පාතාල නායකයන්ගේ බොලිවුඩ් සුරතලියෝ | සිළුමිණ

පාතාල නායකයන්ගේ බොලිවුඩ් සුරතලියෝ

බොලිවුඩ් සිනමාව සහ පාතාල ලෝකය අතර තියෙන්නේ සමීප බැඳීමක්. බොලිවුඩය කියන්නේ දාදු කැටයක් නම් එකේ එක පැත්තක් අනිවාර්යෙන්ම ඉන්දියානු පාතාලයට අයිති වෙනවා. අපරාධ ප්‍රභේදයේ ෆැන්ටසි සිනමාපට ඉන්දියානු සිනමා රසිකයන්ගේ මුවඟට විසිල් හඬ ගෙන්වත්දී සැබෑ ලෝකයේ අංක එකේ අපරාධකරුවන් බොලිවුඩ් නිළියන්ගේ හදවත් සොරා ගත්තේ වරක් දෙවරක් නම් නොවෙයි. නිළියන් විතරක් නෙවෙයි රිදී තිරයේ සුපිරි වීරයන් වුණු නළුවනුත් මේ කුප්‍රකට පාතාල නායකයන්ගේ සුරතලුන් බවට පත්වුණේ ඔවුන්ගේම රහස් ලෝකවලදියි. මේ ඉන්දියානු සිනමාව වෙළාගත් පාතාලය කියන බූවල්ලා ගැන ඉතාම පුංචි විස්තරයක්.

 

මම්තා කුල්කර්නි සහ වික්‍රම් ගොස්වාමි

90 දශකයේ බොලිවුඩයේ සිටි සරගිතම නිළියන් අතර ඉදිරියෙන්ම කියවුණේ ඇගේ නම කියල කිව්වොත් එහි වරදක් නැහැ. සල්මන් ඛාන්, අක්ශේ කුමාර්, අමීර් ඛාන් සමඟ පෙම්වතියගේ චරිතයට පණ දුන් මම්තා එක්වරම බොලිවුඩයෙන් අතුරුදන් වුණේ ඇගේ රංගන දිවියේ ස්වර්ණමය වකවානුවේදියි. පාතාල නායක වික්‍රම් ගොස්වාමි සමඟ ඇය ඩුබායිහි ජිවත්වන බවට තොරතුරු හෙළිවුණේ 2010 වසරේදී පමණයි. පසුව ඔවුන් දෙදෙනා කෙන්යාවට පළා ගිය අතර එහිදී අත්අඩංගුවට පත්වුණා. මුදල් විශුද්ධිකරණය කිරීමේ යෙදුණු බවට චෝදනා ලැබූ එල්ල වූ චෝදනා ඉන්දියානු කෝටි 2000 වැඩි බව පසුව ප්‍රකාශ වුණා.

 

මොනිකා බෙඩි සහ අබු සලීම්

කාන්තාවන්ගේ සිත් ගැනීමට දක්ෂ සෙමින් කතා කරන දරුණු පාතාල නායකයා සමඟ පෙමින් බැඳුණු මොනිකා ඒ හේතුවෙන්ම සිය රංගන දිවිතයේ අනාගතය විනාශ කර ගැනීමේ මාර්ගයටද එළඹුණා. හින්දි දමිල, තෙලිඟු සිනමාපට 30 කට වැඩි ගණනක රංගනයෙන් දායක වූ ඇය කලක් අබු සලීම් සමඟ පෘතුගාලයේ ජීවත් වුණා. මොනිකාගේ මුවේ සිනහව වෙනුවෙන් සලිම්ගේ පිස්තෝලය බොහෝ කැපවීමෙන් කටයුතු කළ අතර නිෂ්පාදකවරු සහ අධ්‍යක්ෂකවරු ගණනාවක් එය සිය හිසට එල්ලවී තිබෙනු සිහිනයෙන් පවා දකින්නට ඇති බවට සැකයක් නැහැ.

 

සෝනා සහ හජි මස්තානි

ඉන්දියාවේ බිහිවූ ජේත්තුකාරම පාතාල නායකයා වූ හජි මස්තාන් මුම්බායේ රජ කළේ 1960-80 අතර කාලයේදීයි. එවකට ජනප්‍රිය නිළියක වූ මධුබාලා සමඟ කලක් ඔහුගේ තිබු සම්බන්ධය මුළු ඉන්දියාවේම ප්‍රකට රහසක්. මධුබාලාගෙන් බිඳුණු සිතට සුරූපී නිළි සෝනාගෙන් සැනැසුම හෙවු හජි, පසුකාලයේදී ඇය සමඟම විවාහ වුණා. සුදු ඇඳුමින් සහ සුදු සපත්තු ආදියෙන් සැරසී, රත්රන් ඔරලෝසු පැළඳ, සුදු පැහැ බෙන්ස් රථවලින් ගමන්ගත් හජි එවකට ඉන්දියාවේ රජකළ ප්‍රධානතම පාතාල නායකයන් තිදෙනාගෙන් අයකු ලෙස සැලකුණා. පසුකලෙක ඔහු දේශපාලනයටද පිවිසුණා.

අමිතාබ් බච්චන් ප්‍රධාන චරිතය නිරූපණය කළ deewar (1975), අජේ දේව්ගන් ප්‍රධාන චරිතය නිරූපණය කළ Once Upon a Time in Mumbaai(2010) සහ රජිනි කාන්ත් ප්‍රධාන චරිතය නිරූපණය කළ Kala Karikalan(2018) ආදිය හජිගේ චරිතය ඇසුරෙන් නිර්මාණය කෙරුණු සිනමාපට කිහිපයක්.

 

අනීතා අයුබ් සහ ඩාවුඩ් ඉබ්‍රහිම්

පකිස්ථානයෙන් බිහිවූ සරාගී රූ රැජිනක වූ අනීතා 1980-90 දශකයන්වලදී රිදී තිරය සහ පුංචි තිරය බැබළ වූ දීප්තිමත් තාරකාවක්. ඇගේ රංගන ජීවිතය වියැකී යාමට හේතු වුණේ අනීතා සහ ප්‍රකට පාතාල නායක ඩාවුඩ් ඉබ්‍රහිම් අතර සම්බන්ධය ලොවට හෙළිවීමයි. ඉන්දියාව පාලනය කරන නිල නොවන නායකයා ලෙස සැලකෙන ඩාවුඩ් සුප්‍රකට FBI ආයතනය විසින් නම් කළ ලොව අත්‍යවශ්‍යම අපරාධකරුවන්ගේ ලැයිස්තුවේ තුන්වන ස්ථානය හිමි පුද්ගලයායි.

සුප්‍රකට D COMPANY නම් පාතාල කණ්ඩායමේ නායකයා වන ඔහුගේ හිස රැගෙන එන අයකු වෙනුවෙන් ඩොලර් මිලියන 25ක ත්‍යාගයක් ද මේ වන විට ඉන්දියාව සහ ඇමෙරිකාව එක්ව වෙන් කර තිබෙනවා.

වරක් අනිතාට ප්‍රධාන චරිතයක් දීමට අදිමදි කල ජනප්‍රිය සිනමා නිෂ්පාදක ජාවෙඩ් සිද්දික්ට සිදුවුණේ එම තීරණයට සිය ජිවිතයෙන්ම වන්දි ගෙවීමටයි.

 

මන්දාකිණි සහ ඩාවුඩ් ඉබ්‍රහිම්

බ්‍රිතාන්‍ය සම්භවයක් සහිත ඉන්දියානු රුමතියක වූ ඇය මන්දාකිණි ලෙස නම් කර සිනමාවට හඳුන්වා දුන්නේ ප්‍රකට නළු රාජ් කපුර් විසිනුයි.

කෙසේවෙතත් සරාගී නිළියන් වෙත බැල්ම හෙළන පාතාල අවතාරයෙන් ගැලවීමට ඇයටද පහසු වුණේ නැහැ. මන්දාකිණි සහ ඩාවුඩ් ඉබ්‍රහිම් ඩුබායිහිදී එක්ව සිටින ඡායාරූප මාලාවක් ඉන්දියානු මාධ්‍ය වෙත නිකුත්වීමත් සමඟ ඇගේ සිනමා දිවියද අභියෝගයට ලක්වුණා. පසුකලක සියල්ල හැර දමා බුදු දහම සහ යෝග වෙත යොමුවූ මන්දාකිණි මේ වන විට යෝගා ශාස්ත්‍රය උගන්වමින් සිටින්නේ සිය සැමියාද සමඟ එක්වයි.

 

ජැස්මින් සහ ඩාවුඩ් ඉබ්‍රහිම්

ඩාවුඩ් ඉබ්‍රහිම් බොලිවුඩ් සිනමාව තුළ පැතිර වූ ආධිපත්‍යට නතුවී විනාශ වූ තවත් රූමතියක් ලෙස ජැස්මින් හඳුන්වා දිය හැකියි. VEERANA නම් සිනමාපටයෙන් එක් රැයක් තුළ ඉන්දියානු සිනමා රසිකයන්ගේ සිහින කුමරියක වූ ඇය එක රැයකින්ම ඒ සියල්ල අහිමි කරගත්තේ ඩාවුඩ් ඉබ්‍රහිම්ගේ තවත් අනියම් පෙම්වතියක් බවට පත්වෙමිනුයි. ජනප්‍රියත්වයේ හිනි පෙත්තේ සිටියදී අතුරුදන් වූ ජස්මින්ට සිදුවුයේ කුමක්ද යන්න අදටත් එරට පොලිසියේ නළල රැලි කරවන්නක්.

 

ප්‍රීටි සින්තා සහ රවී පුජාරි

කම්මුල් වල ගැසෙන සිනාවක් හිමි මේ ආඩම්බරකාර රූමතියට බොහෝ දෙනෙක් හිතින් පෙම් කළත් ඇයව තමා සමීපයට ගැනීමට පාතාල නායකයන් ට එතරම් පහසු වුණේ නැහැ.

ඒ අතරින් රවී පුජාරි පියවරක් ඉදිරියෙන් සිටියේ ඇය පුද්ගලිකව හමුවීමට ඔහු සමත්වීම හේතුවෙන්. CHORI CHORI CHUPKE CHUPKE (හැංගි හැංගි හොරෙන් හොරෙන්) සිනමාපටයේ රූගත කිරීම් අතරතුර දෙදෙනා හැංගි හැංගි හොරෙන් හොරෙන් මුණගැසී ඇති බව පසුව ලොවට අනාවරණය කළේ ප්‍රීටි සමඟ විරසක වූ ඇගේ හිටපු පෙම්වතා වන නෙස් වාඩියා විසිනුයි.

Comments