වර්ණවත් කළ කලාකරුවන්ට උපහාර පිදෙන සම්මාන රාත්‍රියක් | සිළුමිණ

වර්ණවත් කළ කලාකරුවන්ට උපහාර පිදෙන සම්මාන රාත්‍රියක්

මම මේක දකින්නේ සත් ක්‍රියාවක් ලෙසටයිප්‍රවීණ රංගන ශිල්පී, සිරිල් වික්‍රමගේ

 

මේ යුගයේ ශිල්පීන් අගය කිරීම අති විශිෂ්ට ක්‍රියාවක් ලෙස මම දකිනවා. ඒ කාලේ අපේ පරපුරේ ශිල්පීන් චිත්‍රපටි කළේ මුදල පදනම් කරගෙන නෙමෙයි. චිත්‍රපටවල රඟපෑවේ හරියට අභිමානවත් ලෙසයි. ඒ කාලේ ශිල්පීන් ගොඩක් දෙනෙක් සිනමාවට ආදරය කළා.

සියලු දෙනාගේම ගෞරවය රැකෙන විදිහට නිර්මාණවලට අපි දායකත්වය දුන්නා. එහෙයින් හොඳ නිර්මාණ එළියට ආවා. කලාකරුවා කියන්නෙ සාමාන්‍ය මිනිස්සුන්ට වඩා සමාජය දිහා වෙනත් විදිහකට බලන්න පිරිසක්.

ඒ නිසා කල් ගත වී හෝ එක එක වකවානුවල කලා ශිල්පීන් සහ කාර්මික ශිල්පීන් ඇගයීම කළ යුතුයි. මම මේක දකින්නේ සත් ක්‍රියාවක් ලෙසටයි. මම කිව යුතුම දෙයක් තමයි, අපි චිත්‍රපටවල රඟපෑවට තිරයේ පිටුපස ඉඳන් කරන කාර්යභාරය අතිශයින්ම වැදගත්. ඒවගේම තමයි අපිව ඉහළට ඔසොවා තබන මාධ්‍යවේදීන්. ඒ නිසා ඔවුන්ටත් සම්මානයක් දීම ද මේ පදනම කරන මහඟු කාර්යයක් ලෙස මම දකිනවා.

 

අලුත් පරම්පරාවට පෙර පරපුර ගැන දැනගන්නට ලැබීමත් ලොකු දෙයක්කැමරා හා චිත්‍රපට අධ්‍යක්ෂක, කේ. ඩී දයානන්ද

කලාකරුවන් ජීවත් වෙලා ඉන්නකොට ඔවුන්ව අගය කිරීම ඉතා වටිනවා. ඔවුන්ව මැරුණට පසුව ඔවුන්ට උපහාර උත්සව තියලා ඔවුන් සැමරුවා ට වැඩක් නැහැ .ඒ බව ඔවුන්ට පෙනෙන්නෙත් නැහැ. ඊට වැඩිය හොඳම ක්‍රියාව තමයි ජීවත් වෙලා ඉන්න කොට ඔවුන්ට ගරු බුහුමන් දැක්වීම. ඒ යුගයේ අපි මෙතනට එන්න ගොඩක් කැපවීම් කළා. ඒ නිසා මෙවැනි උළෙලක් පවත්වා ඇගයීමට ලක් කිරීම මේ වකවානුවේ හරිම වටිනවා කියලා මම හිතනවා. අද ඉන්න ප්‍රවීණයෝ ගොඩ දෙනෙක් අලුත් පරම්පරාව හඳුනන්නෙ නෑ. එනිසා මෙවැනි උළෙලවල්වලදි අලුත් පරම්පරාවට පෙර පරපුර ගැන දැනගන්නට ලැබෙන එකත් ලොකු දෙයක්. සම්මානයක්, සහතිකයක්, මුදල් ත්‍යාගයක්, ඡායාරූපයක් සහ වටිනා ත්‍යාගයක් පිරිනමනවා කියන්නේ ලොකු වියදමක් යන වැඩක්. එවැනි සත් ක්‍රියාවක් කරන සිල්වර් ස්ක්‍රීන් පදනමට පින්.

 

ඔවුන් වේදිකාවක නංවන්නට සැරසෙන එක ගැන සතුටුයි - ප්‍රවීණ රංගන ශිල්පිනී, නීටා ප්‍රනාන්දු

සම්මාන පිරිනැමීමක් කියන්නේ කලාවේ නිරතවන්නන්ට ගෞරවයක් ගෙන දෙන දවසක්. අලුත් නිර්මාණ කරන කලාකරුවන්ට එය උත්තේජනයක් සපයනවා.

සිංහල සිනමාව ඉහළට ඔසවා තබන්නට කටයුතු කළේ, මේ සම්මානයට පාත්‍ර වෙන කලා ශිල්පීන්. ඒත් සමහරුන් අද ඔවුන්ව අමතක කරල දාලා. ඒ නිසා මේ සම්මාන උළෙල හරහා ඔවුන් යළි සිහිපත් කරන්නට ඔවුන් සිටින තැන් සොයාගෙන ගොස් වේදිකාවක නංවන්නට සැරසෙන එක ගැන මම අගය කරනවා.

අඳුරු වලාකුළක සේයාවක් තියෙන කාලවකවානුවක වැස්සට තෙමි තෙමී කුඩයක් ඉහළා ගෙන ගොස් අපි නොතෙමවා ගෙන එන්නේ අපිට හරසර පුදන්න ඕන නිසා බව අපි තේරුම් ගෙන හමාරයි. මම හරිම සතුටින් ඉන්නේ එදාට පරණ යාළු මිත්‍රාදීන් දකින්න පුළුවන් වෙන එක ගැන.

 

මේ ඇගයීම් දැකලා පෙර පරපුරට පුදුමාකාර සතුටක් දැනේවිප්‍රවීණ මාධ්‍යවේදී, අර්නස්ට් වඩුගේ

ඔබ දන්නවාද සිංහල සිනමාව රඳා පවතින්නේ 50 හා 60 දසකයේ ශිල්පීන් නිසා බව. මෙරට බිහි වූ කලාකරුවන් රැසක්ම මේ 50 හා 60 දශකයේ බිහි වූ කලාකරුවන්. ඔවුන් සියලු දෙනා ජාතික සම්පත්.

මේ වගේ ඇගයීම් සම්මාන උළෙලක් අප රටේ සිදු වෙන්නේ නැති තරම්. මේ ඇගයීම් දැකලා පෙර පරපුරට පුදුමාකාර සතුටක් දැනේවි. මේ සම්මාන උළෙල වාර්ෂිකව පවත්වාගෙන යාමට ප්‍රවීණ හා නවීන පරපුරවල් දෙකම එකතු කරගෙන යාම වටිනවා. මම දකින විදිහට මෙහි විශේෂත්වය වන්නේ තිරයේ ඉදිරිපස සහ තිරය පිටුපස සිටින සියලුම දෙනා සහ ක්ෂේත්‍රයේ ඇගයීමට ලක් නොවූ නමුත්,

ජීවිත කාලයටම සිනමාවට කැපවුණු මිනිසුන් ඇගයීමයි. එය ඉතාමත් ප්‍රශංසනීයයි. ඔවුන්ගේ රස මතක අවුස්සමින් පෑන් තුඩින් අකුරු කළ කැමරා කාචයෙන් සේයාරු කළ අපවත් සම්මානයට බඳුන් කිරිම ඉතිහාසගත වන දෙයක් ලෙස මම දකිනවා. එය කලාව වෙනුවෙන් අත් සහ ඇස හසුරුවන සෑම මාධ්‍යයවේදියකුටම කරන ගෞරවයක්.

 

කලාවේ උන්නතිය වෙනුවෙන් කරන සත් ක්‍රියාවක් - ප්‍රවීණ රංගවේදිනී, සුවිනීතා වීරසිංහ

මෙවැනි යුගයක දී මෙවැනි දෙයක් කිරීම මම අගය කරනවා. සම්මානයක් දෙනකොට වැදගත් වන්නේ සම්මානයවත්,

මුදල වත් නෙවෙයි. කලාකරුවාගේ වටිනාකම මුදලින් තක්සේරු කළ නොහැකියි. ඊට වඩා වටින්නේ ආකල්ප, මානුෂීය හැඟීම් හා බැඳි සොබාවයන්. ඒවා හරිම අගෙයි කලාකරුවකුට. මම හරිම ආඩම්බරයි silver screen පදනමට මේ වගේ අදහසක් ආපු එක ගැන. ඒක හරිම වටින දෙයක්.

මේ කරන්නේ අපේම කලාකරුවන් පිරිසක් එකතු වෙලා තවත් පෙර පරම්පරාවක සිටි කලාකරුවන් පිරිසක් ජීවත් වෙලා සිටින කාලේ ඔවුනව ඇගයීමයි. එය කලාවේ උන්නතිය වෙනුවෙන් කරන සත් ක්‍රියාවක්. මුදලවත් සම්මානයවත් නොවේ මෙතැන තියෙන්නේ. අපේ ආගම, දහම සංස්කෘතියට අනුව පිදිය යුත්තන් පිදීමයි. ඒ සියලු දේ කරන සියලු දෙනාට තුනුරුවන් සරණයි.

Comments