‘ආරුගම්බේ’ මගේ ජීවිතේ හැරවුම් ලක්ෂ්‍යයක් | සිළුමිණ

‘ආරුගම්බේ’ මගේ ජීවිතේ හැරවුම් ලක්ෂ්‍යයක්

තමන්ට ලැබෙන චරිතය කුමක් වුවත් ඊට උපරිම සාධාරණය ඉෂ්ට කරමින් චරිතාංග නළුවකු ලෙසින් සිය රංග කුසලතාව විදහා පෙන්වන බුද්ධික ජයරත්නට පසුගිය දිනෙක ජාත්‍යන්තර සිනමා නිර්මාණයක් සමඟ වැඩ කරන්නට ඉඩ ප්‍රස්ථාව ලැබෙනවා. ඒ ඊශ්‍රායල චිත්‍රපට අධ්‍යක්ෂක මාර්කෝ කැමල් විසින් අධ්‍යක්ෂණය කරන ලද "ආරුගම්බේ" සිනමාපටය සමඟින්. ඒ නිසාම බුද්ධික සමඟ ඒ ගැන වගේම පොදුවේ මේ දිනවල කලා කටයුතු ගැන කළ සොඳුරු කතාබහයි මේ....

 

මේ දවස්වල මොකද වෙන්නේ

"අර්ථ" නමින් මම පටන් ගත්ත ෆර්නිචර් ව්‍යාපාරයේ වැඩකටයුතු සහ ස්වර්ණවාහිනියේ විකාශය වන "බන්ධනා" හි රූගත කිරීම් සිදු කෙරෙනවා.

 

"අර්ථ" ව්‍යාපාරික කටයුත්ත කොහොමද?

මම ''අර්ථ'' පටන් ගත්තේ ලොකු පර්යේෂණයකින් පස්සේ, ලොකු හේතුවක් ඇතිව. ඒ නිසා මට දැඩි විශ්වාසයක් තිබ්බා මේක මට කරගෙන යන්න පුළුවන් කියන එක. මේ වෙලාවේ "අර්ථ" ව්‍යාපාරික කටයුත්ත ගැන මම ලොකුවට ප්‍රවර්ධනය කරන්නේ නැහැ. නමුත් මට ම නිර්මාණය වුණු වෙ‍ෙළඳ­‍පොළක් තියෙනවා. ඒ නිසා ඒ අයගේ වැඩ ටික තමයි මේ දවස්වල කරන්නේ. "අර්ථ" තුළ තියෙන්නේ මෙරට තුළින්ම හොයාගන්න පුළුවන් දේවල්වලින් කළ නිර්මාණයන් නිසා වත්මන් ආර්ථික අර්බුද වලින් ලොකු බලපෑමක් වෙලා නැහැ. නමුත් රටේ ආර්ථිකය ස්ථාවර වුණොත් මීට වඩා ව්‍යාපාරය දියුණු කරගන්න උත්සාහ කරනවා.

 

මේ වෙද්දී බොහෝ දෙනෙක් දන්නා දෙයක් තමයි ආරුගම්බේ නමින් විදෙස් චිත්‍රපටයක් රූපගත වුණා කියන කාරණය සහ, බුද්ධිකට ඒ නිර්මාණය රංගන ජිවිතේ හැරවුම් ලක්ෂයක් වුණා කිව්වොත්

ඇත්තටම ඒක තමයි වචනය. ඒක හැරවුම් ලක්ෂ­්‍යයක්ම තමයි. ඕනෙම ක්ෂේත්‍රයක වෘත්තිකයෙක්ට ලෝක වෙළඳපළ ඇතුළට යන්න පුළුවන් නම් ඒක විශාල ජයග්‍රහණයක්. සිනමාව කියන ක්ෂේත්‍රය ගත්තම අපිට විදෙස් නිර්මාණ සමඟ එකතුවීමේ හැකියාව බොහොම අඩුවෙන් සිදුවෙලා තියෙන්නේ. ඒ නිසා මගේ ජීවිතේ හැරවුම් ලක්ෂ්‍යය වෙන්නේ ආරුගම්බේ චිත්‍රපටයට මාව සම්බන්ධ කරගැනීමයි. එහි ගෞරවය හිමිවෙන්නේ Frames TV & Film Production සමාගමේ ශ්‍යාමන් ප්‍රේමසුන්දර, ආරුගම්බේ චිත්‍රපටයේ අධ්‍යක්ෂක මාර්කෝ කැමල්, දෙවන අධ්‍යක්ෂ / තිර රචක - Mor Polanuer සහ නිෂ්පාදකතුමාට. විදෙස් චිත්‍රපටයක ප්‍රධාන ධාරාවේ කතාවට සෘජුව සම්බන්ධ වෙන්න ලැබෙන්නේ ඉතාම කලාතුරකින්. නමුත් මෙතැනදී මට විතරක් නෙවෙයි අශාන් ඩයස් සහ සනත් ගුණතිලකට අවස්ථාව ලැබෙනවා මව් කතාවට සෘජුව සම්බන්ධ වන චරිත තුනකට. මේක තිරගත වෙන්නේ යුරෝපයේ රටවල් 50ක. අපේ කණ්ඩායම ඉල්ලීමක් කළා අපේ රටෙත් තිරගත කරන්න කියලා. ඒ නිසා මේ නිර්මාණය මගේ සිනමා ජිවිතේ හැරවුම් ලක්ෂ­්‍යයක් වේවි. මම බොහොම සෝදිසියෙන් කාලය අරන් ඉදිරියට යන එක තමයි මගේ රිදම් එක. ඉදිරියටත් එහෙම යන්න තමයි බලාපොරොත්තුව.

 

මේ ඔබේ පළමු විදෙස් සිනමා අත්දැකීම, ඒ අත්දැකීම කොහොමද?

ඔවුන් සමඟ වැඩ කිරීම ඉතාම පහසුයි. ඔවුන්ගේ මාධ්‍යය සහ අපේ මාධ්‍යය සිනමාව නිසා ඔවුන් අපේ හැකියාවන් ට ඉතාමත් ගරු කළා. ඔවුන් අපිව තිබ්බෙත් අන්තර්ජාතික මට්ටමේ ම තමයි. ඔවුන්ට අදාළ වුණේ චිත්‍රපට කීයක් කරලා තියෙනවද? වයස කීයද? මම එන්නේ මොන වාහනේ ද? කියන එක නෙවෙයි. ඔවුන්ට අදාළ වුණේ චරිතයට උපරිම සාධාරණය ඉටුකරනවද කියන එක. මෙතැනදී අධ්‍යක්ෂක මාකෝ ගැනත් කියන්න ඕනේ. ඔහු හරි නිදහස් සිනමාකරුවෙක්. ඔහු ගොඩක් විශ්වාස කරනවා ඔහුගේ රංගන ශිල්පින්ව. ඒ වගේම ඔහුගේ රංගන ශිල්පීන්ට අතිශය නිදහසක් ලැබෙනවා ඒ චරිතය ගොඩනඟන්න. ඔවුන්ගේ මාධ්‍යය සිනමාව සහ ඔවුන්ගේ වාහකයා නළුවා කියන එක හොඳින් හඳුනාගෙන තියෙනවා.

 

අපි නැවත අපේ සිනමාවට ආවොත්, ඉදිරියේදී දකින්න ලැබෙන නිර්මාණ මොනවද?

චිත්‍රපට දෙකක් තිරගත වෙන්න තියෙනවා. එකක් සුදේශ් වසන්ත පීරිස්ගේ "සීරුවෙන්" කියන චිත්‍රපටය. එ්කේ මම ජැක්සන් ඇන්තනි, දසුන් පතිරණ, ඩිස්නි රාජපක්ෂ රංගනයෙන් දායක වුණා. අනිත් එක තමයි මම මේ රට තුළ රංගනයෙන් දායක වුණු සිනමාපටවල මගේ හැරවුම් ලක්ෂ­්‍යයක් කියලා. ඒ තමයි ජයන්ත චන්ද්‍රසිරිගේ "මිදුණු විශ්වය". සැලකෙන ලොකු වගකීමක් දෙන චිත්‍රපටයක් වෙයි. එක අවස්ථාවකදී ඒ චිත්‍රපටය තෝරාගත් පිරිසකට තිරගත වුණා. එතැනදී මට ලැබුණු ප්‍රතිචාර එක්ක අදහස් එක්ක මම හිතනවා එය තිරගත වෙන්න පටන් ගත්තට පස්සේ මෙතෙක් මට තිබ්බ වගකීමට වඩා වැඩි වගකීමක් පැවරෙයි කියලා. ඒ නිසා ඒ චිත්‍රපටය එනකම් මම බලන් ඉන්නවා. මගේ සිනමා ජිවිතේ හැරවුම් ලක්ෂ­්‍යයක් වගේම මගේ ජිවිතේ සන්ධිස්ථානයක් වෙයි.

 

මෙතෙක් ලැබුණු චරිත ගැන තෘප්තිමත් ද?

තෘප්තිමත්. හැබැයි ඔය අහන්නේ සීයට සීයක් තෘප්තිමත් ද කියලා. ඒකට උත්තරේ නැහැ. යම් තරමකට තෘප්තිමත්. ඒක උච්ඡාවචනය වෙන දෙයක්. මම කවදාවත් සීයට සීයක් තෘප්තිමත් වෙලා නැහැ; මම හිතන්නේ නැහැ මම කවදාවත් එහෙම තෘප්තිමත් වෙයි කියලා. මොකද තෘප්තිමත් නැති බව තමයි මාව තව ඉස්සරහට අරන් යන්නේ. එහෙම නැතුව තෘප්තිමත් කියන්නේ මම ඉවරයි කියන එක.

 

බුද්ධික අයියට ලැබෙන බොහොමයක් චරිත දරුණු නපුරු චරිත නිසා කොහොමද ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර?

කිසිම විදියට ප්‍රේක්ෂකයන්ගෙන් මම ප්‍රතික්ෂේප වෙලා නැහැ. එක වචනයකින් හෝ බැල්මකින්වත්. ඒකට හේතුව මට ලැබුණු බොහොමයක් චරිත යථාර්තවාදී චරිත. ඒ නිසා මට සුන්දර පෙම්වතා ලැබිලා නැහැ. නමුත් පෙම්වතාගේ චරිතය මම කරලා තියෙනවා. නමුත් මගේ පෙම වෙන විදියකට දැනෙන්නේ. ඒකට හොඳම උදාහරණය "මිදුණු විශ්වය". සමාජයේ අපිට දකින්න ලැබෙන චරිතම තමයි මට ප්‍රතිනිර්මාණය කරන්න ලැබෙන්නේ. ඒක මට ලැබෙන්නේ හැකියාව නිසාද පෙනුම නිසාද කියන්න මම දන්නේ නැහැ. මම හිතනවා ලෝකයේ ඕනෙම රංගන ශිල්පියෙක් කැමති එවැනි චරිත කරන්න. ඒ වගේම හේතුවක් නැති දුෂ්ට චරිත මම කරලා නැහැ. එහෙම මම කරන්නෙත් නැහැ.

 

ප්‍රේක්ෂකයා මතනේ කලාකරුවාගේ ගමන තීරණය වෙන්නේ

මම හැම වෙලාවේම උත්සාහ කරනවා මට ලැබෙන හැම චරිතයක්ම උපරිමයෙන් විඳින්න. ඒක එහෙම විඳින්න බැරි විඳවන්න වෙන චරිත මම බාරගන්නේ නැහැ. එහෙම ප්‍රතිපත්තියක මම ඉන්නවා. මොකද මට විඳින්න බැරි චරිතයක් කරලා ඒක කවදාවත් ප්‍රේක්ෂකයාට බෑ විඳින්න. මම චරිතය වින්දොත් තමයි ප්‍රේක්ෂකයාට ඒ චරිතය විඳින්න පුළුවන් වෙන්නේ. ඒක තමයි ප්‍රේක්ෂකයා වෙනුවෙන් මට කළ හැකි ලොකුම දේ.

 

ඡායාරූප - නිශ්ශංක විජේරත්න

Comments