මම අහම්බෙන් රංගන ශිල්පිනියක් වුණේ නැහැ | සිළුමිණ

මම අහම්බෙන් රංගන ශිල්පිනියක් වුණේ නැහැ

අපි අපේ වටිනාකම් හදා ගත්තොත් අපිට චරිත තෝරා බේරාගෙන රඟපාන්න පුළුවන්. ඒක අපේ අතේ තියෙන දෙයක් කියලයි මම විශ්වාස කරන්නේ

දැනෙන ආදරයක් ලැබුණොත් වෙනස් වෙයි. හැබැයි බොහෝදුරට මම තනිවම ඉඳියි

 

වොල්ගා කල්පනී කියන්නේ පුංචි තිරයේ අපට ඉන්න දක්ෂ චරිතාංග රංගන ශිල්පිනියක්. මේ දිනවල ඇය අපිට සමීප වෙන්නේ සුදත් රෝහණගේ මාණික්කාවත හි ගුණදාරි ලෙස සහ ජයප්‍රකාශ් ශිවගුරුනාදන් අධ්‍යක්ෂණය කරනු ලබන "පාරදිගේ" ටුටූ ලෙසින්. ඒ නිසා එකිනෙකට වෙනස් වූ චරිත දෙකකින් ප්‍රේක්ෂක ආදරය දිනා ගන්නට වොල්ගා කල්පනී මේ දිනවල සමත්ව තිබෙනවා. ඒ වගේම මේ වෙද්දී රංගනයට අමතරව ව්‍යාපාර පැත්තටත් නැඹුරු වෙලා ඉන්න වොල්ගා එක්ක සිළුමිණ රසඳුන කළ සොඳුරු කතාබහයි මේ.

 

මාණික්කාවත හි ගුණදාරි ට ලැබෙන ප්‍රතිචාර කොහොමද?

මගේ හිතේ හීනයක් තිබ්බා සුදත් රෝහණයන් එක්ක මට වැඩ කරන්න ඕනේ කියලා. ඒ හීනය හැබෑ වුණු අවස්ථාවක් මාණික්කාවත කියන්නේ. මේ නාට්‍ය මහින්ද ප්‍රසාද් මස්ඉඹුලගේ මාණික්කාවත කෘතියෙන් නිර්මාණය වූවක්. පුදුමාකාර විදියට හැමෝම මහන්සි වුණු ටෙලි නිර්මාණයක් ඒක. විශේෂයෙන්ම මම එහි ඉන්නේ ගුණදාරි කියන අන්ධ චරිතයකට. ඒකත් මගේ ජීවිතේ ලැබුණු විශේෂම අවස්ථාවක්.

 

ඒ වගේම පාර දිගේ නාට්‍යයට ලැබෙන ප්‍රතිචාර ගැනත් කියමු

"පාර දිගේ" නාට්‍යය ජයප්‍රකාශ් ශිවගුරුනාදන්ගේ අධ්‍යක්ෂණයක්. ඔහු තමයි මාව මේ ක්ෂේත්‍රයට හඳුන්වා දුන්නු කෙනා සහ මගේ ජිවිතේ හැමදාම ළඟින්ම ඉන්න කෙනෙක්. එතැනදී විශේෂයෙන්ම කියන්න ඕනේ ඒ ටෙලි නිර්මාණයේ අඩුවෙන්ම පෙන්නේ මම. හැබැයි අඩුවෙන්ම පෙනිලා වැඩියෙන්ම ප්‍රතිචාර ලබන චරිතයක් ටුටූ කියන්නේ. ඒකට විශේෂ ස්තුතියක් වෙන්න ඕනේ ප්‍රේක්ෂකයාට සහ තිර රචක සද්ධා මංගල සූරියබණ්ඩාරයන්ට. සද්ධා අයියා සහ ශිවගුරුනාදන් මහතා එකතු වෙලා හදපු චරිතය ගැන විශේෂ ස්තුතියක් වෙන්න ඕනේ. මොකද මාව දකින්න නොලැබුණත් ටුටූ කෝ කියලා අහන තැනකට ප්‍රේක්ෂකයා ඇවිත් තියෙනවා.

 

කාලයක් ටුටූව දකින්න ලැබුණේ නැහැ, චරිතය හැර ගියාද නැත්නම් වෙනයම් ප්‍රශ්නයක් ද?

සාමාන්‍ය ව්‍යවහරයේ කතාවක් තියෙනවා නේ සමහර පෞද්ගලික දේවල් අදාළ කරගෙන චරිත නිර්මාණවලින් ඉවත් කරනවා කියලා. හැබැයි සද්ධා මංගල සූරියබණ්ඩාර කියන්නේ කොන්ද කෙළින් තියෙන මනුස්සයෙක්. කෙළින් වැඩ කරන මනුස්සයෙක්. ඒ නිසා පිටපතට අනුව සිද්ධ වුණු දෙයක් මිසක් අපි අතර කවදාවත් ප්‍රශ්න ඇතිවෙලා චරිතය අතුරුදහන් වීමක් වුණේ නැහැ.

 

ඉදිරියේදී අපිට දකින්න ලැබෙන නිර්මාණ මොනවද?

ඉස්සරහට සුපුන් රත්නායක මහතාගේ ටෙලි නිර්මාණයකට සුදානම් වෙමින් ඉන්නේ. ඒකත් වෙනස් විදියක චරිතයක්. ඒ චරිතය ඉස්සරහට දැක ගන්න ලැබෙයි.

 

සිනමාවට ඇරයුම් අඩුයි ද?

ටෙලි නාට්‍යය වලට තරම් ඇත්තටම මට සිනමාවට ආරාධනා ලැබිලා නැහැ. මේ වෙද්දී මංගල තෑග්ග චිත්‍රපටයේ දෙවැනි කොටස සහ කුණාටුවේ මාරයා කියන චිත්‍රපටයට රංගනයෙන් දායක වෙලා තියෙනවා. ඊට අමතරව පහුගිය කාලේ තව සිනමා නිර්මාණයක් කරන්න සාකච්ඡා මට්ටමේ තිබ්බා. ඒක මේ රටේ පවතින තත්වය එක්ක පොඩ්ඩක් එහෙට මෙහෙට වෙලා තියෙනවා.

 

වොල්ගා දැන් රංගනයට අමතරව ව්‍යපාර පැත්තට යොමුවෙලා නේද?

ඔව්. දැන් V log By Volga Kalpani කියලා ඔන්ලයින් ඇඳුම් බිස්නස් එකක් පටන් ගත්තා. මම කොහොමත් ඇඳුම් පැත්තෙන් ව්‍යාපාරයක් කරන්න ආසාවෙන් හිටියේ. ඒ නිසා ඒ පැත්තෙන්ම ව්‍යපාර පැත්ත පටන් ගත්තා.

 

වොල්ගා වෘත්තීය රංගන ශිල්පිනියක් ද?

ඔව්. මම වෘත්තීය රංගන ශිල්පිනියක්. මම ක්ෂේත්‍රයට ආව දවසේ ඉඳන් මම කෑවේ, මම වාහන ගත්තේ, ජීවත් වුණේ මේ සියල්ල කරේ රංගනයෙන්. ඒ නිසා මගේ වෘත්තීය රංගන ශිල්පිනියක්.

 

වෘත්තීය රංගන ශිල්පිනියක් විදියට චරිත තෝරා බේරා ගැනීම් එක්ක පවතින්න පුළුවන්ද?

කිසි ප්‍රශ්නයක් නැහැ. මම අහම්බෙන් රංගන ශිල්පිනියක් වුණේ නැහැ. බොහොම අමාරුවෙන් මහන්සි වෙලා පොඩි කාලේ ඉඳන් ආව කෙනෙක්. එතකොට අපිට වටිනාකමක් ඇති කර ගන්න පුළුවන් කියන දේ මම විශ්වාස කරනවා. මාව ගන්න ඕනේ අය ගනී, එහෙම නැති අය නොගෙන ඉදියි. ඒ නිසා මම කියන්නේ අපි අපේ වටිනාකම් හදා ගත්තොත් අපිට චරිත තෝරා බේරාගෙන ජීවත් වෙන්න පුළුවන්. ඒක අපේ අතේ තියෙන දෙයක් කියලයි මම විශ්වාස කරන්නේ.

 

ඒ කියන්නේ වොල්ගා වැඩි මුදලක් අය කරන රංගන ශිල්පිනියක් ද?

එහෙම කියන්න බැහැ. මොකද හැමෝම තම තමන්ට සිමා වුණු දේවල් එක්ක ජිවත් වෙන්නේ. මම මෑතකාලයේ දැකපු දක්ෂතා සපිරි තමන්ගේ වටිනාකම තේරුම් ගත්ත රංගන ශිල්පිනියන් විදියට ගොඩක් තැන් වලදී අගය කරනවා ශලනි තාරකා සහ තිසුරි යුවනිකා. ඒ අය බොහොම ලස්සනට වැදගත් විදියට තමන්ගේ රංගන වෘත්තීය කරගෙන මේ වෘත්තීය ආරක්ෂා කරගෙන ජිවත් වෙන කට්ටිය. ඒ නිසා වෘත්තීය රංගන ශිල්පිනියක් කියලා ලැබෙන හැම නිර්මාණයම කරන්න යන්න ඕනේ නැහැ. එහෙම නැතුව ජිවත් වෙන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ.

 

වොල්ගා මේ වෙද්දී දික්කසාද වෙලා ඉන්නේ කියලා හැමෝම දන්නවා, හැබැයි හැමදාම තනියම ඉන්නද කල්පනාව

ගොඩක් දුරට තනියම ඉඳියි. මම නිත්‍යානුකූල කසාදයකින් වෙන් වෙලා දික්කසාද වෙලා ඉන්න කෙනෙක්. හැබැයි දැන් මම පොඩ්ඩක්වත් නිත්‍යානුකුල කසාදය කියන එක විශ්වාස කරන කෙනෙක් නෙමෙයි. මොකද මම විශ්වාස කරනවා ආදරය විවාහය නීතියට විතරක් සිමා වෙන්න ඕනේ දේවල් නෙවෙයි කියලා. ඒක හරි සුන්දර ලස්සන බැඳීමක්. මම ඕනේ තැනක කියන කතාවක් තමයි විවාහ සහතිකයක් තියෙන්නේ දික්කසාද වෙද්දී බිරියට දේපළ ටික ගන්නයි මැරුණම ගන්නයි විතරයි. එහෙම නැතුව මම හිතන්නේ නැහැ ආදරය කරන්න, ආදරය සහ විවාහය ඇතුළේ තියෙන විශ්වාසයට නීතිමය බැඳීමක් අවශ්‍යයි කියලා මම හිතන්නේ නැහැ. මගේ ජීවිතේ ඒවා හරි ලස්සන මතකයන්. මම දෙයක් අල්ල ගත්තොත් සෑහෙන්න තදින් අල්ල ගන්නවා. ඒවා අතහරින්න හරි අමාරුයි. මගේ ජිවිතේ සමහර දේවල් තියෙනවා ඒවා අමතක කරලා නැහැ. ඒකයි ඇත්ත කතාව. හැබැයි මම තව විවාහයකට යනවා නම් අලුත් කෙනෙක්ට මගේ ජීවිතේ දෙනවා නම් ඒ සියල්ල අමතක කරන්න ඕනේ. එහෙම සූදානමක මම නැහැ. දැනෙන ආදරයක් ලැබුණොත් වෙනස් වෙයි. හැබැයි බොහෝදුරට මම තනිවම ඉඳියි.

Comments