බොහෝ අය ක්ෂේත්‍රයට එන්නේ ජනප්‍රියත්වය බලාගෙන | සිළුමිණ

බොහෝ අය ක්ෂේත්‍රයට එන්නේ ජනප්‍රියත්වය බලාගෙන

මම ජීවිතයේ නොයෙක් හැල හැප්පිම්වලින් මිරිකිලා, තෙරපිලා, බැටකාලා ආපු මිනිහෙක්. ඒ හැලහැප්පීම් ඇතුළෙ මගේ ඇගෙන් වැගිරුණු දහඩිය බිංදු අදත් මට සුවඳයි. ඒ සුවඳ නිසා මම මේ ගමන තවම යනවා.

 

මාතර රාහුල විද්‍යාලයෙන් කලා ලොවට පිවිසි රංජිත් රූබසිංහ ක්ෂේත්‍රයේ සිටින දක්ෂ රංගන ශිල්පියකු මෙන්ම කාර්මික ශිල්පියකු ද වේ. මේ දිනවල විකාශය වන ඉස්කෝලේ ටෙලිනාට්‍යය සහ සිහින ගෙනෙන කුමාරියේ, කෝපි කඩේ නාට්‍යවල ජනප්‍රියම චරිතයක් බවට පත් වී ඇති ඔහු සමඟ කළ කතා බහකි මේ...

 

මම ජීවිතයේ නොයෙක් හැල හැප්පිම්වලින් මිරිකිලා, තෙරපිලා, බැටකාලා ආපු මිනිහෙක්. ඒ හැලහැප්පීම් තුළ මගේ ඇගෙන් වැගිරුණු දහඩිය බිංදු අදත් මට සුවඳයි. ඒ සුවඳ නිසා මම මේ ගමන තවම යනවා. කියමින් රංජිත් රූබසිංහ කතාවට මුල පිරුවේය. 1963 මැයි 5 වැනිදා මාතර ඇකුරැස්ස මාරඹදී මෙලොව එළිය දුටු රුබසිංහ කලාවට අත් පොත් තබන්නේ පාසල් කාලය තුළදී ම ය. 1968 වර්ෂය රංජිත්ගේ ජීවිතය තවත් සන්දිස්ථානයක් විය. ඒ කුඩා රංජිත්ට නිදහස් අධ්‍යාපනයේ පහස ලබන්නට මාරඹ කනිෂ්ඨ විදුහලේ දොර ඇරීමයි. පසුව ඔහු ගොඩපිටිය විදුහලටත් ගියේය.

ඔහු රාහුල වේදිකාවෙන් ලැබුණු පන්නරය හා තාත්තාගේ ලැබුණු ආභාසය නිසාත් ගමේ වෙසක් නාට්‍යවල ගායකයා හා නළුවා විය.

රාජකාරියෙන් පසු නිවාඩු පාඩුවේ ඉන්න විට වීදි නාට්‍යයවල රඟපාන්න යන ඔහු පසුව පැය 16 සේවය කර නිවාඩු ලැබුණු පසු නැවත වීදි නාට්‍යය කණ්ඩායමට එකතු වේ. ඉන් අනතුරුව සුගතපාල ද සිල්වාගේ නාට්‍යය වැඩමුළු හා මාරාසාද් නාට්‍යයේ පසුතල නිර්මාණකරණයට යොමු වන්නට ඔහුට හැකි විය. කපිල කුමාර කාලිංගගේ රයිනෝසිරස් වේදිකා නාට්‍යයට ද මේ වකවානුවේම එකතු වීමට අවස්ථාව උදා විය. මේ කාලසීමාව තුළදී ඔහු මල්වත්තපාරේ පිහිටි ගොඩනැගිල්ලක සිනමා පාඨමාලාවක් හැදෑරුවේය. අර්නස්ට් පෝරුතොට පියතුමා, බෙනඩික් ජෝසප් පියතුමා, ඇන්ඩ්‍රෘ ජයමාන්න, ටෝනී රණසිංහ එහි දේශකයන් විය. පාඨමාලාව අවසන් වීමෙන් පසු රැකියා ස්ථානයට එන ඔහුට අසන්නට ලැබෙන්නේ ඔහු නොසිතන දෙයකි. ඒ රාජකාරියෙන් ඉවත් කර ඇති බවයි. එයට ප්‍රධානම හේතුව වන්නේ සිනමා පිස්සෙක් ලෙස කොළඹ වටේ ඇවිද යාමයි. රැකියාවත් කලාවත් දෙක එකට කර ගැනීමට නොහැකි වීම නිසා අස්වීමේ ලිපිය ඔහු අතට පත් විය. ඉන්පසු රැකියාවල් සොයන රංජිත්ට සැලසිනේ රාජකාරිය අවස්ථාවක් හිමි වන්නේය. එහිදී ක්ෂේත්‍රයේ විවිධ තරාතිරම්වල පුද්ගලයන් හඳුනා ගැනීමට රංජිත්ට හැකි විය. ආචාර්ය ලෙස්ටර් ජේමිස් පීරිස් හා සුමිත්‍රා පීරිස් හඳුනා ගැනීමට හැකිවීමද ඔහුගේ කොළඹ ආ ගමනේ සන්සිද්ධාස්ථානයක් විය. පසුව ආචාර්ය ලෙස්ට ජේමිස් පීරිස් හා සුමිත්‍රා පීරිස් සමඟ සිනමා ක්ෂේත්‍රයට එන්නට ඔහුට අවස්ථාව උදා විය. දෙවන වරටත් රාජකාරි ස්ථානයෙන් අස් කිරීමේ ලිපිය රංජිත් අතට පත් වන්නේ සිනමාව නිසාමයි.

එතැන් පටන් දිගටම කලාවේ නිරත වන්නට රංජිත් අධිෂ්ඨාන කර ගත්තේය. මුලින්ම කාර්මික ශිල්පියකු ලෙසද ලෙස්ටර් යුවළ සමඟ සම්බන්ධ වන රංජිත් නළුවකු ලෙස ද වරම් හිමි වන්නේය.

මම ලෙස්ටර් මහත්තයාගේ ටෙලිනාට්‍ය ගණනාවකටම සම්බන්ධ වුණා. ගිරය, ගොළු හදවත, ගැහැනු ළමයි, මගේ ජීවිතය නාට්‍ය කලාවේ සංසිද්ධාස්ථානයි. ඒ ලැබූ පන්නරය කියලා නිම කරන්න බැහැ. ඊට අමතරව විලේජ් බයි ද සී විදේශ චිත්‍රපටයක් කළා. ඒක මහා දැවැන්ත නිෂ්පාදනයක්. ඔය අතරතුර මම රුසියන්, ජර්මන්, ප්‍රංශ සංස්කෘතික මධ්‍යස්ථානවලට ගොස් සාමාජිකත්වය අරගෙන සිනමා වැඩමුළුවලට සහභාගි වුණා. විදේශ චිත්‍රපට ගණනාවක් නැරඹුවා.

ඉන් ලැබූ පන්නරය මගේ රංගන ජීවිතයට පිටුවහලක් වුණා. දැනට ටෙලිනාට්‍ය, වේදිකා නාට්‍ය සහ සිනමාපට 50කට විතර රංගනයේ නිරත වී ඇති ඔහු දක්ෂ කාර්මික ශිල්පියෙකි. ඒ වගේම ඔහු සහාය අධ්‍යක්ෂවරයකු ද වේ.

රංජිත් යළිත් හඬ අවදි කරමින් කියා සිටියේ

දන්නවාද දැන් අලුතින් ක්ෂේත්‍රයට එන බොහෝ දෙනෙක් ක්ෂේත්‍රයට ආශාවෙන් නෙමේ එන්නේ ජනප්‍රියත්වය සඳහායි. ඔවුන්ගේ වෙනත් අරමුණක් කරා ගමන් කරන මාර්ගයකුත් නෑ. දක්ෂයකුට එතැනට එන්නට ඉඩ අවස්ථාව ද නැතිවී යනවා මේ හේතුව නිසා. විශ්වවිද්‍යාලවල හා පාඨමාලා හදාරන තැන්වල නාට්‍ය හා සිනමාව ඉගෙන ගන්නවා; සමහරවිට රඟපාන්නත් බෑ. සහතිකයට පමණක් සීමා පිරිසක් විතරයි. ඒ අතර දක්ෂයන් ද ඉන්නවා.

මේ දිනවල ටෙලිනාට්‍ය කිහිපයකද ඔහු රංගනයේ නිරත වේ. දෙරණ නාළිකාවේ විකාශය වන ඉස්කෝලේ ටෙලිනාට්‍යයේ මාළු කපිලගේ චරිතය ජනප්‍රිය චරිතයක් බවට පත් වී හමාරය. ඒත් සමඟම ටෙලිනාට්‍ය කාලවේ දීර්ඝතම ටෙලිනාට්‍ය වන ස්වාධීන නාළිකාවේ විකාශය වන කෝපි කඩේ බයිස්කෝප්ගේ චරිතයද පසුගිය දිනවල විකාශය වූ සිහින ගෙනෙන කුමාරියේ රංගනයද ඔහුගේ මේ දිනවල ජනප්‍රියතම නාට්‍යය ගොන්නට එකතු වේ. ඉදිරියේදී තිරගත වීමට නියමිත මහාචාර්ය සුනිල් ආරයරත්නයන්ගේ ක්ෂීර සාගරය කැලඹේ, අචාර්ය සරත් වීරසේකර සිද්ධා සහ ෆිල්ම් ටී නිෂ්පාදන ආයතනය එක්ව රූ ගත කළ ඉන්දීය වෙබ් සීරියස් ටෙලිනාට්‍යයකද ඔහු වැඩ අවසන් කර ඇත. හිරු නාළිකාවේ නිෂ්පාදනය කළ ටෙලි ෆිල්ම් එකක්ද මේ සමඟ ඉදිරි නිර්මාණ ගොන්නට එකතු වේ.

Comments