් තමයි අර්තාපල් බ්ලෙන්ඩ් කරලා මුහුණේ ආලේප කිරීම. ඒක හර්බල් බ්ලීචින් එකක්. වෛද්‍ය විද්‍යාව අනුව දැන් පීආර් පී කියලා ලේසර් ප්‍රතිකාර ක්‍රමවේදයකුත් තියෙනවා.

සම පිළිබඳව බොහෝ දෙනෙක්ට තියන ගැටලුවක් තමයි කුරුලෑ ඇතිවීම. යොවුන් වියේ පසුවන අයගෙ මූහුණේ තමයි කුරුළෑ ලප වැඩිපුර දකින්නෙ. පාඩම් කරන, මනස වෙහෙසවන අයටත් කුරුලෑ ඇතිවෙන්න පුළුවන්. කුරුලෑ ඇල්ලීමේ නිසා කුරුලෑවලට විසබීජ යන්න පුළුවන්. ඒ නිසා කුරුලෑ ඇල්ලීම හෝ පොඩි කිරීම හොඳ නැහැ. කුරුලෑ පිපිරී සිදුරු ඇති වෙන්න පුළුවන්. ඒ නිසා කුරුලෑ අල්ලන්න අතගාන්න එපා.

කුරුලෑ නැති කරගන්න ගෙදරදි කරන්න පුළුවන් දේවල් විදියට කොහොඹ ඉස්ම ආලේප කිරීම වගේම මඳ උණුසුම් වතුරෙන් මුහුණ සේදීමත් හොඳයි. හැබැයි මේවා තාවකාලික විසඳුම්.

කුරුලෑ නැති කරගන්න විවිධ අත් බෙහෙත් කරනවට වඩා වෛද්‍ය උපදෙස් සහ ප්‍රතිකාර ලබා ලබාගැනීම වැදගත්. ඒ සඳහා සම සම්බන්ධයෙන් වෛද්‍යවරයෙක් මුණගැහෙන්න ඔබට පුළුවන්.

ඒ වගේම අපේ සමට සුදුසු ආලේපන තෝරා ගැනීම වැදගත් වන බව මතක් කළ යුතුයි.

සමට ගැළපෙන ආලේපන කිව්වහම ගොඩක් අය තීරණය කරනව මට තියෙන්නෙ තෙල් සහිත සමක්, වියළි සමක් හෝ මිශ්‍ර සමක් කියලා. හැබැයි රූපලාවණ්‍යාගාරයකට ගිහිල්ලා අපි අපේ සම පිළිබඳව දැනුම්වත් වෙන්න ඕන. ඇනලයිස් කරලා සම හඳුනා ගැනීමෙන් සමට ගැළපෙන ෆේස් වොෂ්, ආලේපන තෝරා ගන්නත් පුළුවන්. මාස හයකට පස්සෙ ආයෙ රූපලාවණ්‍යාගාරයකට ගිහින් සම ඇනලයිස් කරලා සමේ තත්ත්වයක බලන එකත් වැදගත්.

ගොඩක් වෙලාවට මම දකින දෙයක් තමයි අවුරුදු ගණන් එකම වර්ගයේ ක්‍රීම් හෝ ෆේස් වොෂ් වර්ග පාවිච්චි කරනවා. අපේ හම කාලෙන් කාලෙට වෙනස් වෙන නිසා අනිවාර්යෙන්ම ස්කින් එකේ ස්වභාවය ඕනෙම ට්‍රීට්මන්ට් එකකදි පරික්ෂා කරගන්න ඕන. නිසි ප්‍රමිතියේ සන්ස්ක්‍රීන් භාවිතා කිරීමත් වැදගත්. ගමන් බිමන් යනකොට විතරක් නෙවෙයි රෙදි වනන්න මිදුලට යන විට පවා අපි සම ගැන සැලකිලිමත් වෙන්න ඕනේ.නිතරම මොයිස්චරයිසින් ක්‍රීම් එකක් පාවිච්චි කරන්නත් මතක තියාගන්න. ඒකෙන් අපේ සම ආරක්ෂා වෙනවා. ඉතින් අපිට උප්පත්තියෙන් ලැබුණු ලස්සන සම රැකගන්න උත්සාහ කරන්න.ස්වාභාවිකවම ලැබුණු හම ලස්සන කරගන්න සහ ආරක්ෂා කරගන්න වතුර පානය කිරීමත් ඉතාම වැදගත්.

Comments