
විශ්වවිද්‍යාලයේදී සමාජ විද්‍යාව විශේෂවේදී උපාධි අධ්‍යයන කටයුතු කරගෙන යන අතරතුර සාහිත්‍ය, ක්‍රීඩා, අනෙකුත් සෑම බාහිර ක්‍රියාකාරකමක් ම කළා.
ඩබ්ල්යු. ඒ. සිල්වාගේ “සුනේත්‍රා හෙවත් නොනැසෙන රැජින” පොත තමයි මම මුලින් ම කියෙව්වේ. ඒ පොතෙන් දැනුණු රසය නිසා මම තව තවත් පොත් කියෙව්වා
දැන් ගෙදරට වෙලා පොතක් පතක් කියවගෙන පොත්පත් ලියමින් කාලය ගෙවනවා. මානෙල් තමයි දැන් මාව රැක බලා ගන්නා මගේ එක ම අම්මා
නාමෙල් - මානෙල් වීරමුණි යුවළ අප දකින්නේ ජීවිතයේ සැඳෑ සමය ද තාරුණ්‍යයේ මෙන් සතුටින් සැපෙන් සැනසීමෙන් ගත කරන යුවළක් හැටියට යි. අතිශය ජනාකීර්ණ බොරැල්ල නගර මධ්‍යයේ අහස උසට නැගි කොන්ක්‍රීට් ගොඩනැගිලි අතර දර්ශනය වන ඝන වනාන්තරයක දැකිය හැකි මහා තුඹසක විලාසය ගත් සොඳුරු නිවහන ඔවුන් වෙත ඒ සතුට සැනසුම ළඟා කරවා ඇත. බාල, තරුණ, මහලු විවිධ තරාතිරමේ නාට්‍යකරුවන් උදේ සවස එහි සිය කලා කටයුතු, නාට්‍ය පුහුණුවීම් ආදියෙහි යෙදීම ඔවුන්ගේ සතුට දෙගුණ තෙගුණ කරවීමට සමත් වේ. ජීවිතයේ අතිශය දුක්ඛිත කාල පරිච්ඡේද ගණනාවක් විටින් විට පසු කර අවුත් අදටත් අවිවේකී ව සතුට අත්විඳින මේ යුවළ පිළිබඳ එකී ඉතිහාසයට අපි මොහොතක් එබිකම් කළෙමු.
ගාල්ල බලපිටිය අහුංගල්ලේ උපත ලද නාමෙල් වීරමුණිට තම පියා අහිමි වන්නේ වයස අවුරුදු තුන හතරක් වෙද්දී ය. අවුරුදු පහළොව පමණ වෙද්දී මව ද අහිමි වීම දරුවෙක් ලෙස ඔහු කෙසේ දරා ගත්තේ දැයි සිතාගත නොහැකි ය. අහුංගල්ල ගල්වෙහෙර ප්‍රාථමික විද්‍යාලයට මුලින් ම අකුරු කරන්නට ගිය ඔහු පාසලේ තවත් පිරිමි ළමයකුගේ ඔළුවට ගලකින් ගැසීමේ වරදට පාසලෙන් එළවා දැමුණි.
“මට මතක හැටියට ඒ හතරේ පහේ පන්තිවලදි වගේයි. ඒ වෙලාවේ පාසලේ ලොකු මහත්තයා මට පේර කෝටුවකින් ඉතා ම නරක විදිහට ගැහුවා. ඊට පස්සේ අවුරුද්දක් විතර මම ඉස්කෝලේ යන්නේ නැතුව හිටියා. ඒ කාලේ මම පොත් කියවන්න පුරුදු වුණා. ඩබ්ල්යු. ඒ. සිල්වාගේ “සුනේත්‍රා හෙවත් නොනැසෙන රැජින” පොත තමයි මම මුලින් ම කියෙව්වේ. ඒ පොතෙන් දැනුණු රසය නිසා මම තව තවත් පොත් කියෙව්වා. යන එන ගමන් බිමන්වලදී පොතක් කියවමින් යන්න මට පසුකාලෙදි පුරුද්දක් ඇති වුණා. අදටත් මම පොත් කියවනවා. ඒ වගේ ම තවමත් පොත් ලියනවා.” ඔහු මඳ සිනහවක් ද මුවට නංවා ගනිමින් කීවේ ය.
පියා නැති අඩුව පුරවන්න මව්පස ඥාති වන ඩැනියල් මාමා ඉදිරිපත් වීම නාමෙල් වීරමුණිගේ අධ්‍යාපන ජීවිතය යළි ආරම්භ කරන්නත්, එය ඉදිරියට ගෙන යන්නත් ඉවහල් විය.
“ඩැනියල් මාමා මාව එයා වැඩ කළ පළාත්වලට එක්කගෙන ගියා. එයා ඉඩම් දෙපාර්තමේන්තුවේ ප්‍රධාන ලිපිකරු හැටියට වැඩ කළා. ඩැනියල් මාමා රාජ්‍ය සේවයේ තැනින් තැනට මාරුවෙද්දී පදිංචියත් වෙනස් වුණා. ඒ හැම තැනකට ම මාවත් එක්කගෙන ගියා. මාමා මාව පේරාදෙණියේ එක්කගෙන ගිහින් පේරාදෙණිය මහා විද්‍යාලයට ඇතුළත් කළා. කන්දක් උඩ තිබුණු ඒ පාසලට පහළ අසිරිය ලස්සනට පෙනුණා. ඒත් පාසල ඇතුළේ ඒ අසිරිය මට වැඩි කාලයක් විඳගන්න ඉඩක් ලැබුණේ නැහැ. ඒකට හේතුව පරිසරය නම් නෙවෙයි. මගේ මනස බිඳ දැමූ ගුරුවරියක් නිසා මට ඒ පාසලත් එපා වුණා. ඒ ගුරුවරිය මට නපුරු විදිහට සැලකුවා. එයා මට කිව්වේ ‘පහතරට ළමයා’ කියලා යි. ‘මං පහතරට ළමයා නෙවෙයි; මං නාමෙල්’ කියලා ඒ ගුරුවරියට කීවත් ඇය නිතර මට ඇගේ නපුරු ආමන්ත්‍රණයෙන් ඇමතුවා. මං වැඩි කාලයක් ඉන්නේ නැතුව ඒ ඉස්කෝලෙනුත් අස් වුණා.”
ඩැනියෙල් මාමා පේරාදෙණියෙන් රත්නපුරයට ස්ථාන මාරුවක් ලැබුවේ ය. එය නාමෙල් වීරමුණිට ද ආශිර්වාදයක් වූයේ නපුරු ගුරුවරියගෙන් දුරස් වන්නට එය කදිම අවස්ථාවක් වූ බැවිනි.
“ඩැනියෙල් මාමා රත්නපුරේට ස්ථාන මාරුවක් ලැබුවා. මාත් මාමා එක්ක රත්නපුරේ ආවා. එහේ හිටියා අපේ අම්මාගේ අයියා. එයා මහණ වෙලා පන්සලේ හිටි නිසා මම කිව්වේ ‘ලොකු සාධු’ කියලා යි. ලොකු හාමුදුරුවෝ මාව පන්සලේ නතර කරගෙන රත්නපුරේ ඉස්කෝලෙට ඇතුළත් කළා. මම එහිදී හොඳින් ඉගෙන ගත්තා. මට ඩබල් ප්‍රමෝෂන් ලැබුණා. මට නැති වෙච්ච කාලය එයින් මට ලැබුණා. පස්සේ මම කොළඹ නාලන්දා විද්‍යාලයට ආවා. එහිදීත් හොඳින් අධ්‍යාපන කටයුතු කළා; ක්‍රීඩාත් කළා. ලංකාව වටා තව දෙන්නෙක් එක්ක මම දින 14ක් පාපැදිවලින් ගිහින් වාර්තාවක් තැබුවා. කැඩෙටින් නවත්වන්න කියලා එවකට රජය ගෙනා යෝජනාවකට විරුද්ධ ව තමයි ඒ පාපැදි සංචාරය සිදු කළේ. ඒ ගැන පුවත්පත්වල ලොකුවට විස්තර ගියා. ආනන්ද, නාලන්ද විද්‍යාලවල ආදි ශිෂ්‍යයන් හා ශිෂ්‍යයන්ගේ ගෙවල්වල අපට රෑට නවාතැන් දුන්නා. යාපනයේ දෙමළ සහෝදරයෝ තමයි ඒ වෙලාවේ හොඳට ම සැලකුවේ. ඔවුන් විවිධ ආහාර වර්ගවලින් අපට සංග්‍රහ කළා. භාෂාවත් අපට ප්‍රශ්නයක් වුණේ නැහැ. මට පාපැදියක් තිබුණෙත් නැහැ. මගේ ඥාති සහෝදරයෙක් වුණු අහුංගල්ලේ අරුණසිරි තමයි මට පාපැදිය දුන්නේ. ඒ ගමනට අදටත් ඒ වාර්තාව කවුරුවත් බිඳ දමලා නැහැ. ඒ මතකයන් හරි ම සොඳුරු යි.
නාලන්ද විද්‍යාලයෙන් උසස් පාඨශාලා විභාගය සමත් වෙලා විශ්වවිද්‍යාල ප්‍රවේශය ලබා ගත්තා. විශ්වවිද්‍යාලයේදී සමාජ විද්‍යාව විශේෂවේදී උපාධි අධ්‍යයන කටයුතු කරගෙන යන අතරතුර සාහිත්‍ය, ක්‍රීඩා, අනෙකුත් සෑම බාහිර ක්‍රියාකාරකමක් ම කළා. මට විශ්වවිද්‍යාල ක්‍රීඩා ජයග්‍රහණවලින් වර්ණ හතක් විතර ලැබුණා. විශ්වවිද්‍යාලයේ තුන්වෙනි අවුරුද්දේදී ඥාණසීහ හාමුදුරුවෝ උන්වහන්සේගේ පිරිවෙනේ තවත් ළමයි තුන්දෙනෙකුත් එක්ක ඇවිත් උගන්වන්න කියලා මට ආරාධනා කළා. මට එහි පිරිවෙන් ගුරු පත්වීම ලැබුණා. නමුත් අවුරුද්දක් මට වැටුප ලැබුණේ නැහැ. ජෝර්ජ් මෙන්ඩිස් කියලා මහත්තයෙක් ඒ දවස්වල කොම්පඤ්ඤවීදියේ අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ සිටියා. හාමුදුරුවෝ ඔහුට කියලා තිබුණත් මගේ වැටුප ලැබුණේ නැහැ. ඒ මහත්තයා ව මුණ ගැසෙන්න මම 86 වතාවක් හැමදාම ඉස්කෝලේ ඇරුණු ගමන් කෑම කන්නෙත් නැතුව රත්නපුරේ ඉඳලා කොළඹ ආවා. 86 වැනි වතාවේදී මම ඒ මහත්තයාට බැණලා ආවා. ඊට පස්සේ මම කළුතර විද්‍යාලයට ආවා. ඒ වනවිට මානෙල් රංගන ක්ෂේත්රයට පිවිස සිටියා.”
නාමෙල් වීරමුණි වේදිකා නාට්‍ය, සිනමා මෙන්ම ටෙලිනාට්‍ය අධ්යක්ෂවරයෙකි. ඔහුගේ නිර්මාණ බොහෝමයකට ඇය ද සම්බන්ධ වූයේ ය. එහෙත් ඇයට ඒ පිළිබඳ මාන්නයක් නම් තිබුණේ නැත. ඔහුගේ නාට්‍යවල ඇඳුම් නිර්මාණ කටයුතු වගේ ම පිරිසට තේ හැදීම, අනෙකුත් සහායයන් ලබා දීම ආදිය ද ඇය අතින් සිදු විය. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේදී කළ “ගොළු බිරිඳ” නාට්‍යයේ රගපාමින් සිටි නිළිය නොමැති වීමෙන් අහඹු ලෙස ගොළු බිරියට රඟපාන්නට ඇයට සිදු විය. ඉන් පසුව බොහෝ චරිත නිරූපණයන්ට ඇය යොමු විය.
“අපි දෙන්නාට දෙන්නා පුංචි කාලේ ඉඳලා ම හඳුනනවා. ඇයගේ පියා නඩුකාරවරයෙක්. මටත් ඒ අංශයෙන් ඉස්සරහට යන්න පුංචි කාලේ ඉඳලා ලොකු ආසාවක් තිබුණා. ඒ ආසාව මම පසු කාලෙක ඉටු කර ගත්තා. මුලින් ම ඇය විශාකා විද්‍යාලයට ගියා. පසුව ගාල්ල සවුත්ලන්ඩ් එකට ගිහින් තියෙනවා. අන්තිමට ම ඉඳලා තියෙන්නේ කොළඹ බෞද්ධ කාන්තා විද්‍යාලයේ යි. දවසක් මම එයාගේ හොස්ටල් එකට ගිය වෙලාවක වෙන ළමයෙක් නිසා එයාට තදින් කෑ ගැහුවා. එයින් ඇති වූ ලැජ්ජාව නිසා ඇය එදායින් පස්සේ පාසල් ගියේ නැහැ. මං නිසා එයාගේ පාසල් ගමන නැවතුණා කියලා මට අදටත් දුක හිතෙනවා. එයා ඉහළට ඉගෙන ගෙන නීතිය හැදෑරුවා නම් ඇයට දක්ෂ නීතිඥවරියක් වෙන්න තිබුණා. ඇය ඒ තරම් දක්ෂයි. හරි වෙලාවට එයා වැඩ කරනවා. අපි 1963 දී විවාහ වුණා. දැන් අපේ විවාහ ජීවිතයට වසර හැටක් පිරීමට නියමිතයි. එදා වගේ ම අදත් අපි දෙන්නා සතුටින් ඉන්නවා. එකට ජීවත් වෙද්දී තරහා මරහා ඇති වෙනවා. එයාට තරහා ගිහින් කෑ ගහද්දී මං කටවහගෙන ඉන්නවා. මට තරහා ගිහින් කෑගහද්දී එයා කට වහගෙන ඉන්නවා. ඒක අපි දෙන්නාගේ ම හොඳ ගුණයක් හැටියටයි මම දකින්නේ.
අපි දෙන්නා ම දැන් වයස යි. අපට උදව්වට ගෙදර තුන්දෙනෙක් ඉන්නවා. අපේ පුංචි තියටර් එකට එන යන අය අපිත් එක්කත් කතාබහ කරලා යනවා. ඉතින් පාළුවක්, දුකක් නැහැ. අපේ ළමයි ලංකාවේ නැහැ. ලොකු දුව දොස්තර නිර්මාණිකා වීරමුණි නවසීලන්තයේ ඉන්නවා. එයාට දුවෙකුයි පුතෙකුයි ඉන්නවා. ඒ දුව ඒ කියන්නේ ලොකු මිනිබිරිය ගෘහ නිර්මාණ ශිල්පිනියක්. දෙවැනියා පුතා හේෂාන් වීරමුණි ඇමෙරිකාවේ කොම්පැණියක අධ්යක්ෂවරයෙක් ලෙස කටයුතු කරනවා. එයාටත් දුවෙකුයි, පුතෙකුයි ඉන්නවා. තරිඳු ධාරිත වීරමුණි බාලපුතා නවසීලන්තයේ යුද හමුදාවේ කොමාන්ඩර් කෙනෙක් හැටියට කටයුතු කරනවා. එයාට පුත්තු දෙන්නෙක් ඉන්නවා. මගේ රස්සාව නැති වෙච්ච වෙලාවේ මගේ බිරිය දරුවෝ තුන්දෙනා එක්ක නොසෑහෙන දුක් වින්දා. අපි කුලී ගෙවල් රැසක ම හිටියා. ඒත් එයා දරුවෝ තුන්දෙනා ව හොඳින් බලා ගත්තා. එයාලාට හොඳින් ඉගැන්නුවා. එළවළු වගා කළා. අපි ගොඩාක් දුක් වින්දා. මම නීති විද්‍යාලයට ඇතුළත් වුණේ වයස අවුරුදු පනහත් පහුවුණාට පස්සෙයි. 1972 දී නීතිඥවරයෙකු ලෙස දිවුරුම් දුන්නා. නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුවේ සහකාර කෙටුම්පත් සම්පාදකයෙක් විදිහට වැඩ කළා. ඊට පෙර ග්රන්ථ ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ලේඛකයකු හැටියටත් මම වැඩ කළා. ඔහොම ඉන්න අතරේ මාස තුනකට කැනඩාවට යන්න මට ශිෂ්‍යත්වයක් ලැබුණා.
ඊට පස්සේ නිව්යෝර්ක්, වොෂින්ටන් ගියා. ජයන්ත ධනපාල මහත්තයා මට ඒ කාලේ ගොඩාක් උදව් කළා. ඒ වෙද්දිත් මම රාජගිරියේ ගෙයක් අරගෙන තුන් පොළකට ම ණය වෙලයි හිටියේ. ඒ නිසා ම මගේ මිත්‍ර වික්‍රමසිංහ මට කිව්වේ ‘ත්‍රෛලෝනා’ (ලෝන් තුනයි) කියල යි. ඒ වෙද්දි ළමයි තුන්දෙනාත් හිටියා. හරි ම අමාරු කාලයක් තමයි උදා වෙලා තිබුණේ. ලංකාවට එන්න ප්‍රමාද වුණා කියලා ලංකාවේ මගේ රැකියාවත් නැති වුණා. මම එංගලන්තයේ නැවතුණා. සුපර් මාර්කට් එකක රාක්කවලට බඩු දාන්න මට ලැබුණා. ඒ වැටුප මදි නිසා පෙට්‍රල් ෂෙඩ් එකක වැඩ කළා. එතනදි වැටුපට අමතර ව තෙල් ගහගන්න එන අය පොඩි පොඩි ගණන් යන ගමන් මට අතට දීලා ගියා. සතියකට පවුම් තිහක් විතර වැටුපට අමතර ව මට එහිදී ලැබුණා. ආපන ශාලාවකත් වැඩ කළා. පස්සේ එහේ නීති සමාගමකට බැඳිලා වැඩ කළා. එහේ හිටපු ගොඩාක් සිංහල අය මට කිව්වේ ‘මෙහේ ඉඳලා හරියන්නේ නැහැ, ඔයා ආපහු ලංකාවට යන්න කියලා යි.
ඒත් එහේ හිටපු දෙමළ සහෝදරයෙක් මාව නිසි මඟට යොමු කරලා මගේ ඉදිරි ගමන සාර්ථක කර ගන්න උදව් කළා. මුලින් පවුම් පහේ වැටුපට නීති සමාගමක වැඩ කළාට පසුව ඊට වැඩි වැටුප්වලට වෙනත් නීති සමාගම්වලට මම බැඳුණා. ඉතා පළපුරුදු නීතිඥවරු ඇසුරු කරන්න මට එහිදී ලැබුණා. ලොකු දැනුමක් ලබා ගන්න හැකි වුණා. මම උසාවිවලට හැමදාම ගිහින් අත්දැකීම් ලබා ගත්තා. මහන්සි වෙලා වැඩ කළා. එහෙම කරලා තමයි සොලිසිටර් ජෙනරාල් කෙනෙක් බවට පත් වුණේ. මගේ ම නීතිඥ සමාගමක් මම එංගලන්තයේ පවත්වා ගෙන ගියා.
ඊට පස්සේ ලංකාවට ඇවිත් නීතිඥ හේමන්ත වර්ණකුලසූරිය මට බාර දුන්නු නඩු හයක වැඩ කරලා ඒ නඩු හය ම දිනුවා. ඒ නඩු අතර අවුරුදු තිස් පහක් තිස්සේ තිබුණු ඉඩම් නඩුවක් තිබුණා. ඒකත් මම නීතිඥ මහින්ද ගුණරත්නත් එක්ක කරලා දිනුවා. විශේෂත්වය තියෙන්නේ ඒ නඩු හයෙන් එකකටවත් මම සතයක්වත් අය කළේ නැහැ. මට හිතුණේ ඒවාට මුදල් අය කරන්න හොඳ නැහැ කියලා යි. මම ඒවා මානුෂික ව හිතලා කළා. ඒවාට මම මුදල් අය නොකිරීම ගැන අදටත් මගේ හිතේ ලොකු සතුටක් සහ සැහැල්ලුවක් තියෙනවා.”
පසුව ඇමෙරිකාවට ගිය ඔහු එහිදී ශාස්ත්‍රපති උපාධිය වසර එකහමාරකින් නිම කළේ ය. මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ සිංහබාහු නාට්‍ය ඉංග්‍රීසියට පරිවර්තනය කරමින් එහි ඉංග්‍රීසියෙන් නව නිෂ්පාදනය ඔහු විසින් කරන ලදී. එයින් අනතුරු ව ආචාර්ය උපාධිය සඳහා විශ්වවිද්‍යාල කිහිපයකින් ම අවස්ථාව හා ශිෂ්‍යත්ව හිමි වූ නමුත් ඔහුගේ වැඩි කැමැත්ත තිබුණේ හවායිවලට ගොස් ආචාර්ය උපාධිය ලැබීමට ය. ඒ අනුව ඔහු හවායි බලා පිටත් වූයේ ය.
“හාවායි ගිහින් අවුරුද්දක් ම ආචාර්ය උපාධි පර්යේෂණ කටයුතු කරගෙන ගියා. පියා මැරීම සම්බන්ධයෙන් ඊඩිපස් හා සිංහබාහු නාට්‍ය ද්විත්වය ඇසුරෙන් මම ඒ පර්යේෂණ කටයුතු කළා. එහෙත් වසරක් ගෙවෙත් ම ගෙදරින් කතා කරලා කිව්වා පොඩි පුතා අසනීප වුණා කියලා. ඒ වෙලාවේ මම නැවත ලංකාවට ආවා. ඊට පස්සේ විශ්වවිද්‍යාල කිහිපයක ම නාට්‍ය සහ අනෙකුත් විෂයයන් කිහිපයක් මම ඉගැන්නුවා. කැලණිය විශ්වවිද්‍යාලයෙන් මට ආචාර්ය ගෞරව උපාධියක් ලැබුණා. මම නැවතත් මම ඇති කළ නීතිඥ සමාගමට ම උපදේශකවරයකු හැටියට ගියා. ඒ වෙනුවෙන් මට ගෙවීමකුත් කළා. එහේ මම 2002 වනතුරු හිටියා. දැන් ගෙදරට වෙලා පොතක් පතක් කියවගෙන, පොත් පත් ලියමින් කාලය ගෙවනවා. මානෙල් තමයි දැන් මාව රැක බලා ගන්නා මගේ එක ම අම්මා.”