පාසල් එකසිය පහක හොකී ක්‍රීඩාවේ අයිතිකාරිය | සිළුමිණ

පාසල් එකසිය පහක හොකී ක්‍රීඩාවේ අයිතිකාරිය

 

මහනුවර මහාමායා බාලිකා විදුහල්පතිනි

ශෂිකලා සමිතාංගනී සේනාධීර

ශ්‍රී ලංකා පාසල් හොකී සංගමයේ සභාපතිධුරය මෙවර හිමි වුයේ (2022/23) ‍ මහනුවර මහාමායා බාලිකා විදුහල්පතිනි ශෂිකලා සමිතාංගනී සේනාධීරට ය. ශෂිකලා ශ්‍රී ලංකා පාසල් හොකී අසුනට නිතරගයෙන් ම තේරී පත්වු මුල් ම අවස්ථාව ද මෙය වෙයි‍.

මම මහනුවර මහාමායා බාලිකාවේ ආදි ශිෂ්‍යාවක්. 1987 දි පාසල් හොකී කණ්ඩායමේ උපනායිකාව ලෙසත්, 1988 පාසල් හොකී කණ්ඩායමේ නායිකාව ලෙසත් කටයුතු කළා. ඊට අමතරව 1987 හා 1990 දී මහනුවර දිස්ත්‍රික්ක පාසල් හොකී කණ්ඩායමේ නායිකාව ලෙසත් කටයුතු කළා. 1987 වසරේ දී සමස්ත ලංකා පාසල් හොකී ශුරතාව හිමිකර ගැනීමට මගේ නායකත්වයෙන් ඉදිරිපත් වූ මහනුවර දිස්ත්‍රික්ක කණ්ඩායම සමත් වුණා. මීට අමතරව පාසල් කාලයේ ජවන හා පිටිය ක්‍රීඩාවල නිරත වුණා. මගේ ගම මැණික්හින්න. මගේ මුල් පාසල පාතදුම්බර මහා විද්‍යාලයයි.එහිදී 11න් පහළ දක්ෂත ම ක්‍රීඩිකාව වුණා. පස්සේ පහේ ශිෂ්‍යත්වයෙන් සමත්වෙලා මහාමායා බාලිකාවට ඇතුළත් වුණා. පාසල් කාලයේ සිට ම මා හොකී ක්‍රීඩාවට මෙන්ම ජවන හා පිටිය ක්‍රීඩා වලට කැමැත්තෙන් තමයි කටයුතු කළේ. ඒ වගේම ක්‍රීඩාවල දක්ෂතා ගොඩක් පෙන්වා තිබෙනවා.

ක්‍රීඩාව නිසා ගොඩනැඟුණු පෞරුෂය

කලින් නම් මා මෙවැනි තනතුරු දරල නැහැ. නමුත් නායකත්වය මෙහෙයවීම නම් මගේ ඇඟේ තියන දක්ෂතාවයක් කියලයි මට දැනෙන්නේ. මා පාසල් කාලයේ බාල දක්ෂිකාවක් ලෙස කටයුතු කළා. විෂය සමගාමී කටයුතු වල නිරත වුණා. අධ්‍යාපනය වගේම ක්‍රීඩාවත් හරිම කැමැත්තෙන් තමයි කළේ. පාසලේ මෙන්ම විශ්ව විද්‍යාලයේ දී හැම ක්‍රියාකාරී වැඩකදීම නායකත්වය ගෙන කටයුතු කළ නිසා අදටත් නායකත්වය නිසියාකාරව මෙහෙයවීමේ හැකියාව තියෙන බව මට විශ්වාසයි. විශේෂයෙන්ම ක්‍රීඩාව නිසයි මගේ පෞරුෂය ගොඩ නැඟුණේ කියල අද මට හිතෙනවා.

මෙරට පාසල් 105ක මව

ලංකාවේ සමස්ත පාසල් 105ක දිස්ත්‍රික්ක 19 ක පළාත් 07 ක පාසල්වල හොකී ක්‍රීඩා කරනවා. වැඩියෙන්ම තියෙන්නේ මධ්‍යම හා බස්නාහිර පළාත්වලයි. මාතලේ දිස්ත්‍රික්කය හොකීවලට දක්ෂතා දක්වනවා වැඩියි.

පාසල්වල හොකී තත්ත්වය පසුබෑමක පසු වෙනවා. හේතුව ළමයි පාසල් පැමිණීමේ ප්‍රතිශතය අවම මට්ටමක තමා තියෙන්නේ. දිස්ත්‍රික්ක හොකී සංගම් අක්‍රිය වෙලා. දිස්ත්‍රික්ක හොකී තරගාවලිය තියන්න එපා කියලා අමාත්‍යාංශයෙන් දැනුම් දී තිබුණා. නැතිනම් මේ වන විට තරගාවලි කිහිපයක් ම පවත්වන්න තිබුණා. ඉස්සර නම් දිස්ත්‍රික්කයෙන් තෝරාගනු ලබන කණ්ඩායම් පමණයි, සමස්ත ලංකා තරගාවලියට යන්නේ. නමුත් දිස්ත්‍රික් තරගාවලි නොමැති නිසා සමස්ත ලංකා තරගාවලි වෙනුවෙන් සියලුම කණ්ඩායම් යැවීමට සිදුවෙලා. අවුරුදු 14න් පහළ 15න් පහළ 18න් පහළ 20න් පහළ සියලු කණ්ඩායම් සමස්ත ලංකා තරග වෙනුවෙන් සහභාගි කරවීමට සිදුවෙලා.ඒ නිසා සංවිධාන කටයුතු අපහසු වී තිබෙනවා. මේ නිසා අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කර තියෙනවා දිස්ත්‍රික් හොකී සංගම් පිහිටුවා ගන්න කියලා. ලබන සතිය වන විට එය ක්‍රියාත්මක වෙයි කියලා අපි හිතනවා. මේ වන විට ගම්බද හැරුණු විට අර්ධ නාගරික පාසල්වල හොකී පටන් අරගෙන. හොකී රැක් එකක් රුපියල් 18,000ක් වෙනවා. ගෝල් කීපින් පෑඩ් එක රුපියල් 70,000ක් පමණ වෙනවා. එම මුදල දරාගන්න බැරි පාසල් ගොඩක් තියෙනවා. ක්‍රිකට් ආයතනය හරහා ක්‍රිකට් වෙනුවෙන් පාසල්වලට අවශ්‍ය උපකරණ ලබා දුන්නත් හොකී සම්මේලනයට එහෙම කිරීමේ හැකියාවක් නැහැ. මම බලාපොරොත්තු වෙනවා අධ්‍යාපන අමාත්‍යාංශය හරහා ක්‍රීඩා අමාත්‍යාංශයෙන් මේ අඩුපාඩු පාසල් වෙත ලබාදීමට. එ්වගේ ම ක්‍රීඩා පුහුණු හොකී පුහුණුකරුවන් හොකී විනිසුරුවන් විදියට පුහුණු කරන්න බලාපොරොත්තු වෙනවා. හේතුව හොකී වලත් නව නීති රීති එක්වීම නිසා අදාළ පුහුණුවීම් අනිවාර්යයි. එය මැයි මස වන විට මහනුවර දිගන ක්‍රීඩාංගණයේ සිදු කරන්න බලාපොරොත්තු වෙනවා.

කෝවිඩ් වසංගතය සහ දරුවන් ක්‍රීඩාවට යොමු වීම

අප පාසලේ ළමයි 4135ක් අධ්‍යාපනය හදාරනවා. නමුත් අද පැමිණියේ ළමයි 65 දෙනෙක් පමණයි. ගුරුවරු 196ක් සිටිනවා. ගුරුවරුත් සමඟ මා සම්බන්ධ වී ඉදිරියේ දී ළමයි පාසල වෙත ගෙන්වා ගැනීමේ වැඩ පිළිවෙලක් ආරම්භ කර තිබෙනවා. ඊට අමතරව ශිෂ්‍යාවක් විසින් විෂය සමගාමී වැඩ සටහනක නියැළීම හා එක් ක්‍රීඩාවක නියැළීම මා අනිවාර්යය කරනවා. ඒ වෙනුවෙන් ප්‍රගති වාර්තාවට ලකුණක් ලබාදීමේ ක්‍රමවේදයකට අනුගත වීමේ වැඩ පිළිවෙළක්ද ආරම්භ කිරීමට නියමිතයි. දරුවා අධ්‍යාපනයට වගේම ක්‍රීඩාවට යොමු කර සමබර පෞරුෂයක් ලබා දීමේ අරමුණ පෙරදැරි කරගෙනයි මෙය කරන්න අප අදහස් කළේ. ක්‍රීඩාවෙන් ජයග්‍රහණය නොකළත් සහභාගිත්වය තුළින් තමන්ගේ පෞරුෂය ගොඩනඟා ගැනීමේ හැකියාව ලැබෙන බව මට විශ්වාසයි. අද සමාජය දිහා බලන විට පෙනෙන දුර්වල තැන් නිසයි මා මේ වැඩ පිළිවෙළ අප පාසලෙන් ආරම්භ කරන්නේ.

වසංගත තත්ත්වය අධ්‍යාපනයට හා ක්‍රීඩාවට කළ බලපෑම

කෝවිඩ් තත්ත්වය තදින්ම පැවැති කාලයේ මෙන්ම ගුරුවරු වැඩ වර්ජනයේ නියැඝුණු කාලයේදී මා පාසලේ සියලු දරුවන් වෙත අධ්‍යාපනය ලබා දීමේ පියර් ලර්නින් ප්‍රසන්ට් (සම පදස්ථ ඉගෙනුම ) කියලා වැඩ සටහන ආරම්භ කළා. ඒ වෙනුවෙන් මුළු පාසලටම පැකේජස් 05ක් ගත්තා. දුරකතන නොමැති දරුවන් 64 දෙනෙකුට ආදි ශිෂ්‍ය සංගමය හරහා දුරකතන ලබා දුන්නා. ඒ වගේ ම ටැබ් 4ක් ලබා දුන්නා. මේ ක්‍රියාවලිය වෙනුවෙන් විශ්වවිද්‍යාල සිසුන් හා විශ්වවිද්‍යාල ආචාර්ය සේවයේ සිටින පාසලේ ආදි ශිෂ්‍යාවන් මෙන්ම දෙමවුපියන් උදව් කළා. ඉගැන්වීම් කටයුතු කළේ අප පාසලේ දරුවන්ම යොදා ගෙනයි. උසස් පෙළ සමහර විෂයයන් වෙනුවෙන් විශ්වවිද්‍යාල ආචාර්යවරු යොදවා ගත්තා.

අනාගත හොකී බලාපොරොත්තුව

මගේ පාසල ලංකාවේ විශිෂ්ඨ ම පාසල කරන්නත් ලංකාව පුරා පාසල්වල දරුවන්ට හොකී ක්‍රීඩාව වෙනුවෙන් අවශ්‍ය පහසුකම් සැපයීම මගේ ප්‍රධානම අරමුණ. ඇත්තෙන්ම මා ක්‍රීඩාවට ආසයි.ඒ වගේම ක්‍රීඩාව මගේ ඇඟෙත් තියෙනවා. ඒ නිසා මෙරට හොකී නඟා සිටුවන්න මට යමක් කළ හැකියැයි විශ්වාසයි. පාසල් හොකී සභාපතිත්වය මට තව අවුරුද්දක් තියෙයි. ඒ වසර තුළ රටේ සියලුම දරුවෝ වෙත හොකී ක්‍රීඩාවට පහසුකම් සැපයීමට අනුග්‍රහකත්වයන්ගේ සහයෝගය මේ වෙලාවේ මා ඉල්ලා සිටිනවා.

 

Comments