
ලෝක මලල ක්‍රීඩාවට අදාළව වාර්ෂිකව විවිධ තරගාවලින් ලොව පුරාම පැවැත්වෙයි. ලෝක මලල ක්‍රීඩා මහාද්විපික සවාරිය එවැනි තරගාවලියකි. මෙවර පැවැත්වෙන්නේ එහි තෙවැනි තරගාවලියයි.
එහිදී එක් තරගාවලියක් නොබෝදා නිමාවට පත් වුයේ ජර්මනියේදීය. ඊට සහභාගි වු ශ්‍රී ලංකාවේ යුපුන් අබේකෝන් වාර්තාගත කාලයක් වාර්තා කරමින් මීටර් 100 තරගය ජය ගැනීමට සමත් විය. ඔහුගේ කාලය තත්පර 10.06කි. එය නව ශ්‍රී ලංකා වාර්තාවකි. ඒ වගේම එය නව දකුණු ආසියානු වාර්තාවකි. එමෙන්ම මෙම වසරේදි ආසියානු ක්‍රීඩකයකුගේ හොඳම කාලයත් එය විය. මීට පෙර මෙම තරග ඉසව්වට යුපුන් වාර්තා කළ හොඳම කාලය වුයේ තත්පර 10.15කි. ඒ ගිය වසරේදීය. මලල ක්‍රීඩා ඉතිහාසයේ දී පිරිමි මීටර් 100 ඉසව්වේදී වාර්තා වු හොඳම කාලයන් අතරට යුපුන්ගේ කාලයට සම 277 වැනි ස්ථානය හිමි වෙයි. කෙසේ වෙතත් මෙම තරගයේදී ඔහු වෙතින් පරාජය වෙමින් දෙවැනි ස්ථානය හිමි කර ගත් කෙන්යාවේ ෆර්ඩිනන්ඩ් ඔමන්යාලා නිසා යුපුන්ගේ දස්කම වඩාත් කැපී පෙනෙයි. ඔමන්යාලා මෙහිදී වාර්තා කළේ තත්පර 10.14ක කාලයකි.
එසේ වුවත් ගිය වසරේදී ඔහු මෙම තරග ඉසව්ව තත්පර 9.77කින් නිමා කිරිමට සමත් වී ඇත. එයට මීටර් 100 ලොව හොඳම කාලයන් අතර 08 වැනි ස්ථානය හිමි වේ. මේ තරග ඉසව්වේ ලෝක වාර්තාව ජැමෙයිකාවේ සුපිරි තරුව වන යුසේන් බෝල්ට් සතුය. ඒ තත්පර 9.58කි. එය ඔහු පිහිටු වුයේ 2009 වසරේදීය.
දකුණු ආසියාවේ වේගවත්ම මිනිසා ලෙස අභිෂේක් ලබන්නට ශ්‍රී ලංකා කෙටි දුර ධාවන ශූර යූපුන් අබේකෝන් පසුගිය දා සමත් විය. ඉතාලියේ සැවෝනා නුවරදී අවසන් වු කැස්ටිලියෝන් අන්තර්ජාතික මලල ක්‍රීඩා තරගාවලියේදී මීටර් 200 ඉසව්ව තත්පර 20. 37කින් නිමා කරමින් ඉන්දියාවේ අම්ලන් බෝරේගොහේන් විසින් පසුගිය අප්‍රේල් මාසයේදී මීටර් 200 තරග ඉසව්ව සඳහා තබා තිබු 20.52 වාර්තාව බිඳ දමමින් මෙම නව දක්ෂතාව ප්‍රදර්ශනය කිරිමට සමත්ව තිබේ.
දකුණු ආසියා වාර්තාව සමඟින් ශ්‍රී ලංකා වර්තාව ද බිද හෙළූ යුපුන් 2018 වසරේදී මීටර් 200 තරග ඉසව්ව තත්පර 20.68කින් නිමා කරමින් ශ්‍රී ලංකා ජාතික වාර්තාව ඉදිරියේ තම නම සටහන් කරගත් විනෝද් සුරංජය ද සිල්වාගේ වාර්තාව ද බිඳලීමට ඒ අනුව සමත් විය.
යුපුන් අබේකෝන් මේ වනවිටත් තත්පර 10.15කින් මීටර් 100 ඉසව්ව අවසන් කර එම ඉසව්වේ ශ්‍රී ලංකා ජාතික වාර්තාවට මෙන්ම දකුණු ආසියානු වාර්තාවද තමන් සතු කරගෙන සිටින ක්‍රීඩකයෙකී. සැවෝනා නුවර පැවැත්වෙන අන්තර් ජාතික කැස්ටියෝන් මලල ක්‍රීඩා තරගාවලියේදී මූලික වටයේ තරග ඉසව්වකදී මීටර් 100 ධාවන ඉසව්ව තත්ත්පර 10.04කින් අවසන් කර සුවිශේෂී කඩයිමක් පසුකිරිමට යුපුන් සමත් විය.
නමුත් අවාසනාවකට එම අවස්ථාවේ පැවැති සුළගේ වේගය තත්පරයට මීටර් + 2.30ක් ලෙසින් සටහන් වීම හේතුවෙන් ඔහුට තවත් අගනා ශ්‍රී ලංකා වාර්තාවක් කරා යෑමේ අවස්ථාව ද අහිමිවිය.
එම තරග ඉසව්වේ අවසන් තරගයේදී යුපුන් තත්පර 10.16කින් තරගය නිමා කිරිමට සමත් විය. එම ඉසව්වේ රන් පදක්කම දිනාගැනිමට සමත්ව ඇත්තේ ඔලිම්පික් රන් පදක්කම් ලාබී මාකස් ජේකබ්ස් විසිනි. තත්පර 10.04 කි තරග නිමා කිරිම ඕනෑම කාලගුණික තත්ත්වයක් යටතේ ලාංකිකයෙකු මීටර් 100 ඉසව්වෙන් වාර්තා කළ හොඳම කාලය ලෙස ද වාර්තා වෙයි.